🩸 රුධිර පරිත්‍යාගයක් කියන්නේ කුමක්ද…?
අපේ ස්ව කැමැත්තෙන් අපි නාඳුනන ඕනෑම රෝගියෙකු සඳහා අපේ රුධිරයෙන් යම් ප්‍රමාණයක් ( මිලිලීටර් 400-450 ) ක් පරිත්‍යාග කිරීමයි.
🩸 රුධිර පරිත්‍යාග කිරීම සඳහා අවශ්‍ය සුදුසුකම් මොනවාද…?
- රුධිරය පරිත්‍යාග කරන පුද්ගලයාගේ ශරීර බර කිලෝ ග්‍රෑම් 50 ට වඩා වැඩි වීම
- වයස අවුරුදු 18- 55 අතර නීරෝගී පුද්ගලයෙකු වීම
🩸 රුධිර පරිත්‍යාග කිරීමෙන් පසු අතුරු සංකුලතාවයන් ඇති වෙනවාද…?
රුධිර පරිත්‍යාග කිරීමෙන් පසුව අතුරු සංකුලතාවයන් ඇති වීමට තිබෙන ඉඩ 0.3- 1.8 ක් වැනි සුළු අගයක් කිව්වොත් නිවරැදියි. සමහරවිට රුධිර පරිත්‍යාගයකින් පසුව කරකැවිල්ල, හිසරදය, ක්ලාන්තය වැනි සුළු අතුරු ආබාධ ඇති වෙන්න පුළුවන්. ඒවා කලාතුරකින් සිදු වෙන තත්ත්වයක්. ඊටත් අමතරව ඉතාම කලාතුරකින් වමනය සහ ෆිට් එක ඇති වෙන්නත් පුළුවන්.
🩸 රුධිර පරිත්‍යාග කිරීමෙන් පසුව මහත් වෙනවාද…?
ඇත්තටම නැහැ. බොහෝ දෙනාට මෙය ගැටළු සහගත තත්ත්වයක්. ඇත්තටම ලේ දන්දුන් විගස ශරීරයේ බර ග්‍රෑම් 500 කින් පමණ අඩු වෙනවා. මෙහි වැඩි ප්‍රමාණයක් ජලයේ බර වන අතර පැය 24 කින් පසුව එය යථා තත්ත්වයට පත් වෙනවා. රුධිර සෛල නැවත යථා තත්ත්වයට පත්වීම සඳහා කැලරි 600-650 ක් පමණ වැය වෙනවා. මෙය පැයක කාලයක් දිවීමේදී වැය වෙන කැලරි ප්‍රමාණයට සමානයි.
නමුත් ලේ දන්දීමක් කරන්නේ අවම වශයෙන් මාස හතරකට වරක් නිසා මේ කැලරි දහනය බර අඩු වීමට ප්‍රමාණවත් වන්නේ නැහැ. එහෙමනම් රුධිර දානයක් කළ පසුව සැබැවින්ම ඔබේ ශරීරයේ බර අඩු වීමක් හෝ වැඩි වීමක් වෙන්නේ නෑ.
නිරන්තරව රුධිරය දානය කරන අයගේ රුධිරය සමග යකඩ යම් ප්‍රමාණයක් ඉවත් වන නිසා කාලය සමග යකඩ අවශ්‍යතාවය වෙනස් වෙනවා. සමබර ආහාර වේලක් දිනපතා ලබා ගැනීමෙන් අපගේ යකඩ අවශ්‍යතාවය සම්පූර්ණයෙන්ම සපුරා ගත හැකියි. ඒ නිසා ඔබේ නිර්මාංශ දිවි පැවැත්ම රුධිර දානයට බාධාවක් නොවේ.
🩸 ගර්භණී සමයේ ලේ දන්දීම…
ගර්භණී සමයේ ලේ දන්දීම සුදුසු නැහැ. දරු ප්‍රසුතියකින් වසරකට පසුව නැවත ලේ දන්දීමක් සිදු කළ හැක. මාසික ඔසප් කාල තුළ වුවත් අධික ලෙස රුධිර වහනයක් සිදු නොවන කාන්තාවන්ට ශාරීරික අපහසුතාවයක් නොමැති නම් ලේ දන්දීමට බාධාවක් නැහැ.
🩸 වරක් ලේ දන්දුන්නොත් නැවත දන් දීමට සිදු වෙනවාද…?
