මෑත අතීතයේදී ශ්‍රී ලංකාව දරුවන්ට මව්කිරි ලබාදෙන රටවල් අතර ප්‍රමුඛස්ථානයට පත්වුණත් මව්කිරි දීම ප්‍රවර්ධනය කිරීමේදී යම් යම් අඩුපාඩු නැතුවාම නොවේ. ඒ නිසාම ශ්‍රී ලංකාව තුළ මුළු අගෝස්තු මාසයම මව්කිරි දීමේ මාසය ලෙස නම් කර ඇති අතර අගෝස්තු 1 වැනි දින සිට මව්කිරි දීමේ සතියක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර එහි තේමාව ලෙස “මව්කිරි දීමේ ශ්රීි ලාංකීය විශිෂ්ටත්වය සුරකිමු, සැමට සමසේ සහාය වෙමු” යන තේමාව යොදාගෙන තිබෙනවා.දරුවට, මවට, පවුලට හා සමාජයට මව්කිරි දීමෙන් ලැබෙන අතිමහත් ප්රතිලාභ සලකන විට මව්කිරි දීම පිළිබඳ සතියක් හෝ මාසයක් තුළ පමණක් කතාකිරීම ප්‍රමාණවත්ද යන්න ඔබගේ තර්කය විය හැකියි.මව්කිරි ගැන කොතරම් ගුණ ගායනා කළත්, දැනගත යුතුම කරුණු පිළිබඳව මව්වරුන්ගේ පවතින නොදැනුවත්කම වගේම දරු ප්‍රසූතියට පෙරාතුව මවට සැමගෙන් ලැබුණ සහයෝගය දරුවා ලැබීමෙන් පසුව මගහැරෙන අවස්ථාවන් තිබෙනවා. ඒ වගේම දරු ප්‍රසූතිය ලද මවකට මව්කිරි ලබාදීමේ වැදගත්කම, මව්කිරි ලබාදෙන ආකාරය සහ මව්කිරි ලබාදීම නිසා මවට සහ දරුවාගේ අනාගතයට ලැබෙන ආරක්ෂාව ගැන දැනුවත්වීමට තිබෙන අවස්ථාවන් සීමිත විය හැකියි. මෙවර මව්කිරි දීමේ සතිය, මාසය තුළ මව්වරුන් පමණක් නොව රාජ්‍ය සහ පෞද්ගලික සෞඛ්‍ය ක්ෂෙත්රය, රාජ්‍ය සහ පෞද්ගලික ආයතන, පවුලේ මෙන්ම මව සහ දරුවා රැකබලා ගන්නා අය විසින් මව්කිරි දීම වෙනුවෙන් මවට සහ දරුවාට ලබාදිය යුතු සහයෝගය පිළිබඳව කතාකරනවා.
මෙවර මව්කිරි ලබාදීමේ සතියේ ප්‍රධාන අරමුණු
නිසි සහාය නොලැබීමට වැඩි අවදානමක් දක්වන කණ්ඩායම් කෙරහි වැඩි අවධානයක් යොමුකිරීම සහ මව්කිරි දීමට ලබාදෙන සහයෝගයේ ඇති අසමානතාවන් අවම කිරීම.
සියලු මව්වරුන්ට මව්කිරි ලබාදීමට සහාය ලබාදීමේදී දැනට ඇති අසමානතාවන් සහ එහි ව්‍යාප්තිය පිළිබඳ සියලු පාර්ශ්වකරුවන් දැනුවත් කිරීම.
සමාජ පරතරයන් අවම කිරීමේ ක්රමෝපායක් ලෙස මව්කිරි ලබාදීම සමාජගත කිරීම.
අන්‍යෝන්‍ය සහයෝගය තුළින් මව්කිරි දීමට සහාය සැලසීම වැඩිදියුණු කිරීමට විවිධ පුද්ගලයින් සහ සංවිධාන සමග අත්වැල් බැඳගැනීම.
දරුවාට මව්කිරි ලබාදීමට අවශ්‍ය සහාය නොලැබෙන මව්වරුන් හඳුනාගැනීම
දරුවා උපත ලබා පැයක් තුළ මව්කිරි ලබාදීම ආරම්භ කළ යුතු අතර දරුවාට මාස හයක් ගත වනතුරු මව්කිරි හැර වෙනත් කිසිදු ආහාර පානයක් ( ජලය ඇතුළුව ) අතිරේකයක් ලබා නොදිය යුතුයි.ඒ වගේම මාස හයෙන් පසුව අමතර ආහාර සමග දරුවාට වසර දෙක සම්පූර්ණ වෙන තෙක් හෝ ඊටත් වැඩි කාලයක් නිසි අමතර ආහාර සමග මව්කිරි ලබාදීමට වෛද්‍යවරුන් නිර්දේශ කරනවා. නමුත් මේ කාලසීමාව තුළ දරුවා වෙනුවෙන් මව්කිරි ලබා දීමේ අවස්ථාව අහිමි වෙන මව්වරුන් සිටිනවා.
