අපේ සමේ පවතින සාමාන්‍ය වර්ණයේ වෙනස්වීමක් එහෙම නැත්නම් සරලව කිව්වොත් දුර්වර්ණ වීමක් දකින්න ලැබුණ විට ඒ තත්ත්වය Pigmentation ලෙස වෛද්‍ය විද්‍යාත්මකව හඳුන්වනවා. අද බොහෝ දෙනාට Pigmentation තත්ත්වය එහෙම නැත්නම් සමේ දුර්වර්ණ වීම හිතට වදදෙන ප්‍රශ්නයක්…
Hyper pigmentation
සමේ ඇතිවෙන කළුපැහැ පැල්ලම් Hyper Pigmentation ලෙස හැඳින්වෙනවා. ඒ කියන්නේ සමේ තිබෙන වර්ණයට වඩා තද පාටක් හමේ තැන් තැන්වල දකින්න ලැබීමයි. විවිධ හේතුන් නිසා Pigmentation ඇතිවෙන්න පුළුවන්. ඉතින් අපි බලමු මේවා ඇතිවීමට බලපාන සුලබ හේතුන් මොනවාද කියලා.
Acanthosis nigricans– රෝග තත්ත්වය
මේ රෝග තත්ත්වයේදී බෙල්ල, කිහිලි, ඉකිලි ප්‍රදේශවල කළුපාටක් ඇතිවන්න පුළුවන්. මේ අවර්ණ වීම හමේ නැවෙන තැන්වල ඇතිවනවා. හරියට කළුපාට වෙල්වට් රෙද්දක් වගේ. සමහරවිට ඉතා තරබාරු පුද්ගලයන්ගේ මුහුණේත් මේ කලුපැහැ පැල්ලම් දකින්න ලැබෙනවා. මෙය ශරීරයේ තරබාරුවීම නිසා ඇතිවන රෝගී තත්ත්වයක්.
මෙම රෝගීන්ට දියවැඩියාව සහ කොලෙස්ටරෝල් වැනි අතුරු රෝග තත්ත්වයන් ඇතිවීමටත් පුළුවන්. ඒ නිසා ආහාර පාලනය, ශරීරයේ බර අඩු කරගැනීම ඉතා වැදගත්. පිටතින් කරන ආලේපන තිබුණත් ඒවායින් ඒ තරම් ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. ඒ නිසා Acanthosis nigricans තත්ත්වයන් ඇති පුද්ගලයන් ව්‍යායාම සහ ආහාර පාලනය මගින් ශරීරයේ බර අඩු කරගැනීම ඉතා වැදගත්.
Melasma
ඊළගට නිතර දකින්න ලැබෙන රෝග තත්ත්වයක් අපි Melasma යනුවෙන් හඳුන්වනවා. සමේ ඇතිවන මෙම අවර්ණ වීම් මුහුණේ කම්මුල් දෙපස වගේම නහය, නිකට, නළළ වැනි ස්ථානයන්හිත් දකින්න ලැබෙනවා. විශේෂයෙන් අව්වට නිරාවරණය වන මුහුණේ ප්‍රදේශවල මේවා දකින්න ලැබෙනවා.
ගර්භණීභාවය, උපත්පාලන පෙති, හෝර්මෝන වෙනස් වීම, මෙම මෙලස්මා තත්ත්වයට හේතුවන්න පුළුවන්. නමුත් වයස්ගත වීම, අව්වට නිරාවරණය වීම නිසා බොහෝ කාන්තාවන්ගේ මෙම තත්ත්වය මුහුණේ දකින්න ලැබෙනවා. මෙය කාන්තාවන් අතර සුලබ වුණත් පිරිමින්ටත් මේ තත්ත්වය ඇතිවන්න පුළුවන්.
මීට අමතරව විවිධ හේතුන් නිසා සමේ දුර්වර්ණ වීම් ඇතිවනවා.
- ජානමය බලපෑම.
- අව්වට වැඩි වශයෙන් නිරාවරණය වීම.
- වයස්ගත වීම.
- හෝර්මෝන වෙනස් වීම- වැනි හේතු බලපානවා.
- ඊට අමතරව හිසකෙස් වර්ණ ගැන්වීමේදී යොදාගන්නා හෙයා ඩයි වර්ණකවල තිබෙන කළු පාට මුහුණේ ගෑවීම නිසා මුහුණ සහ අනිකුත් ප්‍රදේශවල වර්ණය වෙනස් වීම.
- රාජ්‍ය අනුමැතිය නොලත් නිසි ප්‍රමිතියක් නැති රූපලාවන්‍ය ආලේපන වර්ග දීර්ඝ කාලීනව භාවිත කිරීම.
- මුහුණේ ඇති කුරුලෑ හෝ තුවාල සුවපත් වූ පසුව ඇතිවන කළු ලප කැලැල් ලෙස ඉතිරි වෙන්න පුළුවන්.
- යම් ආසාත්මිකතාවක් නිසා ඇතිවන හමේ අවර්ණ වීම ආසාත්මිකතාව සුව වුණත් අවර්ණ වීම ඒ අන්දමින්ම පැවැතිය හැකයි.
- සමහර විට වකුගඩු, අක්මාව ආශ්රිත රෝග තත්ත්වයන් ඇති අයගේ මුළු ශරීරයේම දුර්වර්ණ වීමට පුළුවන්
පිග්මන්ටේෂන් වෙනුවෙන් ප්‍රතිකාර මොනවාද?
