අපේ මොළය විසින් අප කරන හැම දෙයක්ම පාලනය කරනවා. ඒ නිසා අනෙක් හැම අවයවයකට වගේම මොළයටත් ඉතා හොඳ රුධිර සැපයුමක් අවශ්‍ය වෙනවා. මොළයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණය මේ මගින් ලැබෙනවා. මොළයේ ක්‍රියාකාරීත්වයට අවශ්‍ය ඔක්සිජන් සහ පෝෂණය නැතිවුණොත් මොළයේ ක්‍රියාකාරිත්වය නිසිපරිදි සිදුවන්නේ නැහැ…
මොකක්ද මේ අංශභාගය
දැන් අපි මේ විදිහට හිතමු. මොළයට රුධිරය සපයන දහස් ගණණක් රුධිර නාළ අතරින් එක් රුධිර නාලයක රුධිර කැටියක් හිරවී අවහිර වෙනවා. එහෙම නැත්නම් එක් රුධිර නාළයක් පිපිරී යනවා. එවැනි අවස්ථාවක මෙතෙක් හොඳින් මොළයේ අදාළ කොටසට හොඳින් ලැබුණ රුධිර සැපයුම නැතිවනවා. මේ තත්ත්වයට ‘ආඝාතය’ එහෙම නැත්නම් ‘අංශභාගය’ හැදෙනවා යැයි කියනවා.
මෙවැනි අවස්ථාවක මොළයේ අදාළ කොටසින් මෙතෙක් කල් සිදුකරන ලද කාර්යයන් හරියට කරගැනීම අපහසු වුණාම අපේ ශරීරයේ එක අතක්, එක කකුලක් පණ නැතිවනවා. කට ඇද වනවා. කතාව පැටලෙනවා. රුධිර සැපයුම නැතිවී දුර්වල වනවිට ඒ කොටසට අදාළව අපේ ශරීරයේ කොටසකුත් දුර්වල වනවා.
මේ ගැනත් අවධානය දැක්වීම අවශ්‍යයි
ඔය අතරේ කාටත් නිරීක්ෂණය නොවන දෙයක් තිබෙනවා. සමහර අංශභාග රෝගීන්ට කනබොන දේවල් හරියට කන්න බොන්න බැහැ. කොටින්ම වතුර ටිකක් බිව්වත් පිටඋගුරේ යනවා. එහෙම නැත්නම් ආහාර ආපසු එළියට දානවා. කෑමත් එහෙමයි.ගිලින්න අපහසුයි.
මෙහෙම වෙන්නේ ඇයි?
ඉතාම සරලව කියනවා නම් අපේ ආහාර ගිලීම කියන කාර්යයට මොළයේ කොටසක් සම්බන්ධයි. අංශභාග තත්ත්වය නිසා ඒ කොටස දුර්වල වනවා. මේ තත්ත්වය නිසා වතුර, ආහාර නිසි විදිහට ගිලින්න අපහසුයි. එහෙම නැත්නම් අමාරුවෙන් ගිලිනවා.මේ තත්වය නිසා අංශභාග රෝගියකුට රෝහලේදී අපි ගිලීම පරීක්ෂා කර බලලා ඒ කාර්යය හරියට කරගැනීම අපහසු නම් නාසයෙන් බටයක් දැමීමට නියම කරනවා.
Nasogastric tube
අපි මේ බටය Nasogastric tube යනුවෙන් හඳුන්වනවා. කෙටියෙන් අපි NG tube යනුවෙන් ව්‍යවහාර කරනවා. මේ බටයේ කෙළවර අන්නඝ්‍රෝතය හරහා ආමාශයට ගමන් කරනවා. ඊට පසුව අපි මේ බටය මගින් රෝගියාට අවශ්‍ය ආහාරපාන ලබාදෙනවා.ඒ වගේම මේ බටය නිසා රෝගියාට ලබාදෙන ආහාරපාන පෙනහලුවලට යෑම වැළකෙනවා.
රෝගියාට ලබාදෙන ආහාර පෙනහලුවලට යන්නේ කොහොමද?
අංශභාගය හැදුණ, ගිලීමට අපහසු රෝගියකුට අපි වතුර හෝ ආහාර මුඛයෙන් ලබාදෙන්න ගියොත් ඒවා ස්වාස නාලය ඔස්සේ පෙනහලු වෙත යෑමේ වැඩි අවදානමක් තිබෙනවා. එහෙම නැත්නම් රෝගියා වමනය කළොත් ආමාශයේ තිබෙන ආහාර පෙනහලු වෙත යෑමේ වැඩි ඉඩක් තිබෙනවා. ගිලීමේ කාර්යය හරියට සිදුනොවන නිසා නිව්මෝනියා තත්ත්වය ඇතිවනවා. මෙයට ‘Piration pneumonia’ කියලා කියනවා.
මේ වගේ තත්ත්වයක ඉන්න රෝගියකුට නිව්මෝනියාව ඇතිවීම බරපතළ තත්ත්වයක්. බොහෝ අංශභාග රෝගීන්ගේ ජීවිතයට හානිවන්නේ මේ නිව්මෝනියා තත්ත්වය නිසයි.මේ අනුව අංශභාග රෝගියකුට NG tube මගින් නිව්මෝනියා තත්ත්වයෙන් වළක්වා ගැනීමට වගේම නිසි පෝෂණය සහ ඖෂධ ලබාදීමත් පහසු වෙනවා.
හැබැයි සමහර රෝගීන්ට වගේම රෝගියාගේ නිවසේ අයට මේ බටය ඇතුළු කළ තැන පටන් එය ගැලවීමටම බලනවා. සමහර සිහිය අඩු රෝගීන් මේ බටය එයාලා විසින්ම ගලවාගන්න අවස්ථා ඕනෑ තරම් තිබෙනවා.නමුත් රෝගින්ගේ අංශභාග තත්ත්වයට පසු ජීවිතයේ සුවදායි තත්ත්වය වැඩිකර ගැනීමට නම් මේ NG tube එක ඇතුළ් කිරීමට සිදුවනවා.
ඒ වගේම අංශභාගය හැදුණ රෝගියකුට නිතරම ආහාර ලබාදෙන්න, වතුර පොවන්න උත්සාහ කරන්න එපා.බොහෝදෙනා දෙන්නන් වාලේ කවන්න, පොවන්න යනවා. නමුත් රෝහලකට හෝ වෛද්‍යවරයකු වෙත යනතෙක් ආහාරපාන නොදී සිටීම සුදුසුයි. දෙන්නම අවශ්‍ය නම් පමණක් වතුර ස්වල්පයක් දී බලන්න. නමුත් එහිදී පිටඋගුරේ යනවා නම් නැවත ආහාර පාන දෙන්න උත්සාහ කරන්න එපා. හැකි ඉක්මනින් වෛද්‍යවරයකු වෙත රැගෙන යන්න.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️