අපි කාලයක් ලාදුරු ගැන එතරම් කතාබහක් කළේ නැති වුණත් ඒ නිහඬතාව දැන් යළි බිඳී ගිහින්. ලාදුරු රෝගීන් සහ එහි පැතිරීමක් දැන් නැතැයි යන උපකල්පනය නැවත වෙනස් වී තිබෙනවා. ලෝකය පුරා වසරකට ලාදුරු රෝගීන් 208,000 ක් පමණ වාර්තා වන අතර එයිනුත් බොහෝ රෝගීන් ආසියාව සහ අප්‍රිකාවෙන් වාර්තා වනවා. ලංකාවේත් ලාදුරු රෝගීන් ගැන වාර්තාවීම් සිදුවන අතර ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් 1995 වසරේ ශ්‍රීි ලංකාව ලාදුරු තුරන් වුණ රටක් බවට සහතිකය ලබාදෙන විටත් අපේ රටේ රෝගීන් 1,000 කට ආසන්න ප්‍රමාණයක් වාර්තා වුණා. 2023 වසරේ ලාදුරු රෝගීන් 2000 ක් පමණ වාර්තා වී තිබෙනවා. මෙම රෝගීන් අතරින් වැඩිම පිරිසක් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වාර්තා වුණා. නමුත් මුලතිව් සහ කිලිනොච්චිය වැනි දිස්ත්‍රිකවලින් වාර්තා වුණ ලාදුරු රෝගීන් ප්‍රමාණය 4 ක් පමණ අඩු සංඛ්‍යාවක් වීමත් විශේෂයක්.
ලාදුරු රෝගය Mycobacterium leprae බැක්ටීරියාව මගින් ඉතා සෙමින් බෝ වනවා. මේ රෝගයට පරම්පරාව හෝ ජාන සම්බන්ධතාවක් බලපාන්නේ නැති නමුත් සමූහ වශයෙන් ජීවත් වීම, අඩු සෞඛ්‍ය පහසුකම් සහිත නිවාස සහ අපිරිසිදු බව වැනි පාරිසරික සාධකත් බලපානවා.
ලාදුරු රෝග ලක්ෂණ
රතු හෝ සමේ පැහැයට වඩා ළා පැහැති පැල්ලම් සමේ ඇතිවීම
අත් සහ පාදවල හිරිවැටීම
අත් සහ පාදවල වේදනා රහිත තුවාල
මාංශ පේශි දුර්වලතාව
මීට අමතරව රෝග ලක්ෂණ වශයෙන්…
පර්යන්ත ස්නායු විශාල වීම
ඇහිබැමි නැති වීම
නාසය සිරවීම
නාසයෙන් ලේ ගැලීම
රෝගය දරුණු වූ විට..
පෙනීම නැති වීම
නාසයේ විරූපණය
අත් සහ පාදවලට ස්ථිර හානි ද සිදු වන්න පුළුවන්. ඊට අමතරව ඇඟිලි කෙටි වීම සහ පාදවල සහ පතුලේ දීර්ඝකාලීන ලෙසින් ඇතිවන වෙනස්කම් දැකිය හැකිය.
රෝගය හඳුනාගැනීම
ලාදුරු රෝගය බැලු බැල්මෙන්ම හඳුනාගන්න පුළුවන්. ඒ සඳහා වෙනත් පරීක්ෂණ අවශ්‍ය නැහැ. අත්‍යවශ්‍යම වුණොත් පමණක් පටක පරීක්ෂාවක් සිදුකරනවා. ඖෂධීය ප්‍රතිකාර ලබා දීමේදී රෝගියාගේ රුධිර පරීක්ෂණ වාර්තාවක් ලබාගන්නවා. ඒ නිසා ඔබට ලාදුරු ගැන යම් සැකයක් ඇති වුණොත් ඕනෑම රජයේ රෝහලක චර්ම රෝග සායනයට හෝ බාහිර රෝග සායනයකට හෝ කොළඹ ජාතික රෝහලේ මධ්‍යම ලාදුරු සායනයට පැමිණීම ඉතාම වැදගත්.
