Depression යනුවෙන් ඉංග්‍රිසියෙන් හැඳින්වෙන මානසික රෝගී තත්ත්වය අපි ‘විශාදය’ එහෙම නැත්නම් මානසික අවපීඩනය යනුවෙන් සරලව දැක්විය හැකියි. මෙය ඉතා සරලව පැහැදිළි කරමු. ඕනෑම දෙයක “අව” යනුවෙන් අපි හඳුන්වන්නේ අඩුවීමක්. පුද්ගලයෙකුට කාලයක් පුරා රුධිර පීඩනය අඩු වුණොත් අවයවයන්ට රුධිර සැපයීම නිසි පරිදි සිදු වන්නේ නැහැ. මෙහිදී මොළයට නිසි පරිදි රුධිර සැපයුම අඩුවුණොත් ක්ලාන්තය ඇතිවනවා. ඒ අන්දමටම විශාදය හෙවත් මානසිකව ඇතිවන අවපීඩනයේදී මොළයේ රසායනික සංයුතියේ අසමතුලිතතාවක් ඇති වෙනවා. මේ තත්ත්වය දීර්ග කාලයක් පවතින විට Depression එහෙම නැත්නම් මානසික අවපීඩන තත්ත්වය ඇතිවනවා.
දිගුකාලයක් තුළ පවතින මනෝභාවයන්ගේ වෙනස්වීම්…
දුක කිව්වාම සමහර විට අපේ ජීවිතයේ හිත රිදවන සිදුවීමක් නිසා හිතේ ඇතිවන දුක, කනස්සල්ල විශාදය නොවෙයි. ඒ හිතේ අමාරුව ටික වේලාවකින් එහෙම නැත්නම් දිනකින් දෙකකින් ඉබේම මග ඇරෙනවා. නමුත් මේ විශාදය රෝග තත්ත්වය දිගුකාලයක් පවතින විට විවිධ ශාරිරික රෝග ලක්ෂණ ඇතිවනවා. විශාදය යන රෝග තත්වයට පත්වුණ පුද්ගලයෙකුගේ එදිනෙදා ජීවිතයේදී අපි සාමාන්‍යයෙන් “Mood” යනුවෙන් හඳුන්වන මනෝභාවයන් වෙනස් වෙනවා. ඒ නිසා ඔවුන්ගේ මානසික මනෝභාවයන් ශීඝ්‍රයෙන් වෙනස් වීමට පත්වනවා.
මේ ලක්ෂණ තවත් කෙනෙක් දැන ගන්නේ කොහොමද?
විශාදයට පත් පුද්ගලයෙකුගේ හැසිරීම තවත් කෙනෙකුට සාපේක්ෂව බලන විට වෙනස් විදිහට පෙන්නුම් කරනවා. ඒ බව සමීපව ඇසුරු කරන අයට වුණත් දැනගන්න පුළුවන්.
ක්‍රියාශීලී නැහැ.
සමාජය සමග එක්ව කටයුතු කිරීමට එතරම් සතුටක් නැහැ.
ජීවිතය ගැන අනාගත බලාපොරොත්තු නැහැ.
මම අසරණයි, මට කාගෙවත් උදව්වක් නැහැ කියන මානසික පසුතැවිල්ල.
තමා ගැනත් අභිමානයක් නැහැ.(Self esteem) මට කිසිම හැකියාවක් නැහැ, මම වැඩකට ඇති චරිතයක් නොවෙයි කියන තමන් ගැන අවතක්සේරුව ඔවුන් විසින්ම ගොඩ නගාගන්නවා.
තමා ගැන විශ්වාසයක් නැහැ. නිතරම මම කැතයි. මට ඉගෙන ගන්න බැහැ. මෙලෙස තමන්ගේ හැකියාවන් ගැනවත් විශ්වාසයක් හිතේ නැහැ.
ඉතා සුළු දෙයකට පවා සංවේදී වීම.
නිතරම කිසිම හේතුවක් නොමැතිව ඇතිවන නුරුස්නා බව
අභිප්‍රේරණයක් නැති වීම -( Lack of motivation ) විශාදයට පත් පුද්ගලයන් තුළ අභිප්‍රේරණය හෙවත් ජීවිතය ගැන උනන්දුවක් නැහැ. කොටින්ම චිත්‍රපටයක් නරඹන, විනෝද චාරිකාවකට සම්බන්ධ වීමට පවා වෙනදා තිබුණ උනන්දුව ක්‍රමයෙන් අඩුවනවා.
හිත කරදරයෙන් සිටීම.(Anxiety)
තමන්ටම හානි කර ගැනීම.
