දරුවකු අඬන විට එහි වැඩිම පීඩනයක් ඇති වන්නේ මව්පියන්ට බැව් දරුවන් සිටින මව්පියන් හොඳාකාරවම දන්නා කරුණක්. දරුවකු මව්පියන්ගේ වචනයෙන්ම කිව්වොත් පරක් කර ගැනීම පහසු කාර්යක් නොවෙයි. එහෙමනම් දරුවෙකු නලවා ගැනීමට පෙරාතුව ඔවුන් හඬන්නේ ඇයි කියන හේතුව මව්පියන් විසින් තේරුම් ගැනීම වැදගත්.
දරුවන් අඬන්නට හේතු හඳුනා ගැනීම
දරුවෙකු අඬන්නේ නිකම්ම නෙවෙයි. දරුවාට යම් අපහසුතාවයක් ඇති වුණ විට එය සන්නිවේදනය කිරීමේ ඇති පහසුම මාර්ගය තමා ඇඬීම. දරුවන්ගේ ඇඬීමට හේතු වන කරුණු කීපයක් තිබෙනවා. මව්පියන් විදිහට ඔබ මුලින්ම මේ සරල හේතු ගැන පරීක්ෂාකාරී වන්න.
බඩගින්න
නිදිමත
නැපිය තෙත්වීම සහ මල මුත්‍ර පිටවීම
අධික උෂ්ණත්වය වගේම සීතල
තෙහෙට්ටුව
ගුඩුස් යැවීමට අවශ්‍ය වී තිබීම /ගුඩුස් සිරවීම
තද ඇඳුම්
ඉහතින් දක්වා තිබෙන්නේ ඔබ අපි කවුරුත් දන්නා දරුවාගේ ඇඬීමට බලපාන සරල හේතු කීපයක්. ඊට අමතරව වෛද්‍ය උපදෙස් ගත යුතු හේතු කීපයක්ද තිබෙනවා.
Intestinal colic
නව ජන්ම දරුවෙකුගේ බඩවැල් මෝරා නැහැ. අසාමාන්‍ය ක්‍රියාකාරීත්වය නිසා බඩවැල්වලින් වේදනාවක් ඇති වෙනවා. විශේෂයෙන් සති දෙකක් පමණ වයසැති දරුවෙකුගේ ඇඬීමට මේ තත්ත්වය හේතු වෙනවා. මාස හතරක් පමණ වන තෙක් දරුවන් මේ අපහසුතාවය නිසා ඇඬීම සිදු වෙනවා. මේ ගැන මව්පියන්ගේ පාර්ශ්වයෙන් කිසිම වරදක් නැහැ.
කිරි සමග අම්ල ගලනාලයට පැමිණීම
කිරි බීමෙන් පසුව උදරයේ ඇති හයිඩ්රෝක්ලික් අම්ලය ගලනාලය දෙසට ආපසු ගැලීම නිසා දරුවාගේ ගලනාලයේ දැවිලි පිච්චෙන ගතියක් ඇති වෙනවා. ඒ නිසා දරුවා අපහසුතාවයට පත් වෙනවා. එවිටත් දරුවා අඬන්න පටන් ගන්නවා.
Acid Reflux නිසා අඬන දරුවෙකුගේ ලක්ෂණ කීපයක් දකින්න ලැබෙනවා
කිරි ප්‍රතික්ෂේප කිරීම
කෙළ පිම්බීම
දුන්නක් සේ පිටුපසට නැමී ඇඬීම
මුත්‍රා දැවිල්ල හෝ ආසාදනය
බඩවැල් සිරවීම (Intusscepction)
දරුවෙකුගේ ඇඬීම සමග මේ රෝග ලක්ෂණ තිබෙනවා දැයි නිරීක්ෂණය කරන්න.
උණ – දරුවෙකුට උණ ඇති බැව් තහවුරු කර ගන්නේ සිරුරට අත තැබීමේදී ඔබේ අතට දැනෙන රස්නයෙන් නොවේ. බොහෝ මව්පියන් දරුවාට උණ බව තහවුරු කර ගැනීම ඒ අන්දමින් සිදු කළත් උණ බැලීමේදී ඒ වෙනුවෙන් උණ කටුවක් පාවිච්චි කරන්න.
සිරුර කහ වීම
මුත්‍රා පිටවීම අඩු වීම
කොළ හෝ කහ පැහැයෙන් වමනය යෑම
උදරය පිම්බීම
මලපහ සමග රුධිරය පිටවීම
ඔබේ දරුවා වෙතින් මෙම ලක්ෂණ දක්නට ලැබෙනවා නම් නොසලකා සිටින්න එපා.
අඬන බබා නලවා ගන්නේ කොහොමද?
දරුවා අඬනවා නම් මුලින් සඳහන් කළ සරල හේතු ගැන විමසා බලන්න. උදාහරණ විදිහට බඩගින්න, නිදිමත, වැනි සරල හේතු නිසා දරුවා අඬනවා විය හැකියි. ඒ ඒ අවස්ථාවට ගැළපෙන හේතුව ඔබට හඳුනා ගන්න පුළුවන්.
