සිරුරේ අස්ථිවල ඝනකම අඩුවීම නිසා එම අස්ථි අසාමාන්‍ය ලෙසින් දුර්වල වීමට පත්වන රෝගී තත්ත්වය “ඔස්ටියෝපොරෝසිස් ” ලෙසින් හැඳින්වෙනවා. මෙම රෝග තත්ත්වය නිසා අස්ථි බිඳීමට ඇති අවදානම වැඩි වේ.මේ අනුව සුළු වැටීමක් හෝ ඉදිරියට නැමීමක් හෝ සිදුවන විට අස්ථි කැඩීම ඔස්ටියෝපොරෝසිස් තත්ත්වයේදී සිදුවිය හැකියි. ඔස්ටියෝපොරෝසිස් නිසා බොහෝ විට කොන්ද, මැණික් කටුව හා උකුල ආශ්රිත අස්ථි කැඩීම දක්නට ලැබෙනවා.
ඔස්ටියෝපොරෝසිස් රෝග ලක්ෂණ
ඔස්ටියෝපොරෝසිස් රෝගයේදී මුල් අවස්ථාවේදී කිසිදු රෝග ලක්ෂණයක් දක්නට නොලැබේ. නමුත් කල් ගතවන විට කොන්දේ වේදනාව, කොන්දේ අස්ථි තැලීම් හා කැඩීම නිසා උස අඩුවීම, කොන්දේ ඇති වන කුදු ස්වභාවය දැකගත හැකියි.
ඔස්ටියෝපොරෝසිස් ඇති වීමට හේතු
■ පිරිමි අයට සාපේක්ෂව බලන විට කාන්තාවන්ට ඔස්ටියෝපොරෝසිස් රෝග තත්ත්වය ඇතිවීමේ අවදානම වැඩියි. වයසට යනවිට වයසත් සමග අවදානම වැඩි වෙනවා. සියාතික හා යුරෝපීය සුදු හම සහිත අයට ඔස්ටිියෝපොරෝසිස් ඇතිවීමේ ඉඩකඩ වැඩියි.
■ පවුලේ සාමාජිකයන්ට දෙමව්පියන්ට, සහෝදරයන්ට ඔස්ටියෝපොරෝසිස් ඇත්නම් ඔබටත් ඔස්ටියෝපොරෝසිස් වැළඳීමේ වැඩි ඉඩක් තිබෙනවා.
■ ශරීර ස්කන්ධය අඩු කුඩා ශරීර ඇති අයටත් ඇතිවීමේ ඔස්ටියෝපොරෝසිස් අවදානම වැඩියි.
හෝර්මෝන අසමතුලිතතාවයන්
■ Estrogen –ඊස්ට්‍රජන් ආර්තවහරණයෙන් පසු හෝර්මෝන අඩුවීමෙන් ඔස්ටියෝපොරෝසිස් ඇති වේ.
■ ටෙස්ටොස්ටොරන් ( Testostoren) හෝර්මෝනය අඩුවීම, පිරිමි අයගේ පුරස්ථි ග්‍රන්ථි පිළිකාවලට කරන හෝර්මෝන ප්‍රතිකාර නිසා ටෙස්ටොස්ටොරන් හෝර්මෝනය අඩු වී ඔස්ටියෝපොරෝසිස් ඇති වීමට ඉඩ තිබෙනවා.
තයිරොයිඩ් හෝර්මෝනය-
■ තයිරොක්සින් හෝර්මෝනය ශරීරයේ වැඩියෙන් තිබේ නම් අස්ථි ක්ෂය වීම වැඩි වේ.
■ තයිරොයිඩ් ග්‍රන්ථියේ අධි ක්‍රියාකාරීත්වය නිසා හෝ තයිරොක්සින් හෝර්මෝන පෙති වැඩියෙන් ගැනීම නිසාත් මේ රෝග තත්වය ඇති විය හැක.
ඔස්ටියෝපොරෝසිස් රෝග තත්ත්වයට ආහාරපානවලින් බලපෑමක් ඇති වෙනවාද?
■ කැල්සියම් අඩුවීම
ඔබට ආහාරවලින් ලැබෙන කැල්සියම් අඩුවීම නිසා ඔස්ටියෝපොරෝසිස් රෝග තත්ත්වය ඇති විය හැක.
■ ආහාර පාලනය/ ආහාර අඩු වීම
අද වන විට බොහෝ දෙනෙක් කිසිදු පාලනයක් නොමැතිව ආාහර පිළිබඳව පාලනයන් කරනවා. ඒ වගේම ආහාර අඩුවෙන් ගැනීමත් තවත් ප්‍රවණතාවක්. ශරීර බර අඩු කරගැනීම වෙනුවෙන් මේ අන්දමින් වගකීමක් නොමැතිව ආහර පිළිබඳව පාලනය කිරීමෙන් අස්ථි දුර්වල වීමට පුළුවන්.
