අපේ ජිවිතයේදී ක්ලාන්තය කැරකැවිල්ල පිළිබඳව අත්දැකීමක් නොලැබූ අයෙක් නැතුව ඇති. ඒ වගේම අපි මේ තත්ත්වය රෝගයක් විදිහට සලකන්නෙත් නැහැ. ඒත් අප විසින්ම මෙය රෝගයක් නොවෙයි යැයි අනුමාන ගොඩනගාගත්තත් සමහර අවස්ථාවලදී ක්ලාන්තය කැරකැවිල්ල සාමාන්‍ය රෝගයක ලක්ෂණයක් විය හැකියි. ඒ වගේම තවත් අවස්ථාවකදී මෙය භයානක රෝගයක අතුරු දැනුම් දීමක් වෙන්නත් ඉඩ තිබෙනවා.
රෝග ලක්ෂණ
සමහර විට ඔබට මේ තත්ත්වය දැනෙන්නේ ඔළුවේ ඇතිවන බර ගතියක් විදිහට විය හැකියි.
ඇතැම් අවස්ථාවලදී තමන් පමණක් නොව තමා වටේට ඇති දේවල් පවා කරකැවෙනවා සේ දැනීම ඒ වගේම ඉහතින් දක්වන ලද රෝග ලක්ෂණ සමගම වමනය, බඩ දැඟලීම, අධික ලෙස දහඩිය දැමීම සහ ඇස් බොඳවී පෙනීම වැනි අහසුතාවන් ඇතිවීමට ඉඩ තිබෙනවා.
මේ අන්දමින් කරකැවෙන ගතියක් ඇති වෙන්නේ ඇයි?
මිනිස් සිරුරේ සමබරතාව පාලනය කිරීමට සහ සිරුරේ සමබරතාව පවත්වා ගැනීමට ඇතුළු කන, ඇස හා පාද යන අවයව ත්‍රිත්වයම වැදගත්. ඒ නිසා කන පිළිබඳව ඇතිවන විවිධ දුර්වලතාවන් හෝ රෝග තත්ත්වයන් අපට විවිධ විදිහට දැනෙන්න පුළුවන්. ඇතුළු කනේ සමබරතාව නැති වීම නිසා ක්ලාන්ත ගතියක් ඇතිවීමට පුළුවන්.
මොළයේ සිදුවන වෙනස්කම්
කරකැවිල්ල ඇතිවිය හැකි අවස්ථා
අපේ ඉරියව්ව වෙනස් වීම සමග ඇතිවන කැරකැවිල්ල තත්පර ගණනාවක් එහෙම නැත්නම් දින දෙක තුනක සිට සති කීපයකදී ක්‍රමයෙන් අඩුවන්න පුළුවන්.
- නිදාගෙන නැගිටින විට
- නිදි ඇඳේ හැරෙන විට
- උඩක සිට පහත බලන විට
- ඔළුව පහත් කර යමක් ගන්න උත්සාහ කරන විට
- දණ බිම ගසා වන්දනා කිරීම වැනි ඉරියව්
- නින්දෙන් හැරෙන විට
මැද කන ආශ්‍රිතව ඇතිවන වෙනස්කම් නිසා විශේෂයෙන් කැස්ස, හෙම්බිරිස්සාව වැනි රෝග තත්ත්වයන්හිදී කන ආශ්‍රිතව ඇතිවන රෝග තත්ත්වයන් නිසා ශ්‍රවණ තත්ත්වයේ අඩුවීමක් ඇතිවීම.
සමහර අවස්ථාවලදී ශ්‍රවණයේ දුර්වලතාව සමග කනේ ඝෝෂාවක් ඇසෙන්න පුළුවන්. එවැනි විටකදීත් කැරකැවිල්ල ඇතිවනවා.
ඇතැම් ස්නායු රෝග නිසා
මිග්රේන්, හිසරදය තත්ත්වයේදීත් කරකැවිල්ල ඇති වී එයින් පසුව හිසරදය ඇතිවීම.
