සෑම වසරකම ඔක්තෝබර් පළමු වැනි දිනය ‘ලෝක වැඩිහිටි දිනය’ ලෙස පිළිගැනෙනවා. මෙවර ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් 2024 වසරේ ‘සුවබර වයස්ගත වීමකට මග පාදාගමු’ යන තේමාව නම් කර තිබෙනවා.කුමන වයස් කාණ්ඩයකට අයත් වුණත් සුවබර වයස්ගත වීමක් උදාකරගන්නේ කෙසේද? යන්න ගැන අවධානය යොමුකිරීම වැදගත්. වියපත් දිවියත් සමග අත්වැල් බැඳගත් සෞඛ්‍ය ගැටලු රාශියක් තිබෙන නිසාම අපි ඒ ගැන වැඩි අවධානයක් යොමුකළ යුතුවනවා. එවැනි සෞඛ්‍ය ගැටලු කල්තබා හඳුනාගැනීමත් එවැනි රෝග තත්ත්වයකින් පෙළෙන්නේ නම් නිසියාකාර වෛද්‍ය උපදෙස් අනුව ප්‍රතිකාර ලබාගැනීමත්, ආහාර පාලනය, වයායාම වැනි සෞඛ්‍ය සම්පන්න දිවි පෙවෙතකට හුරුවීමත් සුවබර වැඩිහිටි දිවියකට අත්‍යවශ්‍ය වේ.
වැඩිහිටි වයස සමග බෝ නොවන රෝග…
දියවැඩියාව, අධි රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් අධික වීම, හෘදයාබාධ,ඇදුම, හන්දි ආශ්රිත රෝග තත්ත්වයන් සහ ඔස්ටියෝපොරෝසිස් ආදිය වැඩිහිටියන් අතර බහුල රෝග වේ. මෙම රෝගවලින් හා ඒවායේ සංකුලතාවන්ගෙන් පෙළෙනරෝගීන්ගේ සංඛ්‍යාව මෙන්ම රෝහල්ගත වන සංඛ්‍යාවද දිනෙන් දින ඉහළ යයි. බෝ නොවන රෝග කල්තියා හඳුනාගැනීම සහ පාලනය සඳහා සෞඛ්‍ය අමාතත්යාංශය විශේෂ ක්‍රියාමාර්ග ගන්නා අතර ඒ සඳහා අධික පිරිවැයක්ද දරයි.
අවදානම කල්තබා හඳුනාගත හැකිද?
වැඩිහිටි වයස සමග ඇතිවන අවදානම් රෝග තත්ත්වයන් ගැන කල්තබා හඳුනාගැනීමට නම් නිතිපතා සෞඛ්‍ය පරීක්ෂාවන් සිදුකර ගැනීම ඉතා වැදගත්. අවදානම් සාධක කලින් හඳුනාගැනීමට නිතිපතා සිදුකරන සෞඛ්‍ය පරීක්ෂාවන් ඉතා වැදගත් වේ.
ශරීර ස්කන්ධ දර්ශකය ( BMI) මැන ගැනීමෙන් දියවැඩියාව, අධි රුධිර පීඩනය, හෘදාබාධ, අක්මාවේ මේද තැන්පත් වීම මෙන්ම ඔස්ටියෝපොරෝසිස් වැනි රෝග තත්ත්වයන් වළක්වා ගැනීම හෝ පාලනය කරගත හැකියි.රුධිර පීඩනය නිවරැදිව මැනගැනීම, රුධිරයේ නිරාහාර සීනි මට්ටම ( Fasting Blood suger) සහ කොලෙස්ටරෝල් පරීක්ෂාව (Lipid profile) ආදිය සරල පරීක්ෂණ වුණත් සංකීර්ණ රෝගාබාධවලට ලක්වීම වළක්වා ගැනීමට බෙහෙවින් ප්‍රයෝජනවත් වේ.
දියවැඩියාව, අධිරුධිර පීඩනය සහ රුධිරයේ කොලස්ටරෝල් සංයුතිය හරියාකාරව පාලනය නොවීම නිසා හෘදයාබාධ, අංශභාගය මෙන්ම වකුගඩු හා අක්මාව ආශ්රිත රෝගාබාධයන් ඇති වෙනවා.