මව්කිරි ලබාදීම පිළිබඳ රජයේ සෞඛ්‍ය සේවාවන් මගින් ගර්භණී අවස්ථාවේ සිටම සහය ලබාදෙනවා. ඒ වගේම මව්කිරි දීමේදීත් යම් යම් ගැටලු ඇතිවුණොත් පවුල් සෞඛ්‍ය සේවා නිළධාරිනියන්ගෙන් හෝ ළඟම රෝහලේ කිරි කළමනාකරණ මධ්‍යස්ථානයෙන් සේවාවන් ලබාගැනීමට පුළුවන්.නමුත් පෞද්ගලික අංශයේ මාතෘ හා ළමා සෞඛ්‍ය සේවාවන් මගින් මෙම සහයෝගය බොහෝ විට නොලැබී යා හැක.
- දරු ප්‍රසුතියෙන් පසුව ලැබෙන දින 84 ප්‍රසූත නිවාඩුව අවසාන වී රැකියාවට යෑමට සිදුවීමේදී මව්කිරි දීම පවත්වා ගැනීමට සහාය අඩු වීම.
- රැකියා ස්ථානය දුරස්ථ මව්වරුන්ට විශේෂ සහාය අවශ්‍ය වේ.
- පෞද්ගලික අංශයේ සේවය කරන මව්වරුන්ගේ රැකියාවේ කාලය පිළිබඳ ගැටලු
දරු ප්‍රසූතියෙන් පසුව නැවත සේවයට යන මව්වරුන් විසින් සහ මව්කිරි ලබාදීමේ අපහසුතාවන් ඇති මව්වරුන් තම දරුවා වෙනුවෙන් දොවාගත් මව්කිරි ලබාදීමට පුළුවන්. මෙහිදී වඩාත් සුදුසු අත් සෝදා ගෙන මව්කිරි දොවා ගැනීමයි. එය විෂබීජවලින් ආරක්ෂා වීමේ සුදුසුම ක්‍රමයයි. කිරි දෙවීම සඳහා Breast pump වෙළෙඳපොළේ තිබුණත් කිරි දොවාගැනීමේදී විෂබීජ ඇතුළු වීමට වැඩි ඉඩක් තිබෙනවා. ඒ වගේම මෙම උපකරණ පිරිසිදු කිරීමේදී ඇතිවන ගැටලු නිසා දරුවාට විෂබිජ ඇතුළු වීමටත් වැඩි ඉඩක් තිබෙනවා.
කිරි දොවා ගැනීම වෙනුවෙන් පිරිසිදු භාජනයක් තෝරාගන්න. එය හොඳින් වසාතැබීමට හැකි විය යුතුයි. කිරි දොවාගත් දිනය සහ වේලාව සටහන් කරන්න. මෙය කාමර උෂ්ණත්වයේ උපරිම පැය 4 ක් පමණ තබාගත හැකියි. ශීතකරණයේ සෙන්ටිග්‍රේඩ් අංශක 4 උෂ්ණත්වයේ දින 3 ක් තබාගත හැකියි. මෙය ශීතකරනයේ ඇති තට්ටුවේ පිටුපස බිත්තියට ආසන්නව තබන්න.
කිසිවිටෙක ශීතකරණයේ දොරේ මව්කිරි ගබඩා කිරීම සුදුසු නැහැ. වෙනත් භාජන සමග නොගැටෙන සේ තබන්න. මුලින් දොවාගත් කිරි කෝප්පය මුලින් එළියට ගෙන උණුසුම් වතුර ඇති භාජනයක් තුළ තබා උණුසුම් කරන්න. නටන වතුරේ හෝ තද උණුසුම් වතුරේ නොතබන්න. අධිශීත කළ කිරි පැය 24 කට නොවැඩි කාලයක් සාමාන්‍ය ශීතකරණ කොටසේ තබා අයිස් දිය වූ පසු මුල් අදියරේ මෙන් උණුසුම් වතුරේ තබා සාමාන්‍ය උෂ්ණත්වයට පත් කරගන්න. Microwave කිරීම සුදුසු නැහැ.කිරි පෙවීමේදී කෝප්පයක් තෝරාගන්න. කිසි විටකත් බෝතලයක් පාවිච්චි කරන්න එපා.
