හතළිස් ඇඳිරිය යනු ඉතා බහුල රෝග තත්ත්වයක්. අපේ ජීව විද්‍යාත්මක වයස සමග අවුරුදු හතළිහක් පමණ වෙන විට ඇස්වල පෙනීම අඩුවීමට පටන් ගන්නවා. අපේ ඇසේ කාචය විනිවිද පාරදෘශ්‍ය උත්තල කාචයක්. ස්වභාවික කාචයට අප සමීපයේ ඇති දෙයක් වගේම දුර ඇති දෙයක් දෙස බලන විට එහි වක්‍රතාවය සුදුසු විදිහට වැඩි කරගෙන ඒ දෙය දෙස බලන්න පුළුවන්. මෙහිදී අපි වස්තුවේ ප්‍රතිබිම්භය දෘෂ්ටි විතානය මතට නාභිගත කරනවා. නමුත් අපේ වයස සමග කාචයට සම්බන්ධ මාංශ පේශි (ප්‍රතියෝජක පේශි) දුර්වල වෙනවා. එවිට දුර සහ ළඟ බැලීමේ හැකියාව අපෙන් ක්ෂය වෙන්න පටන් ගන්නවා. මේ නිසා අපේ ඇසේ ස්වභාවික කාචයට වෙනදා වගේ තමන්ගේ වක්‍රතාවය වෙනස් කර ගැනීම අපහසු වෙනවා.
හතළිස් ඇඳිරියේ රෝග ලක්ෂණ මොනවාද?
පොඩි අකුරු කියවීමේ අපහසුතාවය. ළඟ පෙනීම අඩුවීම. නමුත් දුරින් ඇති දේ පහසුවෙන් කියවීමට හැකි වීම. බොඳ වී පෙනීම. අඩු ආලෝකයේදී කියවීමේ අපහසුතාවය දුර ඇති වස්තුවක් දෙස බැලීමෙන් පසුව ළඟ තිබෙන වස්තුවක් දෙස බැලීමේදී අපහසුතාවයක් දැනීම. මේතත්ත්වය උදාහරණයකින් පැහැදිළි කරනවා නම් ඔබ දුර තිබෙන වස්තුවක් දෙස බැලීමෙන් පසුව නැවත පරිගණක තිරය දෙසට ඇස ( Focus) කිරීමේ අපහසුතාවය.
අවුරුදු 40 ක් වූ පමණින්ම 40 ඇඳිරිය ඇති වෙන්නේ නැහැ
හතළිස් ඇඳිරිය කිව්වත් ඔබට වයස අවුරුදු 40 වූ සැනින් මෙම ඇස් ආශ්රිත අපහසුතාවය ඇති වෙන්නේ නැහැ. සමහර විට මෙම අපහසුතාවය වයස අවුරුදු 38 – 39 දී විය හැකියි. සමහර විට මූලික රෝග ලක්ෂණ පමණක් මුලින් ඇති වී ටිකෙන් ටික පෙනීමේ අපහසුතාවයන් ඇතිවෙන්න පුළුවන්. සමහර අයට වයස අවුරුදු 50 ක් පමණ වෙන විට මෙම අපහසුතාවය දැනෙන්න පුළුවන්.
හැම දෙනෙකුටම හතළිස් ඇඳිරිය දැනෙනවාද?
සාමාන්‍ය පෙනුම ඇති අයට වයසත් සමග හතළිස් ඇඳිරිය දැණුනත් අවිදුර දෘෂ්ටිකත්වය (මයෝපියා ) ඇති අයට හතළිස් ඇඳිරිය නිසා එතරම් අපහසුතාවයක් ඇති නොවෙන්න පුළුවන්. මේ පුද්ගලයන්ට දුර නොපෙනුනණත් ළග පෙනීමේ අපහසුතාවයක් නැහැ.
හතළිස් ඇඳිරිය නිසා සමාජයට ඇතිවන බලපෑම
හතළිස් ඇඳිරිය ගුණාත්මක බවට බලපානවා. රැකියාවක් කරන පුද්ගලයකුට තමන්ගේ රැකියාවට අදාළ කටයුතු කර ගැනීමේ අපහසුතාවයන් ඇතිවීම නිසා ඒ පුද්ගලයාගේ කාර්යක්ෂමතාවය අඩු වෙනවා. වැරදීම් වැඩිවීම නිසා කා3⁄4යාලයේ අකාර්යක්ෂම පුද්ගලයකු බවට පත්වීමට ඉඩ තිබෙනවා.
ඒ නිසාම ඔහු හෝ ඇය මානසික පීඩනයෙන් කල් ගෙවන අතර තරහ යෑම සේම නුරුස්නා බව වැනි පෞරුෂයේ වෙනස්කම් පවා ඇති වෙනවා. වාණිජමය කටයුතු කරන අයකුට තමන්ගේ මිල දර්ශන, බිල්පත් නිවරැදි ලෙසින් සකසා ගැනීම අපහසුයි.
මුළුතැන්ගෙයි එදිනෙදා කටයුතුවලදී පවා ඇස් පෙනීමේ පවතින අඩුපාඩු මත ඉවුම් පිහුම් කටයුතුවලදී ගූණාත්මක බව මෙන්ම අනතුරු වීමට ඉඩ තිබෙනවා.අද සමාජය තොරතුරු සන්නිවේදන උපාංග සමග කටයුතු කිරීමේ වැඩි ප්රවනතාවයක් තිබෙනවා. අවම වශයෙන් දුරකථනය ඇමතුමක් ලබාගැනීම, කටි පණිවිඩයක් කියැවීම, බිල්පත් ආදියේදී ගෙවීම් කටයුතුවලදී පෙනීමේ ගැටලු නිසා විවිධ ප්‍රශ්න ඇතිවීමට ඉඩ තිබෙනවා.