එබැවින් අක්මාව වකුගඩු සම්බන්ධ පරීක්ෂා ( Renel function – Liver function – Urine albumin ) ද නිසිකලට සිදුකර ගතයුතුයි. එමෙන්ම අක්ෂි හා පාද පරීක්ෂාවන් කෙරෙහි නිරන්තර අවධානය යොමුවිය යුතුයි.මේ අතර සඳහන් කළ යුතු තවත් වැදගත් කාරණයක් තිබෙනවා. එනම් පවුලේ ලේ ඥාතීන් අතර ඉහත රෝගාබාධ බහුලව පවතින්නේ නම් මෙම සෝදිසි පරීක්ෂාවන් කල්තබා කරගැනීම වැදගත්.
■ ඔස්ටියෝපොරෝසිස් – ඔස්ටියෝපොරෝසිස් යනු වැඩිහිටියන් අතර සැගවුණු එහෙත් භයානක සංකුලතාවයන් ඇතිකරන සෞඛ්‍ය ගැටලුවක්. එය නිසි කලට හඳුනාගැනීමෙන් සංචරණයේ දුර්වලතා, ඇද වැටීම්, අස්ථි බිඳීම් වැනි වැඩිහිටියන්ට ආවේණික වූ සංකීර්ණ ගැටලු මගහරවා ගත හැකියි. මූලික ප්රශ්නාවලියකට මුහුණ දීමෙන් පසු ඔබ අවදානම් තත්ත්වයකට පත්ව සිටින්නේ නම් ඩෙක්සා ( DEXA) ස්කෑන් පරීක්ෂාවක් සිදුකිරීමෙන් රෝග විනිශ්චය කළ හැකි අතර ඒ අනුව ප්‍රතිකාර සඳහා යොමුවීමටත් හැකියාව තිබෙනවා.
■ ඩිමෙන්ෂියාව – ඩිමෙන්ෂියාව යනු අද ලෝකයේ බොහෝ වැඩිහිටි පිරිසක් පීඩා විඳින තත්ත්වයක්. වයස්ගතවීම සමග මොළයේ ඇතිවන විවිධ රෝග තත්ත්වයන් නිසා ස්මරණ ශක්තිය ඇතුළු උසස් චින්තාමය හැකියාවන් දුර්වල වීම ඩිමෙන්ෂියාවට හේතුවයි. මෙහි ප්‍රතිඵලයක් ලෙස මෙම රෝග තත්ත්වයට පත් පුද්ගලයාට තම කටයුතු ස්වාධීනව කරගැනීමට ඇති හැකියාව ක්‍රමයෙන් අහිමි වන අතර ඔහුගේ මානසික ස්වභාවය සහ චර්යාවන්වලද වෙනස්කම් ඇතිවනවා.
ඩිමෙන්ෂියාව ඇතිවීමට වයස හා ජානමය සාධකවලට අමතරය දියවැඩියාව, අධිරුධිරපීඩනය, අධි කොලස්ටරෝල්, විශාදය වැනි රෝග මෙන්ම දුම්පානය, මත්පැන් පානය, වයායාම රහිත බව ආදි චර්යාවන්ද බලපානවා. මෙම තත්වයන් පාලනය කරගැනීමෙන් ඩිමෙන්සියාව වැළඳීමේ අවදානම අඩුකර ගැනීමට හේතු වනවා.
ඩිමෙන්ෂියා රෝගීන්ගෙන් ඉතා සුළු ප්‍රතිශතයක් පමණක් නිට්ටාවටම සුවකළ හැකි අතර මේ තත්ත්වයන් හඳුනාගැනීමට ඉතා ඉක්මනින් වෛද්‍ය පරීක්ෂණවලට යොමුවිය යුතුයි. මතකය, සංජානනය පිළිබඳ ගැටලු පවතී නම් ඒ සම්බන්ධ පරීක්ෂණයකට යොමු වී එය තහවුරු කරගත හැකයි. ඖෂධ හා වෙනත් ප්‍රතිකාර මගින් මෙම රෝගය යම් දුරකට ස්ථාවර කරගැනීමටත් රෝගියාගේජීවිතය ගුණාත්මකභාවයෙන් තබාගැනීමටත් හැකියාව ලැබෙනවා.
