දරුවකුට හඬන්න හේතු සාධක බොහොමයක් තිබෙනවා. ඒ වගේම දරුවෙකුට තමන්ගේ අවශ්‍යතාවන් වචනයෙන් විස්තර කරන්න බැරි නිසා ඔවුන් තම අවශ්‍යතාවන් ඉටු කරගන්නේ හැඬීමෙන්. නමුත් අපේ අම්මලා දරුවකු හඬන විට හිතන්නේ බඩගින්නට කියලයි. ඒ නිසා ඔවුන් වෙන කිසිම පරීක්ෂාවක් නැතුව දුවගෙන ඇවිත් දරුවාට කිරි දෙන්න පටන් ගන්නවා.
දරුවා හඬන හේතු මොනවාද?
- මවගේ හෝ රැක බලා ගන්නා අයගේ ආතතිය දරුවාට සම්ප්‍රේෂණය වීම.
- මලමුත්‍ර පිට වීම.
- බඩගින්න.
- අසනීප තත්ත්වයක්.
දරුවකු හඬන විට මවක් කළ යුතු දේ...
- හඬන දරුවා දෙස බලා ඉන්න.
- එයට ප්‍රතිචාර නැත්නම් කතාකරන්න.
- දරුවාගේ උදරය අත ගාන්න.
- දරුවාගේ අත සහ කකුල් එකට අල්ලා ගන්න.
- දරුවා අතට ගන්න.
- සෙමින් නලවන්න.
- දරුවාගේ අත උරන්න දෙන්න.
- දරුවා ඔතා තබන්න.
දරු ප්‍රසූතියෙන් පසු මුල් පැයේ පටන් මව්කිරි දීම පටන් ගන්නවා. මුලින් එන කොලස්ට්රම් ගුණදායක වුණත් කිරි උත්තේජනය වෙන්නේ නැහැ. දරවාටත් කිරි උරා බීම අපහසු වෙනවා. ඒ වගේම දරුවා උපත ලබා මුල් කාලයේදී දරුවාගේ උදරය පළමු දිනයේ ලොවි ගෙඩියක් තරම් පුංචියි. ඒ නිසා දරුවාට මව්කිරි ලොකු ධාරිතාවයකින් අවශ්‍ය වෙන්නේ නැහැ. බොහෝ අම්මලා තමන්ට කිරි නැහැ කියන අදහසක් ගොඩනගා ගන්නවා. ඒ සිතුවිල්ල වැරදියි. මවගේ කිරි උත්තේජනය වීමට නම් දරුවා හොඳින් කිරි උරා බීම අවශ්‍ය වෙනවා.
දරුවාටත් කිරි උරා බීම අපහසු වන අවස්ථා තිබෙනවා.
දරුවෙකු උපත ලැබීමෙන් පසුව මවගේ කිරි උරා බීමේදී මවගේ තන පුඩුව පමණක් නොව ඇරියෝලාව කටට ඇතුළු වන සේ තබන්න. බොහෝ මව්වරු මව්කිරි දීමේදී තමන්ගේ තන පුඩුව පමණක් කටට ලබාදෙනවා. එවිට දරුවාටත් කිරි උරා බීම අපහසුයි. කිරි උත්තේජනය නොවන විට දරුවා තන පුඩුව හපන විට එය තුවාල වෙනවා. මේ තත්ත්වයත් අම්මාට වේදනාකාරීයි. ඒ නිසා මවගේ පියයුරුවල ඇරියෝලාව දරුවාගේ කට ඇතුළට තිබෙන සේ තබන්න. එවිට දරුවාට අපහසුවක් නැතුව කිරි උරා බීමට හැකියාවක් ලැබෙනවා.
