හෘදය වස්තුව අපේ ජීවිතයේ පැවැත්මට අත්‍යවශ්‍ය ඉන්ද්‍රියක්. දරුවකු මවුකුස සිටින කාලයේ පටන් හෘදය වස්තුවේ වර්ධනය ඇතිවනවා. මේ අවධියේදී සිදුවන යම් වෙනස්වීම් නිසා දරුවකුගේ හදවත ආශ්‍රිතව ඇතිවන යම් සංකුලතාවන් “සංජානනීය හදවත් රෝග” යනුවෙන් හැඳින්වෙනවා. ලෝක සෞඛ්‍ය සංවිධානයේ දත්තවල සඳහන් අන්දමට දරුවන් 40,000කට එක් අයකුට තරම් අඩු සංඛ්‍යාවක් අතර රෝග සංජානනීය හෘද රෝග තත්ත්වයන් දකින්න ලැබෙනවා.
අපේ රුධිර සංසරණ පද්ධතිය ධමනි සහ ශිරා යනුවෙන් කොටස් දෙකකින් යුක්තයි. ඒ වගේම හෘදය වස්තුවෙ කුටීර හතරක් තිබෙනවා. ඒ අනුව,
- හෘදය වස්තුවේ කුටීරවල බිත්තියේ සිදුරක් ලෙසින් ඇතිවීම
- හදවත් කුටීර වෙන්කරන කපාටවල ඇතිවන ප්‍රශ්න
- මහා ධමනිය හෝ පුප්ඵුෂීය ශිරාව සිහින්වීම වැනි ප්‍රශ්න නිසා “සංජානනීය හදවත් රෝග” ඇතිවිය හැකියි.
සංජානනීය හෘද රෝග ඇතිවන්නේ ඇයි?
දරුවන්ට ඇතිවන සියලුම සංජානනීය රෝග සම්බන්ධයෙන් පැහැදිලිවම හේතු හඳුනාගෙන නැහැ. නමුත් දැනට හඳුනාගත් හේතු කීපයක් තිබෙනවා.
- ජානමය බලපෑම, ඩවුන් සින්ඩ්‍රෝම වැනි රෝග
- ගර්භණී කාලයේදී මව විසින් ලබාගන්නා ඇතැම් ඖෂධ
- මවගේ රෝග තත්ත්වයන්. උදාහරණ ලෙස පාලනය නොවූ දියවැඩියාව
- මව ගර්භණී සමයේදී විවිධ ආසාදනවලට ලක්වීම. උදාහරණ ලෙස රුබෙල්ලා වෛරසයට නිරාවරණය වීම
- ගර්භණී සමයේ මවට වැලඳෙන වෙනත් රෝග
- මවුවරු මත්පැන් සහ මත්ද්‍රව්‍ය භාවිත කිරීම
දරුවන්ට සංජානනීය රෝග ඇති බව හඳුනාගැනීම
සති විස්සේදී ගර්භණී මවකට සිදුකරන ඇනොමලි ස්කෑන් පරීක්ෂණයෙන් සමහර විට දරුවෙක් සංජානනීය හෘද රෝග තත්ත්වයකින් පසුවන බැව් හඳුනාගැනීමට පුළුවන්. නමුත් එය සියයට සියයකින්ම බැහැ. එසේ හඳුනාගත් පසු ශල්‍යකර්මයකින් ප්‍රතිකාර කිරීමට පුළුවන් අවස්ථා තිබුණත් සමහර අවස්ථාවලදී එවැනි ශල්‍යකර්මයකින් පවා ප්‍රතිකාර කිරීමට අපහසු හෘද රෝග තත්ත්වයන් තිබෙනවා.
හෘදය වස්තුවේ වම් කෝශිකාවෙන් ආරම්භ වන ධමනිවලින් පිරිසිදු හෙවත් ඔක්සිකෘතවුණ රුධිරය ගමන් කරනවා. ඒවා රතු පාටයි.පුප්ඵුෂීය ධමනිය හෘදයේ දකුණු කෝශිකාවෙන් ආරම්භ වෙනවා.
මෙම නාළවල ඇත්තේ දම් නිල් පැහැති හෙවත් අපිරිසිදු රුධිරයයි. මෙම රුධිරය පෙණහලුවලට ඇතුළු වීමෙන් ඔක්සිජන් ලබාගෙන පිරිසිදු වී නැවත හෘදය වස්තුව කරා ගමන් කරනවා. වම් කෝෂිකාව සහ දකුණු කෝෂිකාව අතර ඇති සිදුර (Ventricular Septical Defect) බොහෝ විට දරුවාගේ වර්ධනය සමග ස්වාභාවිකවම වැහෙනවා.
නමුත් සමහර දරුවන්ගේ මෙම සිදුරු වැහෙන්නේ නැහැ. හෘදය වස්තුවේ කුටීර අතර සිදුරු සහිත දරුවන් කොටසකගේ අපිරිසිදු රුධිරය සහ පිරිසිදු රුධිරය අතර මිශ්‍රවීමක් සිදුවනවා.
ඒ නිසා දරුවා නිල් පැහැ ගැනීම (Cyanosis) සිදුවනවා. සමහර හදවත් සිදුරු තිබෙන අවස්ථාවකදී පිරිසිදු සහ අපිරිසිදු රුධිරය මිශ්‍ර වීමක් සිදු වෙන්නේ නැහැ. එවැනි දරුවන් නිල් පැහැ වීමක් සිදුවන්නෙත් නැහැ (no cyanosis ). මේ සිදුරු ස්වාභාවිකවම වැහෙන්න පුළුවන්.