■ දුබලභාව – වියපත් වීමත් සමග සමහර පුද්ගලයින් ශාරීරික දුබලතාවට (fraility) පත් වනවා. මෙහිදී ශරීරයේ නොයෙක් අවයව පද්ධතීන්වල ක්‍රියාකාරීත්වය පහත වැටීම නිසා සුළු රෝග තත්ත්වයකට හෝ වෙනත් හාරීරික අභියෝගයකට මුහුණ දීමට ඇති හැකියාව අඩුවන අතර සෞඛ්‍ය තත්ත්වය ශීඝ්‍රයෙන් පහළ වැටෙනවා.
දුබලතාවට පත් වූ වැඩිහිටියන් ඇද වැටීමට හා ආබාධිතභාවයට ලක්වීම, රෝහල්ගත වීම මෙන්ම මරණයට ලක්වීමේ අවදානම වැඩියි. දුබලභාවය කල්තබා හඳුනාගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණාවකට ලක්වීම මෙන්ම ව්‍යායාම ආදී සුදුසු ප්‍රතිකාරවලට නොපමාව යොමුවීම වැදගත්.
■ ඇදවැටීම් – වැඩිහිටියන් අතර ඇදවැටීම් බහුල අතර මීට විවිධ කරුණු හේතු වනවා. මහළු වියේ ඇදවැටීම් නිසා අස්ථි බිඳීම්, සිරීම් හා තුවාල ආසාදන, මොළයට හානිවීම සහ මොළයේ ලේ ගැලීම් ඇතිවීම වැනි බරපතළ සංකුලතාවන් ඇතිවිය හැක. අස්ථි බිඳීම් අතරින් උකුල් ඇටය බිඳීම බහුල වන අතර මේ නිසා එක්තැන් වීම, ඇඳ තුවාල, මුත්‍රා ආසාදන, නියුමෝනියාව වැනි තත්ත්වයට පත්වීම මෙන්ම මරණයට පත්වීමේ අවදානමත් වැඩි වනවා.
ඇදවැටීමකින් පසු බොහෝ දෙනා නැවත ඇද වැටීම පිළිබඳ කාංසාවෙන් පසුවන අතර මේ නිසා ඔවුන් ඇඳට හෝ පුටුවට සීමා වීම හා නැවත ඇද වැටීමකට ලක් වීමට ඉඩ වැඩි වෙනවා’ඇද වැටීමකින් පසු සුළු තුවාල පමණක් ඇතැත් වහාම වෛද්‍ය පරීක්ෂාවකට යොමු විය යුතුය’ කායික රෝග හා පෙනීමේ හා ඇසීමේ ගැටලු නිවරැදි කර ගැනීම නිවරැදි ව්‍යායාම රටාව ආරක්ෂිත පරිසරය වැටීම් අවම කිරීමට හේතු වෙනවා.
■ විශාදය – විශාදය යනු වැඩිහිටියන් අතර බහුලව ඇති නමුත් බොහෝ විට අවධානයට ලක් නොවන මානසික රෝග තත්ත්වයකි. විශාදයේ සාමාන්‍ය ලක්ෂණ වන නිරන්තර කනස්සලුභාවය සහ සතුටක් නොදැනීම ආදිය සමහර විට වැඩිහිටියන් අතරින් එතරම් ප්‍රකට නොවිය හැක. වැඩිහිටියන්ට ඇතිවන නිරන්තර ඇඟපත වේදනාව, හන්දි රුදාව සිරුරේ දැවිල්ල, හාරීරික දුබලතාවය, නින්ද නොයෑම, නොසන්සුන් බව, කාංසාව, මතකය දුර්වල වීම ආදිය විශාදයේ රෝග ලක්ෂණ විය හැක.
විශාදයේ සංකුලතා ලෙස හෘද රෝග, දියවැඩියාව වැනි රෝග තත්ත්වයන්ද ඒ සමානවම බරපතළ විය හැකි අතර මේ නිසා වැඩිහිටියන්ගේ ජීවන අපේක්ෂාවන පවා අඩු කරවයි. විශාදය යනු ඖෂධ හා අනෙකුත් ප්‍රතිකාර මගින් මැනවින් පාලනය කළ හැකි රෝග තත්වයකි. මේ නිසා ඉහත දැක්වූ රෝග ලක්ෂණ පවතී නම් ප්‍රමාද නොවී වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමුවිය යුතුය.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️