හෙපටයිටිස් රෝගයේ ප්‍රභේද කීපයක් ඇති අතර ඒවා ඉංග්‍රීසි භාෂාවේ විවිධ අක්ෂරවලින් හැඳින්වෙනවා. මෙම ප්‍රභේද අතරින් හෙපටයිටිස් A රෝගය HAV නමැති වෛරසය ආසාදනයවීමෙන් ඇතිවන්නක්. මෙය බෝවන රෝග තත්ත්වයක් වන අතර අක්මාව ආශ්රිත ප්‍රදාහ තත්ත්වයක් ඇතිකරනවා.
හෙපටයිටිස් A රෝගය බෝ වන්නේ කොහොමද?
හෙපටයිටිස් A රෝග කාරකය
පුද්ගලයකුගෙන් පුද්ගලයකුට බහුල වශයෙන් රෝගී පුද්ගලයෙකුගේ මිනිස් මල මාර්ගයෙන් තවත් පුද්ගලයෙකුට බෝ වීමට පුළුවන්.
ඒ වගේම යම් හෙපටයිටිස් A රෝගියකුට සාත්තු කරන පුද්ගලයෙකුටත් ඒ රෝගියාගෙන් රෝග තත්ත්වය මුල් අවස්ථාවේදී බෝ වීමේ අවදානමක් තිබෙනවා. එපමණක් නොවෙයි මෙම ආසාදිත රෝගී පුද්ගලයන් සමග ලිංගික සම්බන්ධතාවන් පවත්වන පුද්ගලයකුටත් ආසාදිතයාගෙන් හෙපටයිටිස් A රෝග තත්ත්වය බෝ වීම සිදුවනවා.
මෙහිදී රෝගය බෝ වීමට ඉහළ අවදානමක් තිබෙන්නේ සමලිංගික සබඳතාවලදීය.අපිරිසිදු දූෂිත ජලය මගින්, හෙපටයිටිස් A ව්‍යාප්තිය ඇති ප්‍රදේශයක නිසි සෞඛ්යාරක්ෂිත පිළිවෙත් නොමැතිව සංචාරයේ යෙදීමෙන් ඔබ හෙපටයිටිස් A රෝග කාරකයට නිරාවරණය වී දින 14 ක් පමණ ගෙවෙන විට හෙපටයිටිස් A ආසාදිතයෙක් බවට පත්වීමට ඉඩ තිබෙනවා.
හෙපටයිටිස් A රෝග ලක්ෂණ
මුල් අවස්ථාවේදී ඇතිවන රෝග ලක්ෂණ
- උණ
- පාචනය
- උදරයේ වේදනාව
- වමනය
- සන්ධි වේදනාව
පසු අවස්ථාවේදී ඇතිවන රෝග ලක්ෂණ
- ඇස් සහ සම කහ පැහැ වීම
- මුත්‍රා කහ පැහැ ගැනීම
- සිරුර කැසීම
- තෙහෙට්ටුව
- සුදුමැලි බව
- ආහාර අරුචිය
හෙපටයිටිස් A රෝග තත්ත්වය හඳුනාගැනීම
හෙපටයිටිස් A රෝග තත්ත්වය නිශ්චිත ලෙසින් හඳුනාගැනීම සඳහා පරීක්ෂණ අවශ්‍යයි. ඒ වෙනුවෙන් සිදුකරන රසායනාගාර පරීක්ෂණ කීපයක් තිබෙනවා.
රුධිරයේ අක්මා එන්සයිම පරීක්ෂාව (High levels of liver enzymes )
IgM ( Immuglobin M ) ප්‍රතිදේහ පරීක්ෂාව
IgG ( antibody) පරීක්ෂාව
හෙපටයිටිස් A රෝග තත්ත්වය සඳහා ප්‍රතිකාර
හෙපටයිටිස් A රෝග තත්ත්වයේදී ඖෂධීය ප්‍රතිකාර ලබාදීමක් සිදු නොවේ. ඒ වෙනුවට රෝගියාගේ ජීවන රටාවේ ඇතිකරන වෙනස්කම් මගින් රෝග ලක්ෂණ පාලනය කිරීමක් සිදුවනවා.රෝගියා වෙහෙසට පත්ව ඇති නිසා විවේකය රෝග තත්ත්වය කළමනාකරණයට වඩාත් වැදගත්.ආහාර අරුචිය, වමනය, ඔක්කාරය නිසා අධික තෙල් සහ මාංශ සහිත ආහාර ගැනීම අපහසු බැවින් සාමාන්‍ය පරිදි ආහාර ලබාගත යුතුය. එහෙයින් සැහැල්ලු සහ පෝෂණය සහිත කුඩා ආහාර වේල් ලබාගැනීම සහ දියර ආහාර වර්ග වැඩියෙන් ලබාගැනීම වඩා සුදුසුය.