සංජානනීය හෘද රෝග ඇති දරුවකුගේ ලක්ෂණ
කපාටවල නහර සිහින්වීම නිසා රුධිරය ගලන ආකාරයේ වෙනස්කම් ඇතිවනවා. එවැනි අවස්ථාවල හදවතේ ශබ්දය වෙනස් වෙනවා. වෙද නළාවට අපි හඳුන්වන “ලබ් ඩබ්” ශබ්දයට වඩා වෙනස් ශබ්ද ඇසෙනවා. එවැනි ශබ්දයක් අපි “Murmur” යනුවෙන් හඳුන්වනවා.
දරුවාගේ බර වැඩිවීමක් ඇති නොවීම, නිතරම කැස්ස, හෙම්බිරිස්සාව ඇතිවීම
එක දිගට කිරි උරාබීමේ හැකියාවක් නැතිවීම
හිසට දහඩිය දැමීම, මෙතැනදී අනවශ්‍ය විදිහට බියවිය යුතු නැහැ. හිසට දහඩිය දැමීම හදවත් ආශ්‍රිත රෝග සංකුලතාවක් යැයි සැමවිටම වරදවා වටහාගත යුතු නැහැ.
හදවත් සිදුරක් සහිත දරුවකුගේ හදවත් දුර්වල වීම වේ. ( Heart falier ) තත්ත්වයන් ඇති වීමට පුළුවන්.
හෘද ස්පන්දනයේ රිද්මයද වෙනස් වීමට පුළුවන්
දරුවාගේ රුධිරයේ ඔක්සිජන් අඩු නිසා රුධිරයේ හිමෝග්ලෝබින් මට්ටම වැඩිවී ඒ නිසා සංකුලතාවන් විය හැකියි
රෝග තත්ත්වයන් හඳුනාගැනීම
දරුවන්ගේ හදවත් ආශ්‍රිත සංකුලතාවයක් ඇති බවට සැකයක් ඇති විට ඒ වෙනුවෙන් පරීක්ෂණ සිදු කරනවා.
Echo-Echocardiogram
ECG-Electrocardiogram
ආබාධය තිබෙන ස්ථානය සහ එයින් ඇතිවන සංකුලතාවන් අනුව ප්‍රතිකාර ගැන තීරණය වෙනවා. සමහර දරුවන්ට හෘදය ආශ්‍රිත ආබාධයක් තිබුණත් එයින් ඔවුන්ගේ ජීවිතයට බලපෑමක් නැහැ. අද සෑම රෝහලකින්ම අලුත උපන් දරුවා නිවසට යෑමට පෙරාතුව Puls oximetor මගින් පරීක්ෂා කරනවා. සැලකිය යුතු වෙනසක් තිබුණොත් තව දුරටත් එම දරුවා පරීක්ෂණ සිදුකිරීමට යොමු කරනවා.
සංජානනීය හෘද රෝග වළක්වා ගැනීමට…
ගර්භණී සමයේ දියවැඩියාව පාලනය කිරීම
ගර්භණී කාලයේදී යම් රෝග තත්ත්වයන්ට ප්‍රතිකාර ලබනවා නම් ඒ ගැන වෛද්‍යවරුන්ට තොරතුරු ලබාදීම
ගැහැනු දරුවන් වෙනුවෙන් ලබාගත යුතු එන්නත් ( රුබෙල්ලා ) අදාළ වයසේදී ලබාගැනීම
මවුවරුන් මත්දියර, මත්පැන් පානයෙන් ඉවත් වීම
හදවත් රෝග සංකුලතාවයන් ඇති දරුවකු සම්බන්ධයෙන්…
ඔබේ දරුවා හදවත් රෝග ආශ්‍රිත සංකුලතාවයකින් පසුවනවා නම් අදාළ වෛද්‍ය උපදෙස් සහ ප්‍රතිකාර වෙනුවෙන් යොමු වීම වැදගත්. සායනයට සහභාගි වීම අනිවාර්යෙන්ම සිදුකරන්න.
ඒ වගේම දරුවාගේ දන්ත සෞඛ්‍ය ගැන සැලකිලිමත් වන්න. දත් ආශ්‍රිත රෝග නිසා විෂබීජ දරුවාගේ හෘදය වස්තුව සම්බන්ධයෙන් පවතින රෝග තත්ත්වයන්ටත් බලපාන්න පුළුවන්.
ඒ වගේම දතක් ගැලවීම හෝ වෙනත් ශල්‍යකර්මයක් වෙනුවෙන් දරුවා යොමුකරන අවස්ථාවක රෝග ඉතිහාසය ගැන වෛද්‍යවරුන් දැනුවත් කිරීම ඉතාම වැදගත්.සමහර දරුවන්ගේ හදවත් සිදුරු ශල්‍යකර්ම මගින් සකස් කරනවා.
ඒ වගේම ඉතාම ඉක්මනින් ශල්‍යකර්ම කළයුතු අවස්ථාවන් තිබෙනවා. දරුවාට තිබෙන සංකුලතාවන් සලකා බලා ශල්‍යකර්මය ඉක්මන් කිරීමට සිදුවනවා.
සමහර විට දරුවාගේ හදවත් සිදුරක් තිබුණත් එයින් අපහසුතාවක් හෝ ජීවිතයට ගැටලුවක් නැති අවස්ථා තිබෙනවා. නමුත් හදවත් සිදුරක් ඇති බැව් හඳුනාගත් පසුව දරුවා සායනයන්ට සම්බන්ධ කර අදාළ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️