මොළයට සිදුවන අනතුරු නිසා අපේ රටට අවශ්‍ය පලදායි ජීවිත බොහොමයක් අහිමි වෙනවා. රටක්, ජාතියක් වශයෙන් මෙය බරපතළ තත්ත්වයක්. ගෙවුණ යුද සමයේදී අපේ රණවිරුවන් විශාල වශයෙන් රටට අහිමි වුණා. ඒ තත්ත්වයට සමානව බලන විට අද වනවිට මොළයට සිදුවන අනතුරු නිසා මියයනවා මෙන්ම සදාකාලික ආබාධිත තත්ත්වයට පත්වන පිරිස ඊටත් වඩා වැඩිවෙලා. මොළයට සිදුවන අනතුරු, සුෂුම්නාවට වගේම බහුවිධ අවයවයන්ට (මොළය, සුෂුම්නාව වැනි අවයව රැසකට අනතුරු වීම) හානිවීම නිසා අහිමි වන ජීවිත සංඛයාව ඉහළ යමින් ද පවතිනවා. මෙය පවුලක ආර්ථිකයට,රැකවරණයට දායකත්වය ලබාදෙන ප්‍රධාන පුරවැසියාට සිදුවුවහොත් එම පවුල පමණක් නොවේ අනාරක්ෂිත වන්නේ. වක්‍රාකාරයෙන් එය මුළු සමාජයටත් රටටත් බලපානවා.
මොළයට හානි සිදුවන බහුල අනතුරු මොනවාද?
- මාර්ග අනතුරු
- උස් ගොඩනැගිලිවලින් වැටීමෙන් සිදුවන අනතුරු
- පහරදීම්
- වෙඩි තැබීම්
හදිසි අනතුරක් සිදු වූ විට ප්‍රථමාධාර ලබාදෙන ක්‍රමවේදයක් තිබෙනවාද?
හදිසි අනතුරක් සිදුවීමෙන් පසුව ඒ වෙනුවෙන් ප්‍රථමාධාර ලබාදෙන අදියර කීපයක් තිබෙනවා. එය A,B,C,D යනුවෙන් හැඳින්වෙනවා. ඒ වගේම හදිසි අනතුරක් කොටස් දෙකකට බෙදා දක්වන්න පුළුවන්.
● ප්‍රථමික අවස්ථාව
අපේ මොළයේ ස්වභාවය ගැන සඳහන් කරනවා නම් එය ජෙල් එකක් වැනි ව්‍යුහයක්. මතුපිටින් වූ හිස් කබලෙන් මොළය ආවරණය වී තිබෙනවා. හිස්කබලට යටින් මොළය, රුධිර නාල සහ ජලය තිබෙනවා. මේ සියල්ල හිස් කබලෙන් ආවරණය වී තිබුණත් හදිසි අනතුරකදී මොළයට තුවාල වීම, තැළීම වැනි අභ්‍යන්තර හානි සිදුවන්න පුළුවන්.
හදිසි අනතුරක් සිදු වූ අවස්ථාවේදී හිසට බරපතළ ලෙස තුවාල වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවක සමහර විට මුල් අවස්ථාවේදීම මොළයට සිදුවන හානියත් බරපතළ වෙන්න පුළුවන්. එවිට අනතුර සිදු වූ තැනකදී පවා ප්‍රතිකාර ලබාදීම අපහසුයි.
● දෙවන අවස්ථාව
මොළයට අනතුරක් සිදුවුණ ස්ථානයේදී ඇතිවුණ තත්ත්වයට වඩා රෝගියාට ඇතිවන සංකුලතාවන් වැඩිවන්න පුළුවන්. ඒ නිසා හැමවිටම අනතුරක් සිදුනොවන විදිහට ඔබේ ජීවිතය ගැන සැලකිලිමත්ව කටයුතු කිරීමයි වැදගත්. ‘Safety first’ යන අවවාදාත්මක වචනය වගේම ඔබේ ආරක්ෂාව ඔබ විසින්ම සලසා ගතයුතු වෙනවා. රෝහලක් තිබුණත් දක්ෂ වෛද්‍යවරු සිටියත් වෛද්‍ය තාක්ෂණය කොතරම් දියුණු වුණත් ඒ හැම දෙයකදීම කළහැකි සීමාවක් තිබෙනවා.
හදිසි අනතුරක් සිදු වූ විට එය ගණනය කරන ක්‍රමවේදයක් තිබෙනවා…
■ මද අවදානම් මට්ටම (Mild:15 ට අඩු)
සාමාන්‍යයෙන් අපි නිවසක පුටුවක හැපිලා වැටෙනවා. කුඩා දරුවෙක් නම් පුටුවෙන් වැටෙනවා. තමන්ගේ උසට සමාන දෙයකින් වැටුණාම එතරම් බරපතළ හානියක් ඇතිවෙන්නෙ නැහැ. මේ අඩු අවදානම් තත්ත්වය 15 විදිහට සලකනවා.
■ මධ්‍යම අවදානම් මට්ටම (Moderate: 8 සිට 12 )
8-12 අතර අගයක නම් එය මධ්‍යම මට්ටමේ අවදානමක් ලෙස සැලකෙනවා.