ඉන්දියාවේ සිදුකරන ලද පර්යේෂණ වාර්තාවකට අනුව පෙනීමේ ගැටලු තිබුණ තේ දලු නෙලන කාන්තාවන්ට කණ්නාඩි ලබා දීමෙන් පසුව ඔවුන් නෙලන ලද තේ දලු ගුණාත්මක තත්ත්වයෙන් පැවැති බැව් හඳුනා ගෙන තිබෙනවා. ඒ නිසා පෙනීමේ අපහසුතාවයන් වෙනුවෙන් ප්‍රතිකාර ලබා ගැනීම ලියන, කියවන කටයුතුවල නිරත අයට පමණක් සීමා නොවිය යුතු බැව් මෙම අධ්‍යනය අනුව පැහැදිළිව පෙනී යන තත්ත්වයක්.
කණ්ණාඩි පාවිච්චි කරන්න බොහෝ දෙනා අකමැති ඇයි?
හතළිස් ඇඳිරිය ඇති වූ විට ඊට ප්‍රතිකර්මයක් ලෙසින් කණ්ණාඩි පැළඳීම නිර්දේශ කරන නමුත් බොහෝ දෙනෙකු විසින් මේ අවස්ථාව මග හරිනවා. ඒ වෙනුවෙන් ඔවුන් විවිධ නිදහසට කරුණු ඉදිරිපත් කරනවා.තමන්ගේ පෙනුම පිළිබඳ ප්‍රශ්න, වයස්ගත පෙනුමක් ඇතිවීම, කණ්ණාඩි දැමීම නිසා නහය මත කළු වීම, කණ්ණාඩියේ මීදුම මෙන් බැඳීම නිසා ඇති වෙන අපහසුතාවය, කණ්ණාඩිය අමතක වීම, පාවිච්චි කිරීමේ ගැටලු යනාදිය ඒ අතර වනවා.
හතළිස් ඇඳිරි තත්ත්වය නිසා ඇතිවන ගැටලු
හතළිස් ඇඳිරි තත්ත්වයේදී ළඟ අකුරු නොපෙනෙන විට ඇස කුඩා කරමින් එය බලන්නට දරණ උත්සාහය නිසා මාංශ පේශි විඩාවට පත්වීම, ඇසේ කැක්කුම, වේදනාව,නිදිමත, හිසේ කැක්කුම පවතිනවා.
බොහෝ අයට ඇතිවන හිසේ කැක්කුමට හේතුව බොහෝ විට හඳුනාගැනීමට අපහසු වෙන අවස්ථා තිබෙනවා. මේ තත්ත්වය සෙම, මිග්රේන්, සයිනසයිටිස් වැනි රෝගයක් නිසා යැයි අනුමාන කරනවා.
එවැනි අවස්ථාවන්හිදී MRI සහ CTස්කෑන් පරීක්ෂණ පවා සිදුකළත් රෝගයට හේතුව හඳුනාගැනීම අපහසු වෙන අවස්ථා තිබෙනවා. අවසානයේදී මේ තත්ත්වය පෙනීමේ ගැටලුවක් නිසා බවට හඳුනාගෙන කණ්ණාඩි ලබා දීමෙන් එම පුද්ගලයාගේ හිසේ කැක්කුම සුවය ලබන අවස්ථාවන් තිබෙනවා.
හතළිස් ඇඳිරිය වෙනුවෙන් ලබාදෙන පිළියම්
වයස සමග ඇතිවෙන ප්‍රතියෝජක පේශි දුර්වල වීම නිසා උත්තල කාචයක් මගින් නාභිගත කරගැනීමට පුළුවන්. නමුත් ඔබ හතළිස් ඇඳිරිය නිසා පෙනීමේ ගැටලුවලට මුහුණ දී සිටිනවා නම් සුදුසුකම් ලත් අක්ෂි වෛද්‍යවරයෙකුගේ පරීක්ෂාවකින් තොරව කණ්ණාඩි ලබාගැනීම සුදුසු නැහැ. වයසත් සමග ඔබේ ඇසට ඇතිවන සංකුලතාවයන් වැඩියි.
වයස අවුරුදු 40 වෙද්දි ඔබේ ඇසට ග්ලූකෝමාව, ඇසේ සුද ඇතිවීම,දියවැඩියාව නිසා ඇතිවන සංකුලතාවයන් වැඩි වෙනවා. මේ වගේ අවදානමක් තිබෙන නිසා වයස අවුරුදු 40 පහුවුණාම ඇතිවන දෘෂ්ටි අපහැදැලිකම ගැන අක්ෂි වෛද්‍යවරයෙක් හමු වී ඇස් පරීක්ෂා කරගැනීම වඩාත් සුදුසුයි.
කණ්ණාඩියක් වෙනස් කිරීමට කාලයක් තිබෙනවාද?
සාමාන්‍යයෙන් වසරකට වරක් සුදුසුකම් ලත් අක්ෂි වෛද්‍යවරයෙකු ලවා ඇස් පරීක්ෂා කරගැනීම සුදුසුයි. ඒ වගේම අවුරුදු දෙකකට වරක් කණ්ණාඩිය වෙනස් කිරීම සිදුකළ යුතුයි.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️