කිරි දෙන හැම අවස්ථාවකම පියයුරු සෝදන්න අවශ්‍ය නැහැ…
අලුත උපන් දරුවාට විෂබීජ නිරාවරණය වීම ගැන අම්මාට සාධාරණ බියක් තිබෙනවා. ඒ නිසා අම්මලා මව්කිරි ලබාදෙන හැම අවස්ථාවකම පියයුරු සෝදන්න අවශ්‍ය නැහැ. මේ විදිහට පියයුරු නිතරම සේදීම නිසා සිදුවන අවාසියක් තිබෙනවා. දරුවාට කිරි ලබාදීමෙන් පසු අන්තිම කිරි ප්‍රමාණය තන පුඩුවේ ගෑවෙනවා. මේ කිරිවල තිබෙන මේද නිසා මවගේ තන පුඩුව සීරීම, තුවාල වීම වළක්වා ගන්න පුළුවන්.
කිරි තද වුණොත්…
දරුවා කිරි උරාබීම නිසි අන්දමින් සිදුවන්නේ නැත්නම් මවට කිරි තදවෙන්න පුළුවන්. කිරි තදවීම වේදනාකාරීයි. සමහර විට මේ වේදනාව නිසා අම්මාට උණ පවා ඇතිවන්න පුළුවන්.ඒ වගේම කිරි තදවීම නිසා අම්මලා අනුගමනය කරන වැරදි ක්‍රමවේද තිබෙනවා. පියයුරු උණුවතුරෙන් තැවීම කිසිසේත්ම සුදුසු නැහැ.
ඊට හේතුව උණුවතුරෙන් තවන විට රුධිරනාල ප්‍රසාරණය වෙන්න ඉඩ තිබෙනවා. කිරි හිරවීම නිසා සිදු වෙන ක්ෂුද්‍ර ජීවින්ගේ වර්ධනය නිසා සමහර විට විසර ගෙඩි පවා ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක සුළු ශල්‍යකර්මයක් මගින් මෙම විසර ගෙඩිය ඉවත් කිරීමට සිදුවනවා.
මේ තත්ත්වයට යන්න අවශ්‍ය නැහැ..
කිරි තද වීම නිසා ඇති වෙන විසර ගෙඩි ඇති වුණත් ඒ තත්ත්වයට යන්න අවශ්‍ය නැහැ. කිරි තදවනවා නම් එක් එක් අයගේ අත්දැකීම් ගැන විමසන්න අවශ්‍ය නැහැ. පවුලේ සෞඛ්‍ය සේවා නිළධාරී මහත්මියගෙන් හෝ ළගම තිබෙන කිරි කළමනාකරණ මධ්‍යස්ථානය වෙත යෑම වඩාත් සුදුසුයි.
කිරි දෙන අම්මාගේ ආහාර…
කිරි දෙන මවගේ ආහාර ගැන සමාජයේ විවිධ දුර්මත තිබෙනවා. සමහර විට කිරි වැඩිවෙන්න යැයි සමාජයේ සම්මත ආහාර ලබාදෙනවා. ඒ වගේම කිරි දෙන අම්මාට සීතල ආහාර, උෂ්ණ ආහාර අගුණ යැයි වූ මතයක් තිබෙනවා. නමුත් මේ විදිහට මව්කිරි සහ ආහාර අතර කිසිදු සම්බන්ධතාවක් නැහැ. මවට වෙනදා වගේම තමන් කැමැති ආහාර ගැනීමට අවසරයක් ලබා දීම අවශ්‍යයි.
ඒ වගේම මව්කිරි දෙන මවකට ස්නානයට පවා සීමාවන් තිබෙනවා. නෑමෙන් පසුව කිරිදීම නිසා දරුවාට ප්‍රතිශ්‍යාව හැදෙන බවට වූ මිථ්‍යාවන් තිබෙනවා. නමුත් මවගේ ශාරීරික පිරිසිදු බව ඉතාම වැදගත් නිසා ඇයට ස්නානයට, ඇඟ සේදීම වෙනුවෙන් සීමා පැනවීම අවශ්‍ය නැහැ.ඒ නිසා මෙවැනි මිථ්‍යාවන් මත යැපෙන්න අවශ්‍ය නැහැ. කිරිදෙන මවකට පවුලේ වගේම සමාජයේ සහයෝගය අවශ්‍යයි. ඇය සතුටින් තබන්න. ඇයට සහයෝගය දෙන්න.