පිග්මන්ටේෂන් රෝග තත්ත්වයට ප්‍රතිකාර ලබාගැනීමේදී ඒ වෙනුවෙන් බලපාන හේතුව මුලින්ම හඳුනාගත යුතුයි. මෙවැනි අවස්ථාවකදී ඒ සඳහා සුදුසුකම් ලත් වෛද්‍යවරයකු වෙත යොමුවෙන්න.
එසේ නොවුණොත් ඔබට පිග්මන්ටේෂන් වෙනුවෙන් නිසි ප්‍රතිකාර ලබාගැනීමට ඇති අවස්ථාව ඔබ විසින්ම අහිමි කරගැනීමක් යැයි සඳහන් කළොත් නිවරැදියි. මුලින් මා සඳහන් කළ පරිදි පිග්මන්ටේෂන් ඇති වීමට විවිධ හේතු තිබෙනවා. ඒ නිසා ප්‍රතිකාර කිරීමේදී ඔබේ පිග්මන්ටේෂන් තත්ත්වයට බලපාන හේතුව කුමක්දැයි හඳුනාගැනීම වැදගත්. ඔබේ හමේ ඇතිවන මෙම අඳුරු පැල්ලම්වලට හේතුව සිරුර රෝගාබාධයක් නිසා වීමට හැකියි. ඒ නිසා එවැනි රෝගයක් තිබේ නම් හඳුනාගැනීම ඉතා වැදගත්.
■ සමහර විට ඔබ අව්වට නිරන්තරව නිරාවරණය වන අයකු නම් Sunblock ආලේප කිරීම වැදගත්. සමහර විට පැය තුනෙන් තුනට මෙම ආලේප කිරීමට චර්ම රෝග පිළිබඳ වෛද්‍යවරයා විසින් ඔබට උපදෙස් ලබා දෙනු ඇත. අප කලින් කතා කළ මෙලස්මා තත්ත්වය පාලනය කිරීමට අව්වෙන් ආරක්ෂා වීම ඉතා වැදගත්.
■ ප්‍රමිතියෙන් තොර ආලේපන වර්ග භාවිත කිරීම නිසා ඔබේ සමේ අවර්ණ වීමට ඉඩ තිබෙන නිසා ඒ ගැන බෙහෙවින් සැලකිළිමත් වීම වැදගත්. මුදල් වැය කරමින් ඔබේ සමේ ඇති නීරෝගී බව නැතිකර ගත යුතු නැහැ.
රූපලාවන්‍ය නිෂ්පාදනයේදී අධි සාන්ද්‍රණයෙන් යොදාගන්නා රසායනික සංඝටක වගේම බ්ලිචින් ආලේපන නිසා ඔබේ සමට හානිවීමට ඉඩ තිබෙනවා. මේ නිසා ඇතිවන අහිතකර තත්ත්වය කොතෙක්ද යත් අද වනවිට බොහෝ අයගේ නියපොතු පවා තැඹිලි පැහැයට හැරීමට තරම් මෙම ආලේපනයන්හි අන්තර්ගත අධි සාන්ද්‍රණයකින් යුක්ත රසායනික සංයෝග වගේම බැරලෝහ හේතු වී තිබෙනවා.
■ හමේ දුර්වර්ණ බව සඳහා වූ ප්‍රතිකාර ලෙස Hydroquinone විටමින් “C” විටමින් “E” ක්‍රීම් වගේම සීරම්වලින් හැකියාවක් තිබෙනවා. නමුත් පිග්මන්ටේශන් වෙනුවෙන් නිර්දේශිත Hydroquinone ආලේපන පවා වෛද්‍ය උපදෙස් නොමැතිව දීර්ඝ කාලයක් භාවිත කිරීම නිසා ඇතිවන කළු පැල්ලම් මකාගන්න බැරි තරම් බරපතළයි.
■ නිසි ප්‍රමිතියක් නැති සමහර ආලේපනවල Steroid නිසා මුලින් මේ පිග්ම්නටේශන් වෙනස් වීමේ ශීඝ්‍රතාවක් දක්නට ලැබුණත් කාලයත් සමග අතුරු සංකුලතාවන් ඇතිවීමට පුළුවන්. හමේ ඉරි තැලීම, හම තුනී වී රුධිරනාල පවා පෙනෙන තත්ත්වයක් ඇතිවනවා.
ආලේපනවලට අමතරව Pigmentation වෙනුවෙන් තවත් ප්‍රතිකාර තිබෙනවාද?
නවීන තාක්ෂණය අනුව පිග්මන්ටේශන් තත්ත්වයට සාර්ථක ප්‍රතිකාර තිබෙනවා. මේවා අහිතකර නැහැ. Chemical peeling වලදී අඩු සාන්ද්‍රණයෙන් යුක්ත රසායනික ද්‍රව්‍ය මුහුණේ තවරා උඩු හම ඉතා ප්‍රවේසමෙන් ගැලවීම. මෙවැනි තාක්ෂණ ක්‍රම සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ අධීක්ෂණය යටතේ සිදුවිය යුතුයි. ඊට අමතරව
- ලේසර් ප්‍රතිකාර
- Micro needling වැනි ක්‍රම භාවිත කිරීම
එසේනම් ඔබේ සමේ පිග්මන්ටේශන් තත්ත්වයක් ඇතිවුණොත් තවත් අයගේ අත්දැකීම් පාදක කරගෙන ඔබගේ පිග්මන්ටේශන් තත්ත්වය ගැන තක්සේරු කිරීම සුදුසු නැහැ. ඒ වෙනුවෙන් සුදුසුකම්ලත් වෛද්‍යවරයකුගේ උපදෙස් ලබාගැනීම ඉතාම වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා