ඔබට මුත්‍රා ආසාදන තත්ත්වයක් ඇතිවුණොත් වෛද්‍යවරයා විසින් ලබාදෙන විවිධ පරීක්ෂණ ඔබ විසින් ලබාගැනීමට ප්‍රමාද වෙන්නේ නැහැ. රෝග තත්ත්වය නිශ්චය කරගැනීම සඳහා වෛද්‍යවරයා විසින් වෛද්‍ය වාර්තාවන් ලබාගැනීමට රෝගියා යොමු කරනවා. ඒ නිසා මුත්‍රා ආශ්රිත රෝග තත්ත්වයන් කල්තබා හඳුනාගෙන ප්‍රතිකාර ලබාදීමට හැකියාව ලැබෙනවා.
වෛද්‍ය පරීක්ෂණ මගින් නිවැරදි රෝග නිශ්චයන් ලබාගැනීම අපහසුයි
නමුත් වෛද්‍ය වාර්තා ලබාගත් පමණින්ම යම් මුත්‍රා ආශ්රිත රෝග තත්ත්වයක් ගැන තීරණ ලබාගැනීම අපහසු වන අවස්ථා තිබෙනවා. සමහර විට වෛද්‍යවරයා විසින්ද ඔබේ රෝග තත්ත්වය ගැන සලකා සම්පූර්ණ මුත්‍රා පරීක්ෂාවක් ලබාගැනීමට නියම කරනු ඇත.
වෛද්‍ය පරීක්ෂණ වාර්තාවට අනුව මුත්රාවල රතු රුධිර සෛල හෝ සැරව සෛල තිබුණොත් මුත්‍රා වගා කිරීම හෙවත් Urine Culture වාර්තාවක් වෙනුවෙන් රෝගියා යොමු කරනු ඇත. නමුත් මේ වාර්තාව රෝග තත්ත්වයට අදාළව වෛද්‍යවරයාට තීරණයක් ගතහැකි තත්ත්වයක් නොමැති වුණොත් අදාළ රෝග තත්ත්වයට නිසි වෛද්‍ය ප්‍රතිකාර නොලැබීමට ඉඩ තිබෙනවා.
Urine Culture
මෙම මුත්‍රා පරීක්ෂණයේදී ඒ සඳහා විශේෂ බෝතලයක් ලබාදෙනවා. එහිදී සාම්පලය ලබාගැනීමට පෙරාතුව බෝතලය විවෘත කිරීම එක නුසුදුසුයි. මුත්රාවල විදලා යන ප්රවාහයෙන් බෝතලයට මුත්‍රා ලබාගත් පසු පියන පවා අතින් ඇල්ලීම සුදුසු නැහැ. එම අවස්ථාවක විෂබීජ ඇතුළු වුණොත් වාර්තාව නිවැරදි නැහැ.රසායනාගාරයට යම් දුරක් තිබෙනවා නම් හැකි ඉක්මනින් සාම්පලය බාරදීමත් අවශ්‍යයි.
කාලයත් සමග මුත්‍රා සාම්පලයේ නිවැරදිතාවයට ගැටලු ඇතිවන නිසා සායනයකදී හෝ රසායනාගාරයකදී මුත්‍රා සාම්පලය ලබාගන්නවා නම් වඩාත් සුදුසුයි.රසායනාගාරයේදී මුත්‍රා රෝපණ මාධ්‍යක වගා කිරීම සිදුවනවා.
එතැනදී මුත්‍රා ආසාදනයට හේතු කාරක බැක්ටීරියා හඳුනාගැනීමට පුළුවන්. මෙම වාර්තාවේ වැඩි දුරටත් සඳහන් වෙන ABST (antibiotic susceptibility test)සටහන මගින් ආසාදනය ඇතිකරන බැක්ටීරියා වර්ගය සහ එම බැක්ටීරියාව සංවේදී වෙන ප්‍රතිජීවක ගැනත් හඳුනා ගැනීමට හැකියාවක් ලැබෙනවා. නමුත් රෝගියාගේ මෙම වාර්තාවේ කිසිම රෝග තත්ත්වයක් ගැන සටහන් නොවුණත් ඔහු මුත්‍රා රෝග තත්ත්වයකින් පීඩාවට පත්රෝගියකු විය හැකියි.
මානසික රෝග තත්ත්වයක් ලෙස සැක කරනවා.
ඒ විතරක් නොවෙයි වෛද්‍ය පරීක්ෂණ වාර්තාවන්හි වරදක් නොමැති වුණත් රෝගියා තමන්ගේ අපහසුතාව ගැන කියමින් නිරන්තරව වෛද්‍යවරයා වෙත පැමිණෙනවා නම් මේ රෝග තත්ත්වය මුත්‍රා සම්බන්ධව නොව මානසික තත්ත්වයක් මත ඇතිවන බවට සැකකරන අවස්ථාවන්ද තිබෙනවා.
එහිදී මුත්‍රා ආශ්රිත අපහසුතාවන් ඇති රෝගීන් මානසික රෝග වෙනුවෙන් වූ ප්‍රතිකාර වෙත යොමුකිරීමට පවා සිදුවනවා. එවැනි අවස්ථාවකදී රෝගියාට රෝග තත්ත්වය වෙනුවෙන් වූ නිසි ප්‍රතිකාර නොලැබී යනවා පමණක් නොව මෙම රෝගියාගේ මානසික නීරෝගීතාව ගැනත් ගැටලුවක් ඇතිවනවා.
