හදිසි අනතුරක් නිසා පුද්ගලයකුගේ ජීවිතයේ ගුණාත්මක බව වගේම ඔහුගේ පෙනුම පිළිබඳව ගැටලු ඇතිවෙන්න පුළුවන්. එවැනි අවස්ථාවකදි රෝගියාගේ පෙනුම සම්බන්ධයෙන් පැය ගණන් වැයවෙන ඉතා සියුම් ශල්‍යකර්ම කරනු ලබන්නේ අපේ රටේ ජාතික රෝහල් සහ ශික්ෂණ රෝහල්වල සේවය කරන දක්ෂ සහ පළපුරුදු ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරුන්ය. මෙවැනි ශල්‍යකර්මයක් සඳහා රජය විශාල මුදලක් රෝගියකු සදහා වැය කරනු ඇත. එමනිසා හදිසි අනතුරු වළක්වා ගැනීම කළ යුතුය.
සුලබව සිදුවන හදිසි අනතුරු
■ මාර්ග අනතුරු
■ උපකරණ නිසා ඇතිවන අනතුරු
■ දෙදෙනෙකු හෝ කීප දෙනෙකු අතර ඇතිවන පහරදීම්, පහරකෑම් නිසා වන අනතුරු
■ එදිනෙදා වැඩ කටයුතු කිරීමේදී සිදුවන අනතුරු – කැපීම්, වැටීම්, තැළීම් ආදිය
■ කුඩා දරුවන්ට සිදුවන අනතුරු – නිකට, නළල වැනි සුලබ තුවාලවීම්
■ සතුන්ගේ සපා කෑම් – නිවසේ සුරතලයට ඇතිකරන සතුන් වගේම වන සතුන්ගේ සහ කිඹුලන්ගේ සපාකෑම්
ප්ලාස්ටික් සැත්කමක් සිදුකරන්නේ කෙසේද?
ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ ඉතිහාසය ගැන සඳහන් කරනවා නම් මෙය ඉන්දියාවේ ‘සුශැත්ර’ නම් ආයුර්වේද වෛද්‍යවරයා විසින් ආරම්භ කළ බැව් වාර්තා වෙනවා. ක්‍රිපූ 6 වන සියවසේ පටන් ඉන්දියාවේ ප්ලාස්ටික් සැත්කම් කළ බවට වාර්තා වෙනවා. අදටත් මෙම සුශැත්ර ආයුර්වේද වෛද්‍යවරයා විසින් හඳුන්වා දුන් ප්ලාස්ටික් සැත්කම් අනුගමනය කරන අතර රෝගියකුට ප්‍රතිකාර කරන විට බටහිර ප්ලාස්ටික් සැත්කම් ක්‍රමවේදයට වඩා මෙම පෙරදිග ප්ලාස්ටික් සැත්කම් ක්‍රමවේදය අනුගමනය කරනවා.
ප්ලාස්ටික් සැත්කමක් මගින් යම් රෝගියකුට අවශ්‍ය හොඳම දේ ලබාදීම සිදුවනවා. මෙතැනදී රෝගියාගේ අදහස් වැදගත් අතර රෝගියාගේ අදහස් සහ අවශ්‍යතාවන් අනුව සැත්කම් සිදුවනවා. ප්ලාස්ටික් සැත්කම් සුදුසුකම් ලත් වෛද්‍යවරයකු විසින් සිදුකරන අතර ප්ලාස්ටික් සැත්කම් වෙනුවෙන් වූ විශේෂඥ වෛද්‍යවරයකු ඒ වෙනුවෙන් වසර අටක පමණ පුහුණුවක් ලබනවා.ප්ලාස්ටික් සැත්කමක් කිරීමේදී ඒ පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා සමග පුහුණුවලත් කණ්ඩායමක් සම්බන්ධ වෙනවා. නිසි ප්‍රතිකාර, නිසි විදිහට, නිසි වෙලාවට ලබාදීමට මෙම කණ්ඩායමේ සහභාගීත්වය ඉතාම වැදගත් වෙනවා.
ප්ලාස්ටික් සැත්කම් සිදුකරන අවස්ථාවන් මොනවාද?
මුහුණ, නහය වැනි අවයවයන්ට සිදුවන හානි වගේම ඇඟිලි අහිමි වීම, උරහිසෙන් පහළ පණ නැතිවීම වැනි ආපදාවන්ට පත්වුණ රෝගීන්ට නැවත ඔවුන්ගේ සාමාන්‍ය ජීවිතය ගත කිරීමට අවශ්‍ය හැකියාව මෙම සැත්කම් මගින් ලබාදීමට පුළුවන්.
හදිසි අනතුරක් නිසා ඇතිවන කැලැල් ප්ලාස්ටික් සැත්කමකින් ඉවත් කළ හැකිද
හදිසි අනතුරක් නිසා ඇති වූ තුවාලය සුව වීමෙන් පසු ඉතිරි වුණ අවලස්සන කැලැල් සහ අඩුපාඩු මෙම ශල්‍යකර්මයක් මගින් නැවත සකසා ගැනීමේ පහසුකම් ලැබෙනවා.අනතුරකින් පසුව රෝගියා සුවය ලැබුවත් අදාළ කැලැල් නිසා මානසිකව ඇතිවන ගැටලුවලට ප්ලාස්ටික් සැත්කම් මගින් ප්‍රතිකාර ලබාගැනීමට පුළුවන්.
ප්ලාස්ටික් සැත්කමක් මගින් සාර්ථක ප්‍රතිඵල ලබාගැනීමට වෙන් වූ අවයව රැගෙන යා යුත්තේ කෙසේද ?
ඔබට යම් අනතුරක් සිදුවී අවයවයක කොටසක් අහිමි වුණොත් (උදාහරණ ඇඟිළි, අත වැනි) වෙලාව වැදගත්. ඒ නිසා හැකි ඉක්මණින් අදාළ අවයව කොටස සමග රෝගියා ප්‍රතිකාර වෙත යොමුකළ යුතුයි. මෙහිදී අවයව කොටස පොළිතින් මල්ලක දමා හොඳින් සීල්කොට ඒ පොළිතින් බෑගය අයිස් කැටවල බහා රැගෙන යා යුතුයි. කාලය මැරීම නිසා අවයව කොටසට ශල්‍යකර්මයක් සිදුකිරීම අපහසු විය හැකි බැවින් අනතුරකින් පසුව වහාම රෝගියා අවයව කොටස සමග රෝහලට රැගෙන යන්න.
ප්ලාස්ටික් සැත්කමක් කිරීමට අපහසු අවස්ථාවන් මොනවාද?
■ තුවාලය නිසා ලේ නහර ස්නායුවලට හානි සිදු වූ විට
■ තුවාලය පැසවා සැරව සහිත වූ විට
ප්ලාස්ටික් සැත්කම ඉතාම සංකීර්ණ ක්‍රියාවලියක්…
සාමාන්‍යයෙන් පුද්ගලයකුගේ විකෘති වීමක් නිවැරදි කිරීම එසේ නොවේ නම් අහිමි වුණ අවයවයක් නැවත ශරීරයට බද්ධ කිරිම ඉතාම අභියෝගාත්මක කටයුත්තක්. මෙහිදී ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයාගේ නිර්මාණශීලීත්වය වගේම අදාළ රෝගියාගේ ජීවිතයේ ගුණාත්මක බව නැවත ඇතිකිරීමේ අභියෝගය සම්පූර්ණයෙන්ම වෛද්‍යවරයාට අභියෝගයක්.ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයාට පෙර අත්දැකීම් ඉතා වැදගත්. මෙම සැත්කම මගින් රෝගියාගේ ජීවිතයේ ක්‍රියාකාරීත්වය නැවත ලබාදීම සිදුවනවා.
ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයාගේ දැනුම හරි වැදගත්…
ප්ලාස්ටික් සැත්කම් පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් පවා නිරන්තරව ඔවුන්ගේ දැනුම යාවත්කාලීන කරගැනීම වෙනුවෙන් යොමුවනවා. බොහෝ විට තමන්ගේ පෞද්ගලික වියදමෙන් ජත්‍යන්තරව සිදුකරන ප්ලාස්ටික් ශල්‍යකර්ම පිළිබඳ විද්‍යාත්මක පර්යේෂණ පරිශීලනය, පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීම, ජාත්‍යන්තර සම්මේලන සඳහා සහභාගී වීමට උනන්දුවක් දක්වනවා.
දැනුම නිරන්තරව අලුත් වීම සමග නව දැනුම රෝගීන්ගේ සැත්කම් සඳහා යොදාගැනීමට හැකියාව ලැබෙනවා. ඒ අනුව යාවත්කාලීන වන වෛද්‍ය දැනුම නිසා හදිසි අනතුරකින් ඇතිවන ජීවිතයේ හිස්තැන සපුරා ගෙන තමන්ගේ ජීවිතයේ ගුණාත්මක බව පවත්වා ගැනීමට රෝගියාගේ පාර්ශ්වයෙන් විශාල සහයෝගයක් ලබා දියයුතු වෙනවා.
හරින්දී ලියනගේ
පුන්‍යා චාන්දනී ද සිල්වා