■ දරුණු අවදානම් මට්ටම (Severe : 8 ට අඩු )
මෙම අගය 8 ට අඩු නම් බරපතළ අවදානමක් ලෙස සැලකෙනවා.
අවදානමක් නැතැයි සිතන අනතුරුවලින්ද පසු සංකුලතාවන් ඇතිවන්න ඉඩ තිබෙනවා…
සමහර විට ඒ අවස්ථාවේදී අවදානමක් නැතැයි සිතන අනතුරකින් පවා පසුව අපහසුතාවන් ඇතිවීමටත් ඉඩ තිබෙනවා. මේ තත්ත්වය අනතුර සිදු වූ විගස ඇති නොවන්න පුළුවන්. එහෙත් එවැනි අයට
- වමනය
- හුස්ම ගැනීමේදී වෙනස් ශබ්දයක් ඇතිවීම
- නිදිමත ගතිය
- කුඩා දරුවකු නම් විටින් විට වමනය කිරීම,
ෆිට් එක ඇතිවීම වැනි තත්ත්වයන් ඇති වෙන්න පුළුවන්. එවිට වහාම කළ යුත්තේ කාලය නොගෙවා හැකි ඉක්මනින් රෝහල්ගත කිරීමයි.
අනතුරක් සිදු වූ විට Vulnerable කොටස යනුවෙන් හඳුන්වන්නේ කවුද?
විශේෂයෙන් කුඩා දරුවන් සහ වැඩිහිටියන් මේ Vulnerable කාණ්ඩයට ඇතුළත් වෙනවා. ඔවුන් සැනින් රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ. ටිකෙන් ටික සිදුවන රුධිර වහනය නිසා පසු අවදානම් තත්ත්වයක් මොවුන්ට ඇතිවෙන්න පුළුවන්.
විශේෂයෙන් වයස්ගත පුද්ගලයන් ලේ තුනී වීම සඳහා ඇස්ප්‍රින් වැනි ඖෂධ භාවිත කරන විට ඔවුන්ගේ රුධිර වහනය වේගවත් වීම නිසා අනතුර සිදුවුණ අවස්ථාවේදී නොතිබුණු අවදානම් තත්ත්වයක් පසුව ඇතිවීමට පුළුවන්.
මත්පැන් පානය කරන පුද්ගලයන්ගේ හැසිරීමේ වෙනස්කම් මත්ගතිය නිසා යැයි සිතුවත් එය ඔවුන්ගේ මොළයට සිදුවුණ රුධිර වහනයක් නිසා වෙන්නට ඉඩ තිබෙනවා. ඒ නිසා අනතුරකට පසුව යම් රෝගියකුට අපහසුතාවන් ඇතිවුණොත් ඉක්මනින් ප්‍රතිකාර වෙත යොමුවීම වැදගත් වෙනවා.
ප්‍රාථමික අනතුරු වළක්වා ගන්නේ කෙසේද?
- ඔබ මාර්ග නීති පිළිපදින්න
- වාහනයක් පදවනවා නම් වේගය අඩු කරන්න,වාහන බඳපටි පළඳින්න.
- පාරේ ගමන් කරන විට ජංගම දුරකථනය භාවිත නොකරන්න.
මාර්ග අනතුරු ගැන සඳහන් කරන විට අපේ විනය ඉතාම වැදගත්. පාරේ ගමන් කිරීමේදී පදිකයන්ගේ වගේම වාහන පදවන පුද්ගලයන්ගේ විනය අනුව මාර්ග අනතුරු ඉතාම පහසුවෙන් වළක්වා ගැනීමට පුළුවන්. රටක පුද්ගලයන්ගේ විනය ඔවුන් පාරේ ගමන් ගන්නා අන්දමින් සහ වාහන පදවන ශික්ෂණයෙන් තේරුම් ගැනීමට පුළුවන්. අද විශාල වශයෙන් ප්‍රාථමික අනතුරු සිදුවන්නේ අපේ පදිකයන්ගේ සහ රිය පදවන්නන්ගේ නොසැලකිළිමත් බව නිසයි.
විනය අධ්‍යාපනයෙන් ම හදන්න බැහැ…
මාර්ග අනතුරු වළක්වා ගැනීමේදී අපේ විනය ඉතා වැදගත් නමුත් විනය අධ්‍යාපනයෙන් පමණක් හදන්න බැහැ. එය පුද්ගලයා විසින්ම ගොඩනගා ගතයුතු තත්ත්වයක්.
වැඩියෙන්ම සිදුවන වාහන අනතුරු…
මාර්ග අනතුරු ගැන සඳහන් කිරීමේදී බහුලව සිදුවන රිය අනතුරු කොටස් තුනකට බෙදා පෙන්වන්න පුළුවන්.
- ත්‍රීරෝද රථ
- මෝටර් බයිසිකල්
- බස් රථ
මේ අන්දමින් මාර්ග අනතුරු වැඩිවීමට බලපාන තවත් කරුණු තිබෙනවා.