මුත්‍රා මාර්ගය ආශ්රිත රෝග තත්ත්වයන් නිශ්චය කරගත හැකි වෛද්‍ය පරීක්ෂණයක්
එසේනම් දැන් ඔබට මෙවැනි ප්‍රශ්නයක් ඇති. ඒ අපි හැම දෙනෙක්ම වාගේ අද වන විට හොඳින් දන්නා UFR Urinary Full report “ KUB (kidney, ureter, and bladder ) එක්ස්රේ, CT ස්කෑන් වැනි පරීක්ෂණ මගින් හඳුනාගත නොහැකි මුත්‍රා රෝග තත්ත්වයන් හඳුනාගත හැකි වෛද්‍ය පරීක්ෂණ තිබෙනවාද කියා? විශේෂඥ වෛද්‍යවරයකු විදිහට මට පැහැදිලිව ඒ ගැන කිව හැකියි.Cystoscopy පරීක්ෂණයක් මගින් මුත්‍රාශය, මුත්‍රා මාර්ගය, මුත්‍රාශයේ පටක සහ පුරස්ථි ග්‍රන්ථි ආශ්රිත රෝග තත්ත්වයක් නිශ්චය වශයෙන්ම හඳුනාගැනීමේ හැකියාව තිබෙනවා.
Cystoscopy පරීක්ෂණය සිදුකරන ආකාරය
මෙම පරීක්ෂණයේදී රෝගියා නිර්වින්දනය ( Anesthesia ) කිරීම හෝ ඒ වෙනුවෙන් නික්ෂේපන අවශ්‍ය ( injection) නැහැ. නිරාහාර වීමක් අවශ්‍ය නැහැ. මුත්‍රා මාර්ගය හරහා නිර්වින්දන හැකියාව ඇති ජෙල් වැනි ලිහිසි ද්‍රාවනයක් ඇතුළත් කරනවා. ප්‍රමාණවත් කාලයකදී සම්පුර්ණ මුත්‍රා මාර්ගයම වේදනාවක් නැති තැනට පත්වනවා.
මෙහිදී කුඩා නම්‍යශිලි කැමරාවක් සහිත උපකරණයක් ( flexible cystoscope ) මගින් මුත්‍රා මාර්ගයේ තත්ත්වය, පුරස්ථි ග්‍රන්ථිය මගින් ඇතිකරන අවහිරතාවයේ ප්‍රමාණය එම අවහිරතාව නිසා මුත්‍රාශයේ බිත්තිවල වෙනස්කම් දැකගැනීමට හැකියාව ලැබෙනවා.
මෙම පරීක්ෂණය මගින් මුත්‍රාශයේ පවතින පිළිකා තත්ත්වයන් හා වෙනත් අනතුරුදායක තත්ත්වයන් හඳුනාගැනීමට පුළුවන්. මෙම පරීක්ෂණය වෙනුවෙන් ගතවන කාලය කෙටි නිසා රෝගියා නේවාසික වීම අවශ්‍ය නැහැ.
Cystoscopy පරීක්ෂණයක වාසි මොනවාද?
මුත්‍රා මාර්ගය ජීව විද්‍යාත්මක සාධක අනුව එහි නිර්මාණය වෙනස්. කාන්තාවන්ගේ මුත්‍රා මාර්ගය කෙටියි. පිරිමින්ගේ මුත්‍රා මාර්ගය දිගයි. ඒ නිසාම කාන්තාවන්ට නිතරම මුත්‍රා මාර්ගය ආශ්රිත රෝග තත්ත්වයන් ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙනවා.
සමහර විට Scan පරීක්ෂණ වලදී වුණත් රෝග තත්ත්වයන් ගැන නිවැරදි විනිශ්චයන් ලබාගැනීම අපහසුයි. මුත්‍රා ඉතිරි වීම වැනි තත්ත්වයන් Scan පරීක්ෂණයකින් නිවැරදිව පෙන්වන්නේ නැහැ. නමුත් Cystoscopy පරීක්ෂණයකදී අපිච්ඡේදයේ තිබෙන බැක්ටීරියාවන් පවා හඳුනාගන්න පුළුවන්.
එවිට ප්‍රතිජීවක ඖෂධ ප්‍රතිකාර පටන් ගැනීමට පුළුවන්. ඊට අමතරව ක්ෂය රෝගය වැනි තත්ත්වයක් පවා Cystoscopy පරීක්ෂණයක් මගින් පහසුවෙන් හඳුනාගැනීමට පුළුවන්.
කල්තබා රෝගයක් හඳුනාගන්නවා කියන්නේ රෝගය වෙනුවෙන් කලින්ම ප්‍රතිකාර ආරම්භ කිරීමක්. ඒ වගේම මුත්‍රාශයේ පිළිකා තත්ත්වයක් ඇති වුණොත් සාමාන්‍ය පරීක්ෂණ මගින් ඒ බව තහවුරු කිරීම අපහසුයි. මුත්‍රාශයේ පවතින පිළිකා අල්ට්රා සවුන්ඩ් ස්කෑන් පරීක්ෂණයට පවා නොපෙනෙන අවස්ථා තිබෙනවා.
පිළිකාවක පැතිරීම වේගවත්. ඒ නිසා විවිධ පරීක්ෂණවලට කාලය සහ මුදල් වැය කරනවාට වඩා රෝගය ගැන සැකයක් ඇත්නම් Cystoscopy පරීක්ෂණයක් වෙත රෝගියා යොමුකිරීම වඩාත් වැදගත්.
මේ නිසා ජන්‍ය මුත්‍ර ශල්‍ය විශේෂඥ විසින් රෝගියාට Cystoscopy පරීක්ෂණයක් සිදුකර ගැනීමට නියම කළොත් එය අතපසු කරන්න එපා. මෙම පරීක්ෂණය රජයේ රෝහලකින් සිදුකර ගතහැකියි. ඒ පහසුකම ඔබට තිබෙන නිසා අද කළයුතු Cystoscopy පරීක්ෂණය හෙට දවසට කල් තබන්න එපා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️