විශාදයට පත් පුද්ගලයෙකු වෙතින් මේ වගේ මනෝභාවයන්ගේ වෙනස්කම් දකින්න ලැබෙනවා. ඊට අමතරව විශාදයට පත් පුද්ගලයෙකු ඇසුරු කරන සමීප අයෙකුටත් තමන්ගේ පවුලේ සාමාජිකයා හෝ මිත්‍රයාගේ යම් යම් වෙනස්කම් දකින්න පුළුවන්.
විශාදයට පත් පුද්ගලයෙකු ගැන බාහිරව නිරීක්ෂණය කිරීම
විශාදයට පත්වුණ පුද්ගලයෙකුගේ ඇවිදීමේ වෙනස්කම් ඇතිවනවා. වෙනදා බොහොම කඩිසරව ඇවිද ගිය ඔහු දැන් ඉතා සෙමින්, අලස ගතියකින් ඇවිදින්න පටන් ගන්නවා.
ආහාර පුරුදු
විශාදය නිසා මනෝභාවයන්ගේ වෙනස්වීම් නිසා ආහාර පිළිබඳ පුරුදු වෙනස් වන්න පුළුවන්. වෙනදාට ඉතා ප්‍රිය විදිහට ආහාර ගත් ඔහු දැන් ආහාර ගැනීමේදී කිසිම උනන්දුවක් නොදක්වන්න පුළුවන්. ඒ එක පැත්තක්.
තවත් විදිහකට මේ පුද්ගලයා වෙනස් වෙන්න පුළුවන්. වෙනදාට ඉතා සීමිතව ආහාර ලබාගත් ඔහු දැන් ආහාර වෙනුවෙන් හඹා යන ගතියක් ඇති වෙනවා. කොටින්ම ආහාර ගැන හිතනවා.
තවත් ලක්ෂණ
විවාහක අඹු සැමියන් අතර විශාදය තත්ත්වය ඇති වුණොත් ලිංගික කටයුතුවලදී පෙර පැවැති උනන්දුව නැතිවන්න පුළුවන්.
නින්ද පිළිබඳ ගැටලු ඇතිවනවා.නින්ද නොයෑම, පාන්දරින් අවදි වීම වැනි නින්දේ අක්රමිකතාවන් ඇතිවනවා.
සමාජ සම්බන්ධතාවයන්ගෙන් දුරස් වීම. විශාදයට පත් නිසා අඩුම වශයෙන් තමා ඉදිරියට හමුවන අයෙකුට ‘Good Morning’යැයි කියන්නට තරම්වත් උනන්දුවක් නැතිවීම.
වෙනත් හේතු නිසා ඇතිවන විශාදය
කාන්තාවන් සම්බන්ධයෙන් ගත්විට දරු ප්‍රසූතියකින් පසුව ඇතිවන පසු ප්‍රසව විශාද තත්ත්වයත් මේ අතරට හේතු විදිහට සඳහන් කරන්න පුළුවන්. දරු ප්‍රසූතියෙන් පසුව සිදුවන රසායනික වෙනස්කම් නිසා බොහෝ මව්වරුන්ට මේ තත්ත්වය ඇතිවුණත් එය ටික දිනකින් යථා තත්ත්වයට පත්වනවා.
වයසත් සමග කන්තාවන්ගේ ආර්තවහරණයේ නැවතීම ආසන්නයේදීත් විශාදය රෝග ලක්ෂණ දකින්න ලැබෙනවා. ආර්තවහරණය නිසා තමා දැන් පිළිගැනීමක් නැති චරිතයක් බවට පත්විය හැකි බවට ස්වයං විනිශ්චයන් ගොඩනගා ගන්නවා.ලිංගිකව හැසිරීමේදී සැමියා විසින් තමා ප්‍රතික්ෂේප කරනු ඇතැයි වූ උපකල්පනයන් ඇය විසින්ම ගොඩනගා ගැනීම නිසා දිගුකාලයක් පුරා සිදුවන මනෝභාවයන්ගේ වෙනස්කම් නිසාත් විශාදය රෝග තත්ත්වය ඇතිවන්න පුළුවන්.
කාලය අනුවත් විශාදය තත්ත්වය ඇතිවන්න පුළුවන්. අපේ රටේ නම් කාලගුණයේ එතරම් වෙනස්කම් නැති නිසා මේ තත්ත්වය බලපාන්නේ නැහැ. නමුත් විදේශ රටවලදී සිදුවන කාලගුණ වෙනස්වීම් නිසා ඇතිවන මානසික හුදෙකලාව නිසා පුද්ගල මනෝභාවයන් වෙනස් වෙනවා.පසුගිය කොරෝනා වසංගත කාලයේදී අපේ රටේත් මේ තත්ත්වය ඇතිවුණා. පුද්ගලයන් අතර පවතින සමාජ සම්බන්ධතාවන් අඩු වුණාම ඔවුන්ගේ මනෝභාවයන් වෙනස් වීමත් මෙයට හේතුවක්.