■ මාර්ග නීති පිළිබඳ නොදැනුවත්කම.
■ නීති තිබුණත් ක්‍රියාත්මක නොවීම.
මේ නිසා අද මාර්ග අනතුරු බහුලව සිදුවනවා. කහ ඉරේ පවා මිනිසුන්ගේ ජීවිත අහිමි වනවා.විනයක් නොමැති රියදුරන් නිසා අවාසනාවන්ත මරණ සිදුවනවා.
හදිසි අනතුරුවලට පත් වූ රෝගීන් වෙනුවෙන් දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර…
ශ්‍රී ලංකා ජාතික රෝහල සතුව දැඩි සත්කාර ඒකක හයක් තිබෙනවා. මේ එක් ඒකකයක විශේෂ ඇඳන් 8 බැගින් තිබෙනවා. එක දවසකට මොළයට අනතුරු සිදුවුණ රෝගීන් 18 – 20 ක් පමණ මෙම ඒකකවලට ඇතුළත් වෙනවා. හැම දෙනෙක්ම දැඩි සත්කාර ප්‍රතිකාර ලබාගැනීමට අවශ්‍ය නැහැ.
එක දිනකට බරපතළ තත්ත්වයේ රෝගීන් 3 සිට 5 ක් පමණ ඇතුළත් වෙනවා. ඔවුන්ට ශල්‍යකර්ම සිදුකරන්නත් වනවා. 2019 වසරේ පාස්කු ප්‍රහාරය සිදුවුණ විට අපි පැය 24 ක් තුළ මොළය ආශ්රිත ශල්‍යකර්ම 25 ක් කළා.
එය වාර්තාගත සිදුවීමක්. මේ වගේ හදිසි අවස්ථාවල දැඩි සත්කාර ඒකක වෙනුවෙන් අවශ්‍ය පහසුකම්, විශේෂඥ වෛද්‍ය, ශල්‍ය වෛද්‍ය, නිර්වින්දන වෛද්‍ය, හෙද සහ සෙසු සේවාවන් ඉක්මනින්ම සපුරාගැනීමේ හැකියාව අප සතුව පවතිනවා.
පුද්ගලයන්ගේ නොසැලකිලිමත් බව නිසා සිදුවන හදිසි අනතුරුවලට ප්‍රතිකාර කිරීම රටක සෞඛ්‍ය සේවවාට විශාල වැය බරක්. එක් දිනකට පමණක් වෛද්‍යවරුන්ගේ සහ සෙසු සේවාවන්ගේ වැටුප් ගණනය නොකොට එක් රෝගියකුගේ ශල්‍ය සහ ඖෂධ ප්‍රතිකාර, යන්ත්‍ර, විදුලිය වෙනුවෙන් රුපියල් ලක්ෂයකට වඩා වැඩි මුදලක් රටේ සෞඛ්‍ය පද්ධතියෙන් වැයවෙනවා. මෙය රටකට විශාල බරක්.
රෝහල්ගතව ප්‍රතිකාර ලබා රෝගියකු නිවසට ගිය පසුව බලාගත යුත්තේ කෙසේද?
මේ ඉතාම අසීරු අවස්ථාවක්. බොහෝ විට හදිසි අනතුරක් නිසා පවුලේ අයට විශාල පසුබෑමක් ඇතිවනවා. තරුණ මවක්, පියෙක් හෝ දරුවෙක් අනතුරකට පත් වූ විට ඒ නිවසේ සාමාන්‍ය ජීවිතයට, ආර්ථිකයට විශාල බලපෑමක් ඇතිවනවා. වයස්ගත අයෙක් හදිසි අනතුරක් නිසා එක්තැන් වුණොත් ඒ අය රැකබලා ගැනීමේ ගැටලු ඇතිවනවා.
හදිසි අනතුරකින් පසුව සම්පූර්ණයෙන්ම සුවය ලබාදීම සමහර විට අපහසු වෙන අවස්ථා තිබෙනවා. ප්‍රතිකාර ලැබීමෙන් 30%-40% ක අතර සුවයක් ලැබුණත් සමහර රෝගීන්ගේ පෙනීමේ ගැටලු, ශ්‍රවණ අපහසුතාවන්, අත් පා ක්‍රියාකාරීත්වය, හිස් කබල ඉවත් කිරීමේ ගැටලු නිසා ඔවුන්ට නැවත පුනරුත්ථාපන ප්‍රතිකාර ලබාදීමට අවශ්‍ය වෙනවා. රාගම වැනි රෝහල්වලින් ඒ වෙනුවෙන් පහසුකම් තිබුණත් ඒවා සිදුවන හදිසි අනතුරු ප්‍රමාණය සමග ප්‍රමාණවත් නැහැ.
ඒ වගේම රෝහලෙන් පිට ගියත් ඔවුන්ගේ ඖෂධ, නැවත සායනවලට පැමිණීම, රැකබලා ගැනීම වැනි දේවල්වලට විශාල මුදලක් වැය කිරීමට සිදුවනවා. මේ තත්ත්වය පවුලකට දරාගැනීම අපහසුයි.
හරින්දී ලියනගේ ✍️