මහ පාරේ අනතුරක් වූ විට පුළුවන් ඉක්මණට 1990 ට කතාකරන්න…
මාර්ග අනතුරක් වූ විට හැකි සෑම විටම 1990 ගිලන් රථ සේවයට කතා කරන්නට ඔබට හැකