Rh එසේ නැත්නම් Rhesus යනුවෙන් හඳුන්වන්නේ රතු රුධිර සෛල මතුපිට දක්නට ලැබෙන ප්‍රෝටීනයක්. මේ ගැන කතා කිරීමේදී රිසස් සාධකය ප්‍රභේද දෙකකින් කතාකළ හැකියි.
එනම්
Rh+ ධනාත්මක
Rh – සෘණ
යම් පුද්ගලයකුගේ රුධිර සෛල මත මෙම ප්‍රෝටීනය දක්නට ලැබෙනවා නම් එය Rh ධනාත්මක (Rh+) ලෙසින්ද මෙම සාධකය හෙවත් රතු රුධිරය මතුපිට මෙම ප්‍රෝටීනය දක්නට නොලැබෙන්නේ නම් එය සෘණ (Rh-) ලෙසින්ද හැඳින්වෙනවා.
Rh සාධකය අපට වැදගත් වන්නේ ඇයි?
රිසස් සාධකය ගැන අපි නිරන්තරව කතා නොකළත් සායනික වශයෙන් මෙම රුධිර ප්‍රෝටීනය සම්බන්ධයෙන් අවධානය දැක්විය යුතු අවස්ථාවන් තිබෙනවා.
රුධිර පාරවිලයනයේදී
ගර්භණීත්වයේදී
අදාළ රෝගියාගේ එසේත් නැත්නම් ගර්භණී මවගේ රුධිරයේ පවතින Rh සාධකය ගැන අවධානයක් දැක්වීමට සිදුවනවා.
රුධිර පාරවිලයනයේදී Rh සාධකය වැදගත් ඇයි?
පරිත්‍යාගශීලීන්ගෙන් ලබාගන්නා රුධිරය ආශ්‍රිත පටක නිෂ්පාදනයේදී කොටස් හතරක් ලෙසින් වෙන්කිරීම සිදුවනවා. එනම්
- රතු රුධිරාණු
- සුදු රුධිරාණු
- රුධිර පට්ටිකා
- රුධිර ප්ලාස්මා
Rh සාධකයක් සහිත පුද්ගලයකු සම්බන්ධයෙන් Rh සාධකය වැදගත් ඇයි?
රතු රුධිරාණු
අපේ රුධිරයේ ඉතා වැදගත් මෙහෙයක් ඉටු කරන රතු රුධිර සෛල වෙන් කරගැනීම සිදුවනවා. හදිසි අනතුරකදී සිදුවන රුධිර ගැලීමකදී, ශල්‍යකර්මවලදී සිදුවන රුධිර වහනයකදී වැනි අවස්ථාවලදී මේ රතු රුධිරාණු ලබාදීම මගින් රෝගී ජීවිත බේරා ගැනීමට අවස්ථාව ලැබෙනවා.
එයින් අනතුරුව මෙම රතු රුධිර සෛල වෙන් කරගෙන ඒවා තැලසීමියාව ඇති දරුවන්ට, රක්තහීනතාව සහිත රෝගීන්ට වගේම රුධිර පිළිකා තත්ත්වයන්ගෙන් පසුවන රෝගීන්ට ප්‍රතිකාර වශයෙන් යොදාගන්නවා.
මෙවැනි අවස්ථාවකදී රුධිරය පරිත්‍යාග කරන පුද්ගලයාගේ රිසස් සාධකය සහ රුධිරය ලබාදෙන රෝගියාගේ රිසස් සාධකය අතර ගැළපීමක් තිබීම අත්‍යවශ්‍ය වෙනවා. මේ පුද්ගලයන් අතර රිසස් සාධකයේ නොගැළපීමක් තිබුණොත් රුධිර පාරවිලයනය මගින් ලබාදෙන රුධිරයේ ඇති රතු රුධිර සෛල විනාශ වනවා.
ගර්භණීත්වයේදී Rh සාධකය වැදගත් ඇයි?
ගර්භණී මවක සහ ඇගේ දරුවාගේ රිසස් සාධකය අතර නොගැළපීමක් තිබීම නිසා යම් යම් සංකුලතාවන් ඇතිවනවා.Rh සෘණ මවක් Rh ධනාත්මක දරුවකු ලබනවා නම් ගැටලුවක් ඇතිවනවා. නමුත් Rh ධනාත්මක මවක් Rh සෘණ දරුවකු බිහිකිරීම ගැටලුවක් නැහැ.
