Meconium ගැන දැනගන්න
දරුවෙක් ලැබෙන්න ඉන්න අම්මා කෙනෙකුගෙන් මේ කතාව ඔබ නිතරම අසා ඇති. එහෙමත් නැත්නම් පූර්ව ප්‍රසව වාට්ටුවක සිටින අවස්ථාවක මේ විදිහට බබාට කක්කා ගිහින් යන සිදුවීම ඔබට ඇසී ඇති. ඒ විතරක් නොවෙයි දරුවා ලැබෙන්න සූතිකාගාරයේ සිටින අම්මා කෙනෙකුගෙන් වුණත් මේ තත්ත්වය වාර්තා වීමට පුළුවන්.
මොකක්ද මේ බබාට කක්කා යෑම
අද අපි කතා කරන්නේ “මිකෝනියම්” ගැනයි. ඒ කියන්නේ දරුවකුගේ ඉපදීමේදී, උපතට පෙර, මව්කුස සිටියදී හෝ උපතින් පසුව පිට කරන පළමු “කක්කා” විශේෂය ගැනයි.
ඇත්තටම අපි මේ කක්කාවලට සාමාන්‍ය ව්‍යවහාර කරන Stools, faeces නොකියා මිකෝනියම් ( Meconium) කියන්නේ ඇයි?
මිකෝනියම් හැදිලා තියෙන්නේ බඩවැල් බිත්තිවල පටක, ශ්ලේෂ්මල, කලලාවාරික තරල, පිත්ත අම්ල හා වතුරවල එකතුවක් විදිහටයි. මෙය ඔලිව් කොළ පැහැති වර්ණයකින් යුක්ත අතර කිසිම දුර්ගන්දයක් නැහැ. ඒ වගේම ඉතාම පහසුවෙන් වතුරේ දියවෙන සංඝටකයක්. සමහර අවස්ථාවලදී මේ මිකෝනියම් කලලයේ ගුද මාර්ගයෙන් පිටතට එනවා. අපි ඒ තත්ත්වය Meconium Stained Amniotic Fluid (MSAF ) යනුවෙන් හඳුන්වනවා.
කලලයේ ඇතිවන ස්නායු උත්තේජනයේ ප්‍රතික්‍රියාවක් විදිහට මේ MSAF තත්ත්වය ඇතිවනවා. සාමාන්‍ය දරු උපත්වලින් 7% සිට 22% ක් අතර මේ තත්ත්වය ඇතිවනවා. නමුත් මේ අන්දමින් කලලයට මිකෝනියම් පිටවීමට නිශ්චිත හේතුවක් තවම හඳුනාගෙන නැහැ. නමුත් මව්කුස තුළ කලලයට ඇතිවන පීඩනය නිසා මේ අන්දමින් මිකෝනියම් පිටවීමට හේතු වන බැව් සොයාගෙන තිබෙනවා.
කලලයට පීඩනයක් ඇතිවීමට බලපාන හේතු මොනවාද?
මව්කුස තුළ ඇති කලලයට පීඩනයක් ඇතිවීමට විවිධ හේතු බලපානවා.
දරුවා ලැබීමට ඇති දින පසුවීම ( Past dates )
බොහෝ දෙනා වෝටර් බෑග් එක කැඩුණා යැයි හඳුන්වන PROM හෙවත් කලලාවාරික තරලය බිඳවැටීම
PROM නිසා කලලයට බලපාන විෂබීජ තත්ත්වය
වෝටර් බෑග් එකේ වතුර අඩුයි කියන හෙවත් ligohydramniosis තත්ත්වය
දියවැඩියාව
අධික රුධිර පීඩනය
මව දුම්පානය සහ කොකේන් වැනි මත්ද්‍රව්‍ය වෙනුවෙන් යොමු වීම.
ඉහතින් දක්වා ඇති හේතු නිසා කලලයේ පීඩනය වැඩි වීමට පුළුවන්.
එවැනි පීඩනයක ප්‍රතිඵල විදිහට ( fetal distress ) නිසා කලලයේ ස්නායු උත්තේජනය වී මිකෝනියම් පිටවීමට පුළුවන්.කලලාවර්ත තරලයේ සංයුතිය සහ පැහැය අනුව අපට මිකෝනියම් පිටවීම වර්ග කරන්න පුළුවන්.Thin Meconium ( ළා කහ පැහැති කලල තරලය ) අපට මෙහිදී සාමාන්‍ය දරු උපතක් සිදුකරන්න පුළුවන්. නමුත් දරු ප්‍රසූතිය සිදු කිරීමේදී කලලයේ හෘද ස්පන්දනය ගැන නිරන්තරව පරීක්ෂාවෙන් සිටීමට සිදුවනවා.
Moderate Meconium මේ මිකෝනයිම් දුඹුරු පාටයි. කෑලි පාවෙන ස්වභාවයකින් යුක්තයි. මේ අවස්ථාව වන විට මවගේ ගැබ් ගෙල විවෘත වී ඇය සාමාන්‍ය දරු ප්‍රසූතියකට සූදානම් නැත්නම් සිසේරියන් සැත්කමක් මගින් දරුවා බිහි කරගැනීමට සූදානම් කරනවා.Thick Meconium මේ අවස්ථාවේදී කලලාවාරික තරල තද කොළ පැහැති කැබැලි පාවෙන ස්වභාවයකින් යුක්ත වෙනවා. මෙහිදී ඉතාම ඉක්මනින් සිසේරියන් සැත්කමකින් දරු ප්‍රසූතිය සිදුකරනවා.
Meconium නිසා ඇතිවන සංකුලතාවන් මොනවාද?
මේ අන්දමින් මිකෝනියම් පිටවීම නිසා දරුවාට Meconium Stained Amniotic Fluid තරලය ආඝ්‍රාණය වීමට පුළුවන්. ඒ තත්ත්වයේදී දරුවා Meconium Aspiration syndrome සංකුලතාවන්ට පත්වනවා. එවිට දරුවාට ශ්වසනය පිළිබඳව අපහසුතාවන් ඇතිවීමට පුළුවන්. මේ වගේ අවස්ථාවක ශ්වසනාධාර ලබා දුන්නත් දරුවා බේරා ගැනීමට නොහැකි වන අවස්ථාවන් ඇති වෙනවා.
Meconium Stained Amniotic Fluid සහිත දරුවන් උපත ලැබූ වහාම මුඛයේ සහ නාසය අවට මිකෝනියම් ඉවත් කරනවා. නමුත් ඒ වන විටත් ආශ්වාස කිරීමේදී යම් ප්‍රමාණයක් පෙණහලුවලට ඇතුළු වීම නිසා Meconium Aspiration syndrome තත්ත්වය ඇතිවීමට ඉඩ තිබෙනවා. මේ තත්ත්වය වළක්වා ගැනීමට MSAF සහිත කලලයන්ගේ ප්‍රසූතිය ඉතාම ඉක්මනින් සිදුකරනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️