අද අප කතාකරන්නේ කාන්තාවක් වන ඔබට ඉතාම වැදගත් මාතෘකාවක්. අතීතයේදී නම් කාන්තාවන් ව්‍යායාම වෙනුවෙන් වැඩි උනන්දුවක් දැක්වූයේ නැහැ. අතීතයේ පැවැති ජීවන රටාව අනුව ඔවුන්ට අමතර වශයෙන් ව්‍යායාම කිරීම ඒ තරම් අවශ්‍ය වුණෙත් නැහැ. ඒ වුණත් අද වනවිට වැඩ පහසු කරන උපකරණ හේතුවෙන් කාන්තාවන් ශරීර ශක්තිය වැය කරන කටයුතුවල නිරත නොවන නිසා ව්‍යායාම කිරීම ඔවුන්ගේ ජීවිතයේ එක් අංගයක් බවට පත් ව තිබෙනවා. ඊටත් අමතරව ආහාර රටාව සහ අනවශ්‍ය අන්දමින් ගබඩා කරන මේද දහනය වෙනුවෙනුත් ව්‍යායාම අවශ්‍යයි. ඒ නිසා අද වන විට පිරිමි පක්ෂය වගේම කාන්තාවන්ද ක්‍රීඩා සහ ව්‍යායාමවල නිරත වීමේ ප්‍රවණතාවයක් ඇති වී තිබෙනවා.
ඒ වගේම කාන්තාවන් ලස්සනට ඉන්න වැඩි කැමැත්තක් දක්වනවා. වයසත් සමඟ ඔවුන්ගේ ශරීරයේ හැඩය ගැනත් දක්වන උනන්දුව නිසා ජිම් යෑම, සුම්බා වැනි නර්තනවල යෙදීම සහ ක්‍රීඩා කිරීමට බෙහෙවින් උනන්දුවක් දක්වනවා.
පිරිමින්ට සාපේක්ෂව බලන විට කාන්තාවගේ ශාරීරික සහ මානසික ක්රියාකාරීත්වයේ යම් යම් වෙනස්කම් තිබෙනවා. ඒ නිසාම කාන්තාවක් ව්‍යායාමවල නිරත වීමේදී ඔවුන්ගේ අවධානය යොමුවිය යුතු වැදගත් කරුණු කීපයක් තිබෙනවා.
දුවන්න ගත වන කාලය…
ධාවන කටයුතුවලදී පිරිමියකු යම් දුරක් දිවීමේදී ගන්නා කාලයට වඩා කාන්තාව ඒ දුර දුවන්න ගතකරන කාලය වැඩියි. කාන්තාවක් වැඩි කාලයක් ගැනීමටත් බලපාන හේතුවක් තිබෙනවා. කාන්තාවකගේ ඔක්සිජන් පරිවහනය කරන රුධිරයේ අඩංගු හිමෝග්ලෝබින් ප්‍රතිශතය පිරිමින්ට සාපේක්ෂව අඩුයි. ඊටත් බලපාන හේතු තිබෙනවා.
කාන්තාවකට මාසික ඔසප් වීමේදී රුධිරය පිටවීම නිසා රුධිරයේ අන්තර්ගත යකඩ ප්‍රතිශතය අඩුවනවා. ඒ නිසාම කාන්තාවන් අතර රක්ත හීනතාවත් සුලබව දකින්න ලැබෙනවා.
මේ අනුව බලන විට කාන්තාවකගේ ඔක්සිජන් පරිභෝජනය කිරීමේ හැකියාව පිරිමින්ට සාපේක්ෂව අඩු නිසා දිවීමේදී කාන්තාවකට වැඩි කාලයක් ගත වෙනවා.
කාන්තාවකගේ මාංශ පේශි…
පිරිමින්ට සාපේක්ෂව බැලුවොත් කාන්තාවකගේ මාංශ පේශි ප්‍රමාණය සහ විශාලත්වය අඩුයි. “ටෙස්ටොස්ටෙරෝන් ” හෝමෝනය ශරීරයේ මාංශපේශි වර්ධනයට හේතු වනවා පිරිමින්ගේ මෙම හෝමෝන මට්ටම ඉහළින් ඇති අතර කාන්තාවන්ගේ ‘ටෙස්ටොස්ටෙරෝන්’ හෝමෝන මට්ටම ඉතාම අල්පයි. ඒ නිසා කාන්තාවන්ගේ ශරීරයේ මාංශ පේශි ප්‍රමාණය සහ විශාලත්වය අඩුයි. ව්‍යායාම කිරීමේදී මේ වෙනසත් බලපානවා.
අස්ථි සම්බන්ධව…
කාන්තාවකගේ අස්ථි පිරිමියකුගේ අස්ථිවලට වඩා විශාලත්වයෙන් අඩුයි. අස්ථියකට අස්ථියක් සම්බන්ධ වන මුහුණත කුඩාවට පිහිටා තිබීමත්, අස්ථි ප්‍රමාණයෙන් කුඩා වීමත් නිසා පේශි සිරුරට සම්බන්ධ වීමේ හැකියාව පිරිමියකුට වඩා අඩුයි. ඒ වගේම අස්ථියකට අස්ථියක් සම්බන්ධ කරන බන්ධනීන්වල ශක්තියත් අඩුයි.