බඩවැල්වල ශල්‍යකර්ම
ශල්‍යකර්ම මගින් බඩවැල් කොටස් ඉවත් කිරීම නිසා කැල්සියම් හා අනෙකුත් පෝෂණ අවශ්‍යතාවයන් අඩුවීම නිසා ඔස්ටියෝපොරෝසිස් ඇතිවිය හැක.
ඇතැම් ඖෂධ වර්ග නිසාද ඔස්ටියෝපොරෝසිස් රෝග තත්ත්වය ඇති වේ
■ දිගුකාලීනව ලබාගන්නා Steroid ඖෂධ නිසා අස්ථි දුර්වල වීමට පුළුවන්.
■ ඒ වගේම ඇතැම් රෝගීන් විසින් ගැස්ට්‍රයිටිස්, අපස්මාරයට සහ පිළිකා වැනි රෝග තත්ත්වයන්ට පාවිච්චි කරන ඖෂධ නිසාත් අස්ථි දුර්වලවීම සිදුවෙනවා.
ඔස්ටියෝපොරෝසිස් ඇතිකරන වෙනත් රෝගාබාධ
■ බඩවැල් ආශ්රිත ප්‍රදාහ -Irritable Bowel Syndrome- (IBS)
■ වකුගඩු සහ අක්මාවේ ආබාධ
■ පිළිකා
■ ආතරයිටිස්
ජීවන රටාවේ වෙනස්කම්
බොහෝ අයගේ ක්‍රියාශීලී නොවන ජීවන රටාව, එක තැන වැඩි වේලාවක් වාඩි වී සිටීම නිසා ඔස්ටියෝපොරෝසිස් රෝග තත්ත්වය ඇතිවීමට වැඩි අවදානමක් තිබෙනවා.
■ අධික ලෙස මත්පැන් භාවිතය
■ දුම්පානය
ඔස්ටියෝපොරෝසිස් වළකා ගතහැකි ක්‍රම මොනවාද?
කැල්සියම් ලබාගැනීම – වයස අවුරුදු 18-50 අතර ස්ත්‍රි සහ පුරුෂයින් දිනකට කැල්සියම් මිලිග්‍රෑම් 1000 ක් ලබාගැනීම.වයස අවුරුදු 60 ට වැඩි ගැහැනු සහ පිරිමි අයකු නම් මේ මාත්‍රාව දිනකට මිලි ග්‍රෑම් 1200 ක් දක්වා වැඩි කළ යුතුය.
කැල්සියම් බහුල ආහාර මොනවාද?
- කිරි හා කිරි ආශ්රිත ආහාර
- කොළ පැහැති එළවළු සහ පලා
- මාළු
- සෝයා ආහාර
ආහාර මගින් දෛනික කැල්සියම් ප්‍රමාණය ලබාගත නොහැකි නම් පෙති ලෙසින්
ලබා ගැනීම.
විටමින් D
හිරු එළියෙන් විටමින් D ලබාගත හැක. මාළු, කිරි සහ කිරි ආහාරවලින්ද විටමින් D ලබාගත හැක.
ව්‍යායාම
ව්‍යායාම මගින් අස්ථි දිරායෑම අඩු කරනවා. ඒ වගේම අස්ථි ශක්තිමත් කරනවා.
ඔස්ටියෝපොරෝසිස් රෝගය හඳුනාගැනීම
DEXA ස්කෑන් පරීක්ෂණ වාර්තාව මගින් ඔස්ටියෝපොරෝසිස් රෝගය හඳුනාගත හැක. බොහෝ විට උකුල් අස්ථිය, කොන්ද ආශ්රිත අස්ථි පරීක්ෂා කරනු ලැබේ. ඔස්ටියෝපොරෝසිස් රෝගය හඳුනාගත් පසු ඔබේ වෛද්‍යවරයා විසින් ප්‍රතිකාර ආරම්භ කරනු ඇත. මේ වෙනුවෙන් පෙති වර්ග මෙන්ම ඉන්ජෙක්ෂන් (Injection) මගින්ද ප්‍රතිකාර ලබාදීම සිදුවනවා.
ඔබ ඔස්ටියෝපොරෝසිස් රෝගය වෙනුවෙන් ප්‍රතිකාර ආරම්භ කිරීමෙන් පසුවත් වෛද්‍යවරයා සමග සම්බන්ධතාවන් පවත්වා ගැනීම සහ සායනයට සහභාගී වීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුය. මෙම හමුවීම මගින් රෝගියාගේ ආහාර, ඖෂධ, ශාරීරික ක්‍රියාකාරකම්, ඖෂධ ලබන කාලසීමාව පිළිබඳව සමාලෝචනය කිරීම සිදු වේ.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️