වතාවක් ලේ දන්දුන්නොත් නැවත ලේ දන්දීමට සිදු වෙයිද…? මගේ ඇගේ ලේ වැඩිපුර හැදෙයිද…? මෙවැනි ගැටලු ඔබටත් ඇති. මේ තත්ත්වය විද්‍යාත්මකව සිදු කරන ලද අධ්‍යනයන් මගින් දැන් විසඳී තිබෙනවා.
ඔබට ලේ දන්දීමට අවශ්‍ය නම් කැමැති කාලපරාසයක් ( අවම මාස හතරකට වරක් ) ඇතිව ලේ දන්දීමටත්, කැමති වේලාවක නැවත්වීමටත් අවසර තිබෙනවා.
රුධිර බහලුම් සහ කටු එක්වරක් පමණක් භාවිත කරන මෙවලම් හා උපකරණ වන අතර මේවා නැවත භාවිත කිරීමක් කිසිදු විටෙක සිදු නොවේ. ඒ නිසා රුධිර දානය කිරීමේදී යොදා ගන්නා කටු මගින් රෝග බෝ වීමේ කිසිදු අවදානමක් නැත.
අද සමාජයේ කාන්තාව අධ්‍යාපනය, උසස් අධ්‍යාපනය සහ රැකීරක්ෂා ආදියෙහි නිරත වෙමින් ඉතා කාර්ය බහුල ජීවිතයක් ගත කරනවා. ඔවුන් රුධිරය දන්දීමට කැමැති වුණත් ඒ වෙනුවෙන් දිගු කාලයක් ගත වීම සහ අදාල ක්‍රියාවලියක් වෙනුවෙන් යොමු වීම ගැන සිතනවා විය හැකියි.
නමුත් ඔබ එසේ සිතනවා නම් එය වැරදියි. රුධිර දායක පත් පිරවීම, රුධිර දන්දීමට පෙර සිදු කරන වෛද්‍ය පරික්ෂණ, රුධිරය දන්දීමෙන් පසු සිදු කරන පසු පරීක්ෂණ වැනි සියලු කටයුතු වෙනුවෙන් ගත වෙන කාලය විනාඩි 30- 45 ක් අතර වේ.
ඔබ ප්‍රදේශයේ පැවැත්වෙන ජංගම රුධිර කඳවුරු හරහා මෙන්ම ළඟම පිහිටි රෝහලේ ලේ බැංකුවට පැමිණීමෙන් සතියේ ඕනෑම දිනක උදේ 8.00 ත් හවස 6.00 ත් අතර කාලයේදී ලේ දන්දීමේ පුණ්‍ය කර්මයට දායක විය හැකියි.
ලේ දන්දීමට පෙර දිනයේ ඔබ අවම වශයෙන් පැය හයක නින්දක් ලැබීම අත්‍යවශ්‍ය වන අතර පැය හතරක් ඇතුළත ප්‍රධාන ආහාර වේලක් ලබා ගෙන තිබීම වැදගත්. රුධිරය දන් දීමෙන් පසුව එම දිනයේ වැඩ කටයුතු සාමාන්‍ය පරිදි සිදු කර ගත හැකි අතර හොඳින් ජලය පානය කිරීම ඉතාම වැදගත්. එම අතින් බර ඉසිලීම නොකළ යුතුය.
🩸 මෙලෙස ලැබෙන රුධිරය භාවිත කරන්නේ කාටද…?
ඔබ විසින් දන් දෙන ලද රුධිරය විවිධ අවස්ථාවල, විවිධ රෝගීන් වෙනුවෙන් භාවිත කරනවා. හදිසි අනතුරුවලින් තුවාල ලැබූ රෝගීන්, දරු ප්‍රසුතියේදී අධික ලෙස රුධිර වහනය වීමට පත් රෝගීන්, තැලසීමියා වැනි නිදන්ගත රුධිර රෝගවලින් පීඩා විඳින රෝගීන් සඳහා මෙම රුධිරය භාවිත කරනවා.
ඉතා කාර්ය බහුල දිවියක් ගත කරන ඔබ, ඒ අතරම අන් අයගේ යහපත වෙනුවෙන් මෙවන් සත්කාර්යකට දායක වෙනවා නම් ඔබේ මනා පෝෂණය, නිවරැදි සෞඛ්‍ය පුරුදු, විවේකය සහ නින්ද ගැන අමතක කරන්න එපා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️