අලුත උපන් සිඟිත්තකු හදිසියේ මරණයට පත් වීම යනු අසන්නටත් නොහැකි තරම් සංවේදී සිදුවීමකි. සමහර විට මෙසේ මරණයට පත් වන්නේ උපතේදී කිසිම අසනීපයක් නොතිබුණ නීරෝගී දරුවෙක් විය හැකියි. මෙවැනි අවස්ථාවක මෙම මරණ අනිවාර්යයෙන්ම අධිකරණ වෛද්‍යවරුන් විසින් පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කරනවා. මේ මරණ බොහොමයක පශ්චාත් මරණ පරීක්ෂණයේදී අභ්‍යන්තර අවයව ආශ්‍රිත අසාමාන්‍යතාවයක් හෝ අමතර පරීක්ෂණවලින් විශේෂ හේතුවක් සොයා ගත නොහැකි වනවා. මේ සුවිශේෂී තත්ත්වය අපි “හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය“ (Sudden Infant Death Syndrome) එහෙම නැත්නම් SIDS යනුවෙන් හඳුනාගන්නවා. මේ රෝගය මරණ පරීක්ෂණයේදී පෙනෙන්නට නොතිබුණත් බොහෝ වෙලාවට මරණය සිදුවීමට තිබුණ අවදානම් තත්ත්වය අපි හඳුනා ගන්නවා. මරණ පරීක්ෂණයේදී දෙමව්පියන් සිටින තත්ත්වය අනුව ඔවුන්ට වැරදි පෙන්වා දීම හෝ උපදෙස් ලබාදීම අපහසුයි. නමුත් මෙවැනි මරණයක් වීමට කලින් ඒ සම්බන්ධයෙන් දෙමව්පියන් හා සමාජය දැනුවත් වීම වැදගත්.
“ හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය” එතරම් සුලබද?
ඔව්. ඒත් ඔබ මේ ගැන අසා නැති වන්න පුළුවන්. ඊට හේතුව නම් මේ තත්ත්වය සෑම විටම හඳුනාගන්නේ මරණ පරීක්ෂණයකදී පමණයි. සාමාන්‍ය අසනීපයක් හඳුනාගන්නවා වගේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ට මේ ගැන හඳුනාගැනීමේ හැකියාව නැහැ. ලංකාවේ මේ මරණ පිළිබඳව සංඛ්‍යාලේඛනවල අඩුපාඩු පවතිනවා. ඒ නිසා නිවරැදි දත්ත ලැබෙන්නේ නැහැ. අන්තර්ජාතික දත්ත අනුව ඇමරිකා එක්සත් ජනපදයේ වසරකට හදිසි ළදරු මරණ 3500 ක් පමණ සිදු වෙනවා. ඒ නිසා මෙය නොසලකා හැරිය යුතු තත්ත්වයක් නොවේ.
මේ තත්ත්වයට අවදානමක් ඇති දරුවන් කවුද?
උපතේ සිට වයස අවුරුදු 1 දක්වා වූ දරුවන් අවදානම් කණ්ඩායමට ඇතුළත්. එයිනුත් මාස 2 සිට 4 දක්වා දරුවන් අධි අවදානම් ලෙස හඳුනාගෙන තිබෙනවා. පිරිමි දරුවන් මේ තත්ත්වයට වැඩි අවදානමක් ඇති බවත් හඳුනාගෙන තිබෙනවා. අනෙක් විශේෂත්වය වන්නේ මේ මරණ හැමවිටම නින්දේදී සිදුවීමයි.මීට අමතරව මේ තත්ත්වයට අවදානම් වශයෙන් හඳුනාගත් තත්ත්ව කීපයක් තිබෙනවා. ඒවා වෙනස් කළ හැකි ( modifiable) සහ වෙනස් කළ නොහැකි ( Non- modifiable risk) අවදානම් තත්ත්ව ලෙස හැඳින්වෙනවා.
වෙනස් කළ නොහැකි ( Non- modifiable risk) සාධක
- දරුවාගේ වයස අවුරුදු එකට වඩා අඩුවීම
- පිරිමි දරුවකු වීම
- උපතේදී අඩු බර දරුවකු වීම
මීට පෙර එම දෙමව්පියන්ගේ දරුවකු මේ ආකාරයට මරණයට පත්වීම මෙහි තවත් විශේෂත්වයක් තිබෙනවා. මෙවැනි අවදානම් සාධක තිබුණත් වෙනස් කළ හැකි අවදානම (modifiable risk factors) අඩු කරගැනීමෙන් මෙම මරණ වළක්වා ගැනීමට ඉතා හොඳ හැකියාවක් තිබෙනවා.