උණ නැති බව තහවුරු කර ගන්න
දරුවා තොටිල්ලෙන් ගෙන වඩාගන්න
ගීතයක් ගායනා කරමින් නලවන්න
දරුවා මුනින් අතට තබා ඔබේ උකුලේ තබාගෙන සෙමින් පිටට තට්ටු කරන්න
උණුවතුරෙන් නාවන්න
සූප්පුවක් කටට දෙන්න
වාහනයක් ඇත්නම් පුංචි රවුමක් යන්න
දරුවන්ගේ ඇඬීම අඩු කර ගන්නේ කෙසේද?
දරුවාගේ ඇඬීම වළක්වා ගැනීමට අනුගමනය කළ යුතු තවත් උපදස් කීපයක් සඳහන් කරන්න පුළුවන්.
දරුවාගේ නිදන කාමරය අඳුරින් තබන්න. මේ කාමරයට සුදු බල්බයක් වෙනුවට වොට් අඩු රතු බල්බයක් සවි කරන්න. එවිට රාත්‍රි කාලයේදී දරුවාගේ කාමරයේ අනවශ්‍ය අන්දමින් ආලෝකය ලැබෙන්නේ නැහැ.දිවා කාලයේදී හොඳින් හිරු එළිය ලැබෙන්න සලස්වන්න. මේ අන්දමින් රාත්‍රි කාලය අඳුරේ සහ දිවා කාලය ආලෝකයෙන් තබා ගන්නා විට සිදු වන හෝර්මෝන නිසා මොළයේ දිවා රාත්‍රි වෙනස දැනෙන කලාපය උත්තේජනය නිසා දරුවාගේ නින්දට බාධා ඇති වන්නේ නැහැ.
අතීතයේ කිරි දෙන මව්වරුන්ගේ ආහාර වේල ගැන වැඩිහිටියන් බොහෝ සේ උනන්දු වුණා. කිරි දෙන මව්වරුන්ට උෂ්ණාධික ආහාර ලබා දුන්නේම නැහැ. කිරි දෙන මවක විසින් ඉස්සෝ, දැල්ලෝ වැනි උෂ්ණාධික ආහාර ගැනීම නිසා මව්කිරි බොන දරුවාට අපහසුතාවයන් ඇති වෙනවා.
රසායනික ද්‍රව්‍ය අඩංගු ආහාරත් සුදුසු නැහැ. ඔබ මිලට ගන්නා බෝතල්, කෑන් ලෙස අසුරා තබා ඇති කල් තබා ගත හැකි ඕනෑම ආහාරයක රසායනයන් අන්තර්ගත වෙනවා. ඒ නිසා මව්කිරි දෙන මවක නම් මෙම ආහාර වලින් දුරස් වීම ඉතාම වැදගත්.
දරුවා අඬන විට ඔබ විසින් නොකළ යුතු දේවල් මොනවාද?
දරුවෙකු අඬන විට ඔහු නලවා ගැනීම සඳහා ඔබ විසින් අනුගමනය කරන ඇතැම් පුරුදු නිසා දරුවා තව තවත් අපහසුතාවයට පත් වෙනවා. දරුවා අඬන හැම අවස්ථාවකදීම මව්පියන් සිතන්නේ ඊට හේතුව බඩගින්න කියා වුණත් සැබැවින්ම ඔබ වැරදියි. අඬන දරුවාට නැවත නැවත කිරි ලබා දීම නිසා දරුවාගේ අපහසුතාවය තවත් වැඩි වෙනවා. ඒ නිසා එය කිසිසේත් නොකළ යුත්තක්. බබා සෙලවීම බොහෝ මව්වරු දරුවා නලවා ගැනීමට අවශ්‍ය වූ විට තදින් සොලවනවා මෙය නොකළ යුත්තක්.
ඔබ දරුවා සොලවන විට ඔවුන්ගේ මොළයේ තරල සෙලවීම ඉතාම අනතුරුදායකයි. මේ තත්වය “Baby Shaken Syndorome “යනුවෙන් හැඳින්වෙනවා.යම් ලෙසකින් ඔබ දරුවා සෙලවීම නිසා මේ තත්ත්වයට පත් වුණොත් අධිකරණ ක්‍රියාමාර්ගයකදී ඔබට දරුවා අහිමි වීමට පුළුවන්. ඒ වගේම ඔබ දඬුවම් ලැබිය යුතු වරදකරුවෙකු බවට පත් වෙනවා.
දරුවාගේ ඇඬීම පාලනය කර ගැනීම අපහසු නම්
දරුවෙකුගේ ඇඬීම නිසා ඔබ වඩාත් අපහසුතාවයට පත් වන්නේ නම් මුලින්ම ඔබේ මානසික ආතතිය අඩු කර ගැනීම වැදගත්. දරුවාගේ ඇඬීම නැවැත්වීමට ඔබ ආතතිමය තත්ත්වයකින් ගියොත් ඔබේ ආවේග දරුවා වෙතින් පිට වීමට පුළුවන් නිසා මුලින්ම ඔබ මානසික ලෙසින් සන්සුන් වෙන්න.ඒ වගේම නිරන්තරව අඬන සහ ඔබට පාලනය කර ගත නොහැකි තත්ත්වයක් ඇත්නම් ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුට හෝ සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු වෙත යෑමත් වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️