කොලස්ටරෝල්, දියවැඩියාව වැනි රෝග තත්වයන්හිදී මොළයට රුධිරය ගෙන යන නාළ අවහිර වීම නිසා මේ තත්ත්වය ඇති වීම.
හදිසි අනතුරු නිසා කුඩා මොළයට හෝ කනට තුවාල වීම නිසා කැරකැවිල්ල ඇති වෙන්න පුළුවන්.
යම් යම් ආසාත්මිකතාවන් නිසා
කන අභ්‍යන්තරයේ සිට මොළය දක්වා දිවෙන vestibular ස්නායුව මත වර්ධනය වන පිළිකා නොවන ගෙඩි නිසා.
කරකැවිල්ලක් දැනුණ පමණින් ඔබ ප්‍රතිකාර වෙත යොමු වෙන්නේ නැහැ. නමුත් කැරකැවිල්ල සමග මෙවැනි රෝග ලක්ෂණ තිබෙනවා නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමුවීම ප්‍රමාද කරන්න එපා.
- පැත්තක් අප්‍රාණික වීම
- ඇස්වල චලනයේ ඇතිවන වෙනසක්
- සිහිමද ගතිය
- කතා කිරීමේ අපහසුතාව
- ඇවිදින විට විසි වෙන හෙවත් පැත්තට ඇද වීම
රෝග තත්ත්වයන් හඳුනාගැනීම
රෝගියෙකුට ඉහත අන්දමේ කුමන හෝ අපහසුතාවක් දිගින් දිගටම පවතිනවා නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ ප්‍රතිකාර වෙත යොමුවීම වැදගත්.
- රුධිර පරීක්ෂාව
- ශ්‍රවණ පරීක්ෂාව
- ඇස් චලනයේ පරීක්ෂාව
- මොළය, හිස ආශ්‍රිත MRI හෝ CT ස්කෑන් පරීක්ෂණ
කන සම්බන්ධ රෝග ඇතිවීම සාමාන්‍ය තත්ත්වයක් වුණත් ප්‍රතිකාර ගැනීමෙන් සුව කරගන්න පුළුවන්. මේ තත්ත්වයන් පහසුවෙන් අනුමාන කිරීමට වෛද්‍යවරයාට වුණත් අපහසුයි. ඒ තරමටම රෝග තත්ත්වය සහ රෝග ලක්ෂණ සංකීර්ණයි. ඒ නිසා වෛද්‍යවරයා විසින් රෝග තත්ත්වය හඳුනා ගැනීමට විවිධ පරීක්ෂණ සිදු කරනවා. ඒ අනුව රෝග තත්ත්වය නිශ්චය කිරීමෙන් පසුව ප්‍රතිකාර වෙත යොමු වීමේ පහසුව ලැබෙනවා.
කන ආශ්‍රිත ආසාදන තත්ත්වයක් නම් ප්‍රතිජීවක ඖෂධ ලබාදීම.
කන ආශ්‍රිතව ඇති පීඩනයේ ප්‍රශ්නයක් නම් ව්‍යයාම ලබාදීම සහ අවශ්‍ය නම් උගුර, කන, නාසය ආශ්‍රිත ප්‍රතිකාර වෙත යොමුකිරීම.
පිළිකා හෝ එවැනි ගෙඩි පිළිබඳ රෝග තත්ත්වයක් නම් ඒ ආශ්‍රිත ප්‍රතිකාර වෙත යොමු කිරීම.
ඒ නිසා ඔබේ ශ්‍රවණය සම්බන්ධ ඉහත දැක්වෙන කුමන හෝ අපහසුතාවක් ඇති වුණොත් ඒ ගැන හෙටට කල් නොතබා ඉක්මන් ප්‍රතිකාර ලබා ගැනීමෙන් දිගුකාලීනව විය හැකි ශ්‍රවණය පිළිබඳ ගැටලුවලින් ආරක්ෂාව ලබා ගත හැකියි.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️