පසුගිය සති කීපය තුළ කොවිඩ් ආසාදිත මරණ වාර්තාවීමත් සමග නැවතත් සමාජය තුළ කොවිඩ් පිළිබඳව බියක් ඇති වී තිබෙනවා. ලංකාවේ රෝහල්වලින් මෙම කොවිඩ් ආසාදිත මරණ වාර්තා වී තිබෙනවා. මෙම මියගිය රෝගීන් කොවිඩ් නිව්මෝනියාව තත්ත්වයෙන් මරණයට පත්වීම පමණක් පාදක කරගෙන නැවතත් කොව්ඩි වසංගත තත්ත්වයක් ඇති වේ යැයි පුරෝකථනයක් කිරීමත් අපහසුයි.
2020 වසරට සාපේක්ෂව නැවතත් වසංගත තත්ත්වයක් ගැන අපේක්ෂා කිරීමට අවශ්‍ය නැහැ. නමුත් මේ වනවිට කොවිඩ් වෙනුවෙන් පරීක්ෂණ සිදුනොවන නිසා රට තුළ කොවිඩ් ආසාදිත තත්ත්වයේ ව්‍යාප්තියක් ගැන අපට නිශ්චය කිරීමත් අපහසුයි. ඒ වගේම උක්ත මියගිය රෝගීන් කුමන කොවිඩ් ප්‍රභේදයට ගොදුරු වි දැයි තවම හඳුනාගෙන නැහැ.
2023 වසරේදීත් කොරෝනා වෛරසයේ ඔමික්‍රෝන් ප්‍රභේදයේ උප ප්‍රභේදයක් ලෙස සැලකෙන JN1 ප්‍රභේදය ඉන්දියාව, චීනය, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය ඇතුළු ලෝකයේ බොහෝ රටවලින් වාර්තා වුණා.
උතුරු අර්ධ ගෝලයේ ඇතිවන ශීත සෘතුව සමග ඒ කලාපයන්හි මෙම උප ප්‍රභේදය සහ ඉන්ෆ්ලුවන්සා ඇතුළු ශ්වසන රෝග වැඩිවීමේ ප්‍රවණතාවක් ඇතිවනවා. ඒ වගේම මැලේසියාව, සිංගප්පුරුව වැනි රටවල්වලිනුත් කොවිඩ් ආසාදිතයන් වැඩි වශයෙන් වාර්තා වනවා.
කොවිඩ් පමණක් නොවෙයි
කොවිඩ් වගේම මේ කාලයේදී ඉන්ෆ්ලුවන්සා, ඩෙංගු සහ මී උණ රෝගීන්ගේ වාර්තාවීම් ඉහළයි. ඒ වගේම පසුගිය කොවිඩ් වසංගත කාලයේදී දරුවන් වෙනුවෙන් ලබාදිය යුතු ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාදීමත් සමහර අවස්ථාවලදී මගහැරුණා.
ඒ නිසා සරම්ප රෝග තත්ත්වයන් දරුවන් අතර පැතිරෙන ප්‍රවණතාවත් ඉහළ ගොස් තිබෙනවා. දරුවන් වෙනුවෙන් මාස 6-9 අතර ලබා දියයුතු සරම්ප එන්නත් මාත්‍රාව ලබා නොදීම නිසා බරපතළ සංකුලතාවන් ඇතිවීමට ඉඩ තිබෙනවා.
ඉන්ෆ්ලුවන්සා රෝගයත් වෛරස නිසා බෝ වෙනවා. රෝගය සුවවීමට සතියක පමණ කාලයක් ගත වෙනවා. ඝර්ම කලාපීය රටවල වර්ෂා කාලයේදී රෝගයේ පැතිරීම වැඩියි. මැයි මස සිට ජූලි දක්වාත් නොවැම්බර් සිට ජනවාරි දක්වාත් පැතිරීම වේගවත්.
ඉන්ෆ්ලුවන්සා රෝගය විවිධ මුහුණුවර ගන්නවා. සාමාන්‍ය රෝග ලක්ෂණ අතර උණ, කැස්ස, උගුරේ ආබාධ, සොටු දියර ගැලීම, මස්පිඬු වේදනාව, තෙහෙට්ටුව,වමනය වැනි රෝග ලක්ෂණ දකින්න ලැබෙනවා.
ඒ වගේම නිරිත දිග මෝසම් කාලය සමග ඩෙංගු රෝගයේ පැතිරීම වැඩිවන අවදානමක් තිබෙනවා. මදුරුවන් බෝවන ස්ථාන නිසා ඩෙංගු රෝගය වසංගත තත්ත්වයකට පත් වීමට ඉඩ තිබෙනවා.