ලාදුරු රෝගියකුගේ සමේ ඇති පැල්ලම් තවත් කෙනෙකු ස්පර්ශ කළොත් ඒ පුද්ගලයාට ලාදුරු බෝ වීමට පුළුවන් ද?
මේ රෝගයත් ශ්වසනය ආශ්‍රිතව බෝ වන රෝග තත්ත්වයක්.රෝගය සහිත පුද්ගලයකු කහින විට හෝ කිවිසුම් යවන විට බැක්ටීරියාව බිඳිති ලෙස වාතයට එකතු වනවා. ඒ බිඳිති වෙනත් නීරෝගී පුද්ගලයකු විසින් ආශ්වාස කරන විට ඔවුන්ට රෝගය බෝ වෙන්න පුළුවන්. විශේෂයෙන් කෙළ, සෙම වැනි බිඳිති මගින් රෝගය බෝ වීම සිදුවනවා. වැළඳ ගැනීම, අතට අත දීම මගින්, ආසාදිත පුද්ගලයකු හා සමීපව වාඩි වීම හෝ ලිංගික සම්බන්ධතාවයන් පැවැත්වීම මගින් රෝගය බෝවෙන්නේ නැහැ.
බොහෝ අයට ස්වභාවික ප්‍රතිශක්තිය තිබෙන නිසා රෝගය බෝ වීමක් සිදුවන්නේ නැහැ.ලාදුරු රෝගියෙක් සමග සමීප ඇසුරක් යනුවෙන් අදහස් කරන සතියකට පැය 20 ක් වත් ඇසුරක් පවත්වාගෙන ගියොත් හැර පුද්ගලයාගෙන් පුද්ගලයාට ලාදුරු බෝ වීමක් සිදු වන්නේ නැහැ. ඒ නිසා අනවශ්‍ය අන්දමින් බියක් ඇති කරගත යුතු නැහැ.
දරුවන් අතරත් ලාදුරු?
දරුවන් අතර ලාදුරු රෝගය තිබුණත් එය බෝ නොවන ලාදුරු විදිහට හඳුනාගෙන තිබෙනවා. රෝගී දරුවකුගෙන් තවත් නීරෝගී දරුවකුට රෝගය බෝ වීමක් සිදු වන්නේ නැහැ. අපට ලැබුණ වාර්තා අනුව ලාදුරු රෝගී දරුවෙක් වාර්තා වුණොත් ඒ නිවසේ එසේ නැත්නම් දරුවාගේ පාසලේ, පංතියේ ලාදුරු රෝගී දරුවන් සිටින බැව් වාර්තා වෙනවා.
ලාදුරු සුව කරන්න පුළුවන්ද?
නිසි ප්‍රතිකාර ලබාගැනීමෙන් ලාදුරු රෝගයෙන් සුවය ලබාගැනීම අපහසු නැහැ. ඒ වෙනුවෙන් අඛණ්ඩව ප්‍රතිකාර ලබා ගන්න සතියක කාලයක් වුණත් ප්‍රමාණවත්. රෝහලක නේවාසික වීම අවශ්‍යත් නැහැ. නිවසේ ඉඳන්ම ප්‍රතිකාර ලබාගැනීමට වගේම ඔවුන්ගේ වැඩ රාජකාරිවල යෙදීමටත් රෝගයෙන් කිසිම බාධාවක් නැහැ.
ලාදුරු රෝගීන් වෙනස්කොට සැලකීම
ලාදුරු රෝගියෙක් කිසිසේත් වෙනස් කොට සැලකිය යුතු නැහැ. ඒ වගේම ලාදුරු යැයි සැකයක් ඇත්නම් ළඟම තිබෙන රජයේ රෝහලෙන් ප්‍රතිකාර ලබාගන්න පුළුවන්. අවශ්‍ය යොමුකිරීම් රජයේ රෝහලක් ඔස්සේ සිදුකරනවා. ඒ නිසා ලාදුරු ගැන යම් සැකයක් ඇති වුණොත් ප්‍රතිකාර ලබාගැනීම කිසිසේත්ම අනාගතයට කල් තබන්න එපා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️