මද්‍යසාර භාවිතයෙන් ඉවත්ව සිටීම ඉතාම වැදගත්. හෙපටයිටිස් A රෝග තත්ත්වය අක්මාවට බලපාන බැවින් මෙම රෝගීන් මද්‍යසාර භාවිතයෙන් දුරස් වීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුය.
තාවකාලිකව ලිංගික කටයුතුවලින් දුරස් වෙන්න
හෙපටයිටිස් A රෝග තත්ත්වය වළක්වා ගැනීමට නම්…
පිරිසිදු පානීය ජලය පානය කරන්න
මලපවාහන පද්ධති සනීපාරක්ෂක ලෙසින් පවත්වා ගන්න
එළවළු සහ පලතුරු ආහාරයට පෙරාතුව හොඳින් සෝදා ගන්න
හෙපටයිටිස් A රෝගී ආසාදිතයන් සමග ලිංගික ඇසුරේ යෙදීම සුදුසු නැහැ
හෙපටයිටිස් A රෝගී ආසාදිතයෙක් ඇත්නම් දුරස්ථ බව පවත්වා ගන්න
රෝගියා පාවිච්චි කරන සහ ස්පර්ශ කරන දේ වෙන්කර තබන්න. ( පිඟාන, කෝප්පය, තුවාය ආදිය )
එන්නත් කටු භාවිතයේදී සැලකිලිමත් වෙන්න
හෙපටයිටිස් A රෝගය බහුලව ඇති උදාහරණ ලෙස ඉන්දියාව, අප්‍රිකාව වැනි රටවල විදේශ සංචාරයන්හි යෙදෙනවා නම් හෙපටයිටිස් A රෝග තත්ත්වයට ආරක්ෂාව ලබාදෙන එන්නත් මාත්‍රාව ලබාගන්න.
හෙපටයිටිස් A රෝග තත්ත්වයට ආරක්ෂාව ලබාදෙන එන්නත
හෙපටයිටිස් A එන්නත මාත්‍රා දෙකකින් යුක්තය. පළමු එන්නත ලබාගෙන මාස හයකින් දෙවන එන්නත් මාත්‍රාව ලබාගත යුතුය. එහිදී හෙපටයිටිස් A රෝග තත්ත්වයෙන් පූර්ණ ආරක්ෂාව ලැබීමේ හැකියාව ලැබෙනවා. පළමු එන්නත් වේල ලබාගෙන සති දෙකක් ගෙවෙන විට සැලකිය යුතු ප්‍රතිශක්තියක් ලැබෙනවා. ඒ නිසා අවදානම් සහිත ප්‍රදේශයන්හි විදේශ සංචාරයන්හි යෙදෙන විට අවම වශයෙන් මෙම හෙපටයිටිස් A ප්‍රතිශක්තිකරණ එන්නතේ පළමු මාත්‍රාව හෝ ලබාගැනීම වැදගත්.
හෙපටයිටිස් A රෝගය දරණු තත්වයක්ද?
හෙපටයිටිස් A රෝග තත්ත්වයට පත් සෑම රෝගියෙක්ම අක්මාවේ ආසාදිත තත්ත්වයට පත්වන්නේ නැහැ. එහෙත් නිදන්ගත රෝග සහ ප්‍රතිශක්තිකරණය දුර්වලතාවන් ඇති පුද්ගලයින්ට හෙපටයිටිස් A රෝග තත්ත්වයෙන් පසුව අක්මා ප්‍රදාහ තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබෙනවා.
හෙපටයිටිස් A රෝග තත්ත්වය සති කීපයක් පවතින මෘදු රෝග තත්ත්වයක් වුණත් රෝග සංකුලතාවන් ගැන ප්‍රවේසම් නොවුණොත් රෝග තත්ත්වය දරුණු වීමට පුළුවන්. සමහර අවස්ථාවලදී අක්මාව අකර්මන්‍ය වීම නිසා ජීවිතයට පවා අවදානමක් ඇතිවිය හැකිය. නමුත් මේ තත්ත්වය සෑම හෙපටයිටිස් A රෝගියකුටම පොදු නැහැ. නමුත් වියපත් සහ අක්මා දුර්වලතාවන් ඇති පුද්ගලයින් හෙපටයිටිස් A රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂා වීම ඉතාම වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️