මී උණට හේතු කාරක බැක්ටීරියාව Leptospira යන නමින් හැඳින්වෙනවා. රෝගය වැළඳුණ මීයන්, හරක්, බල්ලන්, ඌරන් වැනි සතුන්ගේ මුත්‍රා මගින් මෙම බැක්ටීරියාව පරිසරයට එකතු වනවා. මෙම බැක්ටීරියාව කෘෂිකාර්මික වගුරු බිම්, ඇළවල් සහ ගංගාවන්හි රැඳී තිබෙනවා.
මෙම පරපෝෂිතයා දින 2 සිට දින 30 ක් ( සාමාන්‍යයෙන් දින 14 ක් ) වැනි කාලයක් රැඳී ඉන්න පුළුවන්. මිනිස් සමේ ඇති තුවාල වගේම ඇසට නොපෙනෙන ඉතා කුඩා තුවාලවලිනුත් කුඹුරු ආශ්‍රිත ගලා නොයන දිය කඩිතිවල නෑමේදී ඇස්වල ඇති සියුම් පටක තුළින් වගේම මී මුත්‍රා මිශ්‍ර ජලය බීමට ගැනීමේදී හෝ එම ජලයෙන් කට සේදීමෙන් මෙම බැක්ටීරියාව ශරීරගත වෙනවා. ඒ නිසා වගාබිම් හෝ අවදානම් සහිත කටයුතුවල යෙදෙන විට අත් හා පා ආවරණ පැළඳීම, ජලය රැඳී ඇති ස්ථානවල ජලය බැසීමට සැලැස්වීම වැදගත්.
අපේ ආරක්ෂාව සලසාගැනීිම වැදගත්
කොවිඩ් පමණක් නොවෙයි, බෝවන රෝග පැතිරෙන මේ කාලයේදි අපේ ආරක්ෂාව සලසා ගැනිම ඉතාම වැදගත්. ඒ නිසා ඔබට උණ, ප්‍රතිශ්‍යාව තත්ත්වයක් ඇතිවුණොත් එය දින තුනකට වඩා පවතිනවා නම් ඒ ගැන නොසලකා සිටින්න එපා.
තවමත් ලෝකයේ කිසිම රටක් lockdown තත්ත්වයන් ගැන ප්‍රකාශ කරන්නේ නැහැ. සංචරණ සිමාවන් පනවා නැහැ. නමුත් රජයෙන්ම උපදෙස් ලැබෙන තෙක් සිටින්න අවශ්‍ය නැහැ. ඕනෑම බෝවන රෝග තත්ත්වයකදී පුද්ගලයකුගේ ශරීර ප්‍රතිශක්තිකරණය වඩාත් වැදගත්.
ඒ නිසා කොවිඩ් තත්ත්වයෙන් පමණක් නොවෙයි වෙනත් ශ්වසන රෝග තත්ත්වයන්ගෙන් ආරක්ෂාවීම සඳහා මුව ආවරණ පැළඳීම වඩාත් සුදුසුයි. ඒ වගේම ආරක්ෂිතයි.මෙහිදී සියලු දෙනාම මුව ආවරණ පැළඳීම අවශ්‍යම නැහැ.
නමුත් ශ්වසන රෝගියෙක් නම් ඔවුන්ට තිබෙන අවදානම වැඩියි ඒ වගේම වයස අවුරුදු 65 ට වැඩි නම් එවැනි රෝගීන් මුව ආවරණ පැළඳීම සුදුසුයි.
ගර්භණී කාන්තාවන් විශේෂයි. ඊටත් අමතරව වකුගඩු රෝග, දියවැඩියාව වැනි ප්‍රතිශක්තිකරණය අවම වැඩිහිටියන් ගැන සැලකිලිමත් වීම වැදගත්.
ඔවුන් පහසුවෙන් රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ අවදානමක් තිබෙන නිසා මුව ආවරණ මගින් තමන්ගේ ආරක්ෂාව ලබාගැනීම වැදගත්.
රෝගී තත්ත්වයෙන් ආරක්ෂා වීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලබාදෙන උපදෙස්
- ජනාකීර්ණ, සංවෘත ස්ථානවලදී මුව ආවරණයක් පැළඳීම
- කැස්ස සහ කිවිසුම ඇතිවන විට මුඛය ආවරණය කරන්න
- ඔබේ දෑත් නිතර පිරිසිදු කරන්න
- අවදානම් සහිත පුද්ගලයෙක් නම් කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබාගැනීම
- අසනීප තත්ත්වයක් ඇත්නම් නිවසේ රැඳෙන්න
- රෝග ලක්ෂණ ඇත්නම් පරීක්ෂාවක් සිදුකර ගන්න.
පුන්‍යා චාන්දනි ද සිල්වා ✍️