මෙවැනි මරණයක් වළක්වා ගන්නේ කොහොමද?
හදිසි ළදරු මරණ වළක්වා ගැනීම සඳහා ඉතා හොඳ, මාර්ගගත ක්‍රමවේදයක් ලෙස 1994 වසරේදී එක්සත් ජනපදයේ ආරම්භ වුණ ‘ safe to sleep campaign’ එක පෙන්වා දිය හැකියි. මේ ක්‍රවේදය හඳුන්වාදීමෙන් පසු එරට සිදුවුණ හදිසි ළදරු මරණ අනුපාතය 50%කින් පමණ අඩු කරගැනීමට අවස්ථාව ලැබී තිබෙනවා.
හදිසි ළදරු මරණ වළක්වා ගැනීම දරුවා ලැබෙන්නට පෙරාතුව පටන්ම අවධානය දැක්විය යුතු තත්ත්වයක්. ගර්භණී අවස්ථාවේදී නිවරැදි වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම, පෝෂණය හා නියමිත එන්නත් ලබා ගැනීම, දරුවාගේ බර, ආසාදන සහ උපතේදී ඇතිවිය හැකි සංකුලතාවන් අවම කරගැනීම මෙවැනි මරණ වළක්වා ගැනීමට පිටිවහලක් වේ.
දරුවා නිදි කරවන ආකාරය
හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝම ගැන විවිධ විද්‍යාත්මක පැහැදිලි කිරීම් තිබුණත් මෙයට නිශ්චිත හේතුව ඒවායින් පැහැදිලි වෙලා නැහැ. ඒත් මෙය වළක්වා ගැනීම පැහැදිලි කරගැනීමට අපි එක ආකෘතියක් භාවිත කරනවා. ඒ ආකෘතියට අනුව දරුවන් ප්‍රශ්වාස කිරීමේදී නිකුත්වන කාබන්ඩයොක්සයිඩ් වායුව බරින් වැඩි වායුවක් වීම නිසා දරුවා නිදා ගන්නා විට එය මුඛය අවට එකතු වනවා.
වැඩිහිටියකුට මේ තත්ත්වය ඇති වූ විට ඉරියවව් වෙනස් කරගත්තත් කුඩා දරුවන්ට එවැනි හැකියාවක් නැහැ. සමහර දරුවන්ගේ ජානමය තත්ත්වයන් මතත් මේ කාබන්ඩයොක්සයිඩ් වායුව වැඩිවීම හඳුනාගැනීමේ හැකියාව සහ හැඩගැසීමේ ප්‍රතීක ක්‍රියාව සිදු නොවන්න පුළුවන්. එවැනි අවස්ථාවක දරුවෙකුගේ රුධිරයේ කාබන්ඩයොක්සයිඩ් වැඩි වී මෙවැනි මරණයක් සිදුවන්න පුළුවන්.
දරුවා නින්දට පත්කළ යුතු ඉරියව්ව කුමක්ද?
රූපසටහන- 1 බලන්න
මේ සම්බන්ධයෙන් සමාජගත වී ඇත්තේ ඉතා වැරදි මතයක්. දරුවන්ට ඇතිවිය හැකි පිටඋගුරේ යෑම නිසා මුහුණ පහත දෙසට තබා හෝ ඇලයකට යනුවෙන් වැරදි අවබෝධයක් පවතී. එහෙත් මෙසේ දරුවකු නින්දට පත්කිරීම ඉතාමත් භයානකයි. එසේ කිරීමකදී මුහුණ අසල අධිකව කාබන්ඩයොක්සයිඩ් වායුව එකතු වීම නිසා ශ්වසනයට සෘජු ලෙස බලපෑමක් ඇතිවිය හැකි නිසා මේ අවදානම ඇති වේ. වැඩිදුරටත් එසේ මුහුණ පහතට තබන ඉරියව්වේදී දරුවාගේ ශ්වසන මාර්ගය ආහාර මාර්ගයට වඩා පහතින් තිබීමත් සමග කිරි වමනයකදී එය ශ්වසන මාර්ගයට ඇතුළු වීමේ අවදානම වැඩි වේ. ඒ නිසා දරුවකු නින්දට පත්කිරීමට සුදුසුම ඉරියව් වන්නේ ඉහළ දෙස බලාගෙන එනම් උඩුබැලි අතටය.