Rh සෘණ මවකට Rh ධනාත්මක දරුවකු ලැබුණොත්?
ගර්භණීත්වය සමග දරුවාගේ රුධිරය මවගේ රුධිරය සමග සම්බන්ධ වනවා. මෙය ගර්භණීත්වයේ විවිධ අවස්ථාවන්හිදී සිදුවීමට පුළුවන්. උදාහරණ ලෙසින් සඳහන් කරනවා නම් ගබ්සා කිරීම, ප්‍රසූතියෙන් පසු සිදුවන රුධිර වහනය, උදරය තුවාල වීම, දරු ප්‍රසූතිය වැනි අවස්ථාවන්හිදී මවගේ රතු රුධිරාණුවල ඇති Rh ප්‍රෝටීනය දරුවාගේ රුධිරය සමග සම්බන්ධ වීමට පුළුවන්.
එවැනි අවස්ථාවකදී මවට මෙම Rh සාධකයට එරෙහිව ප්‍රතිදේහ(Antibodies) නිපදවා ගැනීමේ හැකියාව ලැබෙනවා. මෙම ප්‍රතිදේහ නිපදවා ගැනීම වෙනුවෙන් යම් කාලයක් අවශ්‍ය වන නිසා පළමු දරුවාට බලපෑමක් ඇතිවන්නේ නැහැ.
නමුත් මව විසින් බිහිකරන දෙවන දරුවා Rh ධනාත්මක නම් මව විසින් දැනටමත් ප්‍රතිදේහ නිපදවා ඇත්නම් එතැනදී ගැටලුවක් ඇතිවීමට ඉඩ තිබෙනවා. මෙවැනි අවස්ථාවකදී මවගෙන් ලැබෙන ප්‍රතිදේහ, වැදෑමහ හරහා ගොස් දරුවාගේ රතු රුධිර සෛල මතුපිට ඇති Rh ප්‍රෝටීනය විනාශ කළ හැකියි.
ඒ නිසා දරුවාගේ රුධිරයේ හිමොගලෝබින් මට්ටම අඩු විය හැකියි. ඒ වගේම රතු සෛල විනාශ කිරීමේ Bilirubin නිෂ්පාදනය වැඩි කළ හැකියි. ඒ නිසා දරුවා කහ පැහැයට හැරීම සිදු වෙනවා. දරුණු අන්දමින් රක්තහීනතාව ඇති වීම නිසා දරුවා මියයෑම වැනි අවාසනාවන්ත තත්ත්වයන් පවා ඇතිවිය හැකියි.
ගර්භණී සමයේදී Rh සාධකය ගැටලුවක් නම්…
ගර්භණී මවකගේ Rh සාධකය පිළිබඳ පරීක්ෂා කිරීම පූර්ව ප්‍රසව සායන හරහා සිදුවනවා. ඒ අනුව ගර්භණී මව්වරුන් අතර Rh ධන සහ Rh සෘණ මව්වරුන් වෙන් කරගන්නවා. ඊට අමතරව Rh සෘණ ගර්භණී මවක් නම් සති 28 ක් වන විට හෝ ඕනෑම රුධිර වහනයක් සිදුවුණ අවස්ථාවකදී Rh සාධකය ප්‍රතිදේහ පරීක්ෂා කරනවා. සාමාන්‍ය රුධිර පරීක්ෂාවකින් මේ බව හඳුනාගත හැකියි.
Rh සෘණ මවක් නම්…
Rh සෘණ මවක් නම් ඇය ගර්භණී කාලය පුරාම ප්‍රධාන රෝහලකට සම්බන්ධව අවශ්‍ය උපදෙස් සහ ප්‍රතිකාර ලබාගැනීම වැදගත්. මෙම මව්වරුන් වෙනුවෙන් ලබාදෙන Rhogum ප්‍රතිකාර මගින් දරු ප්‍රසූතියේදී මෙන්ම මීට ඉහත සඳහන් කරන ලද රුධිර වහනය වීම් වැනි තත්ත්වයන්ගෙන් ආරක්ෂාව ලබාගැනීමට හැකියාව ලැබෙනවා. මෙවැනි මව්වරුන් වෙනුවෙන් විශේෂිත අවධානයක් ශික්ෂණ රෝහල් වෙතින් ලබාදෙන අතර දරුවාගේ සහ මවගේ සංකුලතාවන් කළමනාකරණය විශේෂිත වෛද්‍ය කණ්ඩායම් විසින් සිදුකරනු ලබනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️