පුද්ගල හැසිරීම අන්තවාදී විදිහට වෙනස් වෙනවා. (By polar ) කාලයකට ඉතාම ක්රියාශිලියි. කාලයකදී ඉතාම උනන්දුවෙන් කටයුතු කරනවා. බොහොම ක්‍රියාශීලියි. සතුටින් සිටිනවා. ටික කාලයකින් පසුව මේ විදිහට හැසිරුණ පුද්ගලයාම නැවත වෙනස් වනවා. මුලින් තිබුන උනන්දුව, පිරිසිදු බව, සතුට ක්‍රමයෙන් අඩු වෙනවා. මේ වගේ පුද්ගල මනෝභාවයන්ගේ අන්තවාදී වෙනස්වීමත් විශාදය රෝග තත්ත්වයේ තවත් එක් අවස්ථාවක් විදිහට සඳහන් කරන්න පුළුවන්.
විශාදය වැනි තත්ත්වයක් කාලයත් සමග කායික රෝග තත්වයකට පත්වන්න පුළුවන්ද?
ඔව්. විශාදය සමග කාලයක් ජීවත්වන විට ඒ පුද්ගලයා විවිධ රෝග සංකුලතාවන්ට පත්වනවා.
අනවශ්‍ය අන්දමින් ආහාර ගැනීම සහ අක්‍රියශීලී ජීවන රටාව නිසා තරබාරුව, අක්මාවේ මේද තැන්පත් වීම, කොලෙස්ටරෝල් ගබඩා වීම වැනි රෝග තත්ත්වයන් නිසා හෘද රෝග සංකූලතාවන් ඇති වීම.
ආහාර ගැන උනන්දුව අඩුවීම නිසා පෝෂණ ගැටලු, ගැස්ට්‍රයිටිස් වැනි රෝග.
ජීවිතය ගැන උනන්දුවක් උද්යෝගයක් නැති වීම නිසා අධ්‍යාපනය, රැකියාව, පවුලේ දියුණුව වෙනුවෙන් කිසිම උනන්දුවක් නැතිවීම නිසා ජීවිතයේ ගුණාත්මක බව පිරිහීම.
විශාදය නිසා කාලයක් ජීවත්වන විට මොළයේ රසායනික සමතුලිතාවයේ ඇතිවන වෙනස්වීම් නිසා සියදිවි හානි කරගැනීමේ සිතුවිලි ඇතිවීම සහ ඇතැම් පුද්ගලයන් සිය දිවිහානි කර ගැනීමට යොමුවීම.
රෝගයට ප්‍රතිකාර තිබෙනවාද?
ඔව්. විශාදය රෝග තත්ත්වයට පත් පුද්ගලයකු ඔහු සමග ඇසුරු කරන අයෙකුට පහසුවෙන්ම හඳුනාගන්න පුළුවන්. එවැනි අවස්ථාවක පවුලේ වෛද්‍යවරයා වෙත හෝ ඔහු යොමු කරන්න. විශාදය රෝග තත්ත්වය අපට කොටස් තුනකින් පෙන්වා දෙන්න පුළුවන්.
මද විශාද තත්ත්වය – මේ තත්වයේදී විශාදයට පත් පුද්ගලයා සමග උපදේශන සේවා පැවැත්වීම මගින් ප්‍රතිකාර ලබාදීම.
මධ්‍යම විශාදය – මෙහිදී උපදේශන ප්‍රතිකාරවලට අමතරව ඖෂධීය ප්‍රතිකාර ලබාදීම.
උග්‍ර විශාදය – මේ තත්ත්වයට පත් විශාදය රෝගියෙකුට නේවාසිකව ප්‍රතිකාර ලබා දීම අවශ්‍යයි.
එසේනම් ඔබ සමීපව ඇසුරු කරන පුද්ගලයෙකු වෙතින් විශාදය රෝග තත්ත්වයන් පිළිබඳ ලක්ෂණ දක්නට ලැබෙනවා නම් ඒ පුද්ගලයාගේ ජීවිතයේ ගුණාත්මක පිරිහීමට ඉඩ දෙන්න එපා. ප්‍රතිකාර ලබාගැනීමට ඔවුන් උනන්දු කරන්න.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️