මව්කිරි ලබාදීම ප්‍රවර්ධනය කිරීමට ගතයුතු පියවර මොනවාද?
දරු ප්‍රසූතිය සිදුවන සියලු රජයේ සහ පෞද්ගලික රෝහල් තුළ නව ජන්ම ඒකක මගින් “ මාතෘ සහ ළදරු මිතුරු සංකල්පය ” ක්‍රියාත්මක කිරීම.
රජයේ සහ පෞද්ගලික සෞඛ්‍ය ක්ෂෙත්රයේ සෞඛ්‍ය වෘත්තිකයන්ගේ දැනුම සහ කුසලතාවන් වැඩිදියුණු කිරීම. ඒ හරහා දෙමව්පියන්ගේ හා සමාජයේ මව්කිරි පිළිබඳ දැනුම වැඩි දියුණු කිරීම.
පිටිකිරි ප්‍රවර්ධනය සඳහා කරන සදාචාර විරෝධී වෙළෙඳ ප්‍රචාරණ පාලනය කිරීමට නීති රීති ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය සහ පෞද්ගලික ආයතන බලගැන්වීම.
කාන්තාවක් වෙනුවෙන් දරු ප්රසූුතියේදී සහ එයින් පසුව ලැබිය යුතු ප්රසූුත නිවාඩු,පිතෘ නිවාඩු, කිරි පැය ආදි වරප්‍රසාද පිළිබඳව ආයතන දැනුවත් කිරීම.
ආපදා අවස්ථාවලදී හෝ වෙනත් සහන සේවාවන් ලබාදීමේදී ළදරු කිරිපිටි, බෝතල්, සූප්පු ප්‍රචාරණයට කිසිම අවස්ථාවක් නොදීම.
සේවා කාලයේදී කිරි දොවාගැනීමට සහ ගබඩා කිරීමට අවශ්‍ය පහසුකම් ලබාදීම.
කිරි දෙන මවකට නම් නිවසේ සිට වැඩකිරීම හෝ නම්‍යශීලි සේවා කාලයක් ලබාදීම.
කිරි දෙන කාලසීමාවේදී සමීප සේවා ස්ථානයක් වෙත අනුයුක්තයක් ලබාදීම.
රාජ්‍ය, ස්වේච්ඡා, ආගමික සහ මාධ්‍ය වැනි සියලු ආයතන විසින් මව්කිරි ලබාදීම ප්‍රවර්ධනය කිරීමේ පණිවිඩය සමාජගත කිරීම.
මව්කිරි ලබාදීම අනාගත ආයෝජනයක්…
මව්කිරිවල දරුවගේ බුද්ධි වර්ධනයට අවශ්‍ය ස්වභාවික Docosahexanoic acid ( DHA ) අඩංගුව තිබෙන බැව් විද්‍යාත්මකව පවා තහවුරු වී තිබෙන නිසා අද මව්කිරෙන් පෝෂණය වන දරුවන් නිසා ලෝකයට බුද්ධිමතුන් බිහිවීම.
මව්කිරිවලින් ලැබෙන ආරක්ෂාව නිසා රෝගවලින් ( ළමා දියවැඩියාව, ළමා හතිය, ළමා පිළිකා ) ආරක්ෂා වීම.
දරුවාට මව්කිරි ලබාදෙන මව්වරුන් පියයුරු, ඩිම්බ කෝෂ සහ ගර්භාෂ පිළිකාවලට ගොදුරු වීමේ අවදානම අඩු වීම.
මේ අනුව මව්කිරිවලින් ලැබෙන වාසි අසීමිතය. නමුත් ඒ වරප්‍රසාදය අහිමි වන මව්වරුන් වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කරමින් ඵලදායිතාවකින් පිරිපුන් සමාජයක් ගොඩනගා ගැනීම සඳහා මෙවැනි කතිකාවතක් ආරම්භ කිරීම ඉතාම වැදගත්.
ජාතික මව්කිරි දීමේ මාසය නිමිත්තෙන් පවුල් සෞඛ්‍ය කාර්යාංශය සහ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය මගින් පැවැත්වූ මාධ්‍ය සාකච්ඡාව ඇසුරිණි.
විශේෂ ස්තුතිය –
ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ
වෛද්‍ය හිරන්‍යා ජයවික්‍රම
ළමා පෝෂණ ඒකකය
පවුල් සෞඛ්‍ය කාර්යාංශය
නව ජන්ම විශේෂඥ වෛද්‍ය
නිශානි ලූකස් ද සොයිසා කාන්තා රෝහල
( විශ්වවිද්‍යාල ඒකකය )
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
කොළඹ විශ්වවිද්‍යාලය
පුන්‍යා චාන්දනී ද සිල්වා