රූප සටහන 2 බලන්න
දරුවා නින්දේදී තබන ස්ථානය
බොහෝ මව්වරුන් තම බිලිඳු දරුවා රාත්‍රි නින්දේදී තමන් අසලම තබා ගන්නවා. මෙය වැරදි ක්‍රියාවක්. මෙහිදී මව විසින් ප්‍රශ්වාස කරන කාබන්ඩයොක්සයිඩ් වායුව දරුවා දිගින් දිගටම ආඝ්‍රාණය කිරීම මගින් දරුවාගේ රුධිරයේ කාබන්ඩයොක්සයිඩ් වායුව වැඩි වීමෙන් මෙවැනි මරණයක් සිදු වන්න පුළුවන්. ඊට අමතරව දරුවා මවට යටවීම සහ අධික උෂ්ණත්වයක් දැනීම (over heating) නිසා අනතුරුදායක තත්ත්වයක් ඇතිවිය හැකියි. මේ නිසා දරුවා තැබීමට සුදුසු වන්නේ තොටිල්ලකි ( baby cot ) මේ තොටිල්ලත් නියමිත ප්‍රමිතියෙන් යුක්ත වීම වැදගත්.
හිස සිරවීමට හැකි ආකාරයේ හිදැස් තිබීම, පැත්තකින් විවෘත කිරීමට හැකි තොටිලිවල අගුලු නිසි ආකාරයෙන් ක්‍රියා නොකිරීම නිසා දරුවන් ඒ අතර සිරවීම වැනි අවදානම් තත්ත්වයන් ඇතිවිය හැකියි. සමහර මව්පියන් දරුවාගේ හිස තොටිල්ලේ වැදීම වළක්වා ගැනීමට තොටිල්ලට පැති ආවරණයක් (cot bumper ) භාවිත කරනවා. මෙහිදී දරුවාට ලැබෙන වාතාශ්‍රය අඩුවීම නිසා අවදානමක් ඇතිවනවා.එකම ඇඳක නොසිටියත් අවදානම් තත්ත්ව හඳුනාගැනීමට සහ දරුවාගේ කටයුතු වෙනුවෙන් මව දරුවා සිටින කාමරයේ සිටීම සුදුසුයි. ඒ වගේම හොඳ වාතාශ්‍රයක් සහිත කාමරයක් වීමටත් වග බලාගන්න.
දරුවාගේ මෙට්ට සහ ඇතිරිලි
දරුවා තබන මෙට්ටය ඉතා මෘදු නොවිය යුතුයි. එනම් යම් ප්‍රමාණයක දෘඩ බවක් ( firm) සහිත විය යුතුයි. ඉතා මෘදු මෙට්ටයක දරුවා තැබීමේදී මෙට්ටය තුළට හිස කිඳා බැසීම නිසා මෙට්ටයේ ඇතිවන හිදැස වැනි ස්ථානයට කාබන්ඩයොක්සයිඩ් වායුව එකතු විය හැකියි.
රූප සටහන 3 බලන්න
දරුවාගේ හිසට කොට්ටයක් තබන විටත් මේ තත්ත්වය ඇතිවිය හැකියි. මීට අමතරව පළමු වසර තුළ කොට්ට ( හිස තබන සහ අමතර කොට්ට ) සහ වෙනත් සෙල්ලම් භාණ්ඩ දරුවා නිදන තොටිල්ලෙන් ඉවත් කිරීම වැදගත් වන්නේද එවැනි දෙයක් මුඛය ආශ්‍රිතව තැබීමෙන් කාබන්ඩයොක්සයිඩ් වායුව එකතු වීමට ඇති හැකියාව සහ ශ්වසනයට ඇතිවිය හැකි අවහිරතාවන් නිසායි. මීට අමතරව ඇඳ ඇතිරිලි නියමිත ආකාරයෙන් මෙට්ටයට යටවී සවි වී තිබිය යුතුයි. නැත්නම් දරුවා ඇතිරිල්ල මුහුණ දෙසට ඇදගැනීම නිසා මුහුණ අවට ප්‍රශ්වාස වායුව එකතු වීමට ඉඩක් නිර්මාණය විය හැකියි.
රූපසටහන – 4 බලන්න
දරුවන්ට පළමු වසර ඇතුළත වැළඳෙන්නට හැකියාවක් තිබෙන සමහර ආසාදන තත්ත්ව මෙම “ හදිසි ළදරු මරණ සින්ඩ්‍රෝමය “අවදානම වැඩි කිරීමට හැකියාවක් තිබෙනවා. ඒ නිසා දරුවාගේ ප්‍රතිශක්තිකරණය නියමිතව ලබාදීම වැදගත්. මීට අමතරව පළමු මාස හය ඇතුළත අනිවාර්යයෙන්ම මව්කිරි ලබාදීම මෙම මරණවලින් සහ වෙනත් ලෙඩ රෝග ගණනාවකින් ආරක්ෂා වීමට වැදගත් බව විද්‍යාත්මකව සනාථ වී තිබෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️