මේ කායික ව්‍යුහ ආශ්රිත ආබාධ, උරහිස ආබාධයන්ට වගේම සන්ධි ආශ්රිත ආබාධ තත්ත්වයන්ට පත්වනවා. ඒ වගේම දණහිසේ පිහිටා ඇති වැදගත් බන්ධනියක් වන ACL හි ආබාධයන්ටත් කාන්තාවන් ගොදුරු වීමේ ප්රවනතාව වැඩියි.
ඒ වගේම කාන්තාවන්ගේ පුළුල්ව පවතින උකුල ප්‍රදේශයත්, දණහිස ශරීරය මධ්‍ය දෙසට හැරී තිබීමත් නිසා දණහිස ආශ්රිත ආබාධ ඇතිවීමේ වැඩි ඉඩකඩක් පවතින බවත් මෙහිදී සඳහන් කිරීම වැදගත්.
වෙහෙසකර ව්‍යායාමවලදී කාන්තාව ඉදිරියේ…
කාන්තාවක් ගැන කතාකිරීමේදී වෙහෙසකර (endurance ) ව්‍යායාමවලදී ඇය පිරිමින්ට වඩා ඉදිරියෙන් බව ඔබ නොදන්නවා ඇති. කාන්තාවකට ග්ලයිකොජන් ( glycogen ) මඟින් ශක්තිය නිපදවීමේ වැඩි හැකියාවක් තිබෙනවා. ඒ නිසා ඔවුන්ට වෙහෙසකර ව්‍යායාමවල යෙදීමේ වැඩි හැකියාවක් තිබෙනවා.
ඔසප් වීම ව්‍යායාම කිරීමට බාධාවක් නොවේ…
මාසික ඔසප් වීම කාන්තාවකගේ ජීවිතයේ ජීව විද්‍යාත්මක ක්‍රියාවක්. නමුත් එය රෝග තත්ත්වයක් ලෙසින් හෝ ඔසප් යැයි තමන්ගේ දෛනික කටයුතුවලට බලපෑමක් ඇති කරගත යුතු නැහැ.
බොහෝ කාන්තාවන් ඔසප් දිනයන්හිදී ව්‍යායාම කිරීමට කැමැත්තක් දක්වන්නේ නැහැ. නමුත් ඔසප් දිනයක වුණත් ව්‍යායාම කිරීමට කිසිම ගැටලුවක් නැහැ. ඔසප් වීම ව්‍යායාම කිරීමේ හැකියාව අඩු කිරීමට කිසිසේත්ම බලපාන්නේ නැහැ. ඒ නිසා වෙනත් දිනයක වගේම ඔබට ඔසප් දිනයේදීත් ව්‍යායාම කිරීමට කිසිඳු ලෙසකින් බාධාවක් නැහැ.
මතුපිට වර්ගඵලය…
පිරිමින්ට සමානව බලන විට කාන්තාවන්ගේ සිරුරේ මතුපිට වර්ගඵලයට ශරීර ස්කන්ධය දක්වන අනුපාතය වැඩියි. ඒ නිසා උණුසුම් පරිසර තත්ත්වයක ව්‍යායාම කරන විට අවාසි සහගත වුණත් ශීත පරිසර තත්ත්වයකදී මේ තත්ත්වය කාන්තාවන්ට වාසි දායකයි.
ඒ වගේම කාන්තාවන්ගේ පුළුල් වූ උකුල ප්‍රදේශය සහ වඩාත් පහළින් පිහිටා තිබෙන ගුරුත්ව කේන්ද්‍රය නිසා පිරිමින්ට වඩා හොඳින් සිරුරේ සමබරතාව පවත්වා ගැනීමේ හැකියාව කාන්තාවක් සතුව තිබෙන බවත් සඳහන් කිරීම වැදගත්.
ශරීරය කුඩා වීම…
පිරිමියකුට සමානව බලන විට කාන්තාවන්ගේ ශරීරය ප්‍රමාණයෙන් කුඩා බව අපි දනිමු. මේ කායික ව්‍යුහය ඇයට පැනීමේ ව්‍යායාම සහ ක්‍රීඩා කිරීමේදී අවාසි වෙන අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම පටු උරහිස් නිසා විසිකිරීමේ ( හෙල්ල ) ක්‍රිඩාවන්හිදී පිරිමින්ට වඩා අඩු හැකියාවන් ප්‍රදර්ශනය කරනවා.
කාන්තාවකගේ කොන්ද යට ප්‍රදේශයේ ඇති වක්‍ර ස්වභාවය නිසා කාන්තාවන් ඉතා පහසුවෙන් කොන්ද ආශ්රිත වේදනාවන් සහ ආබාධයන්ට පත්වීමේ හැකියාව ඉහළ බවත් සඳහන් කිරීම වැදගත්. මේ නිසා කාන්තාවක් ලෙසින් ඔබ ව්‍යායාම හෝ ක්‍රීඩාවක නිරත වෙනවා නම්, මේ කරුණු ගැනත් දැනගෙන සිටීම වැදගත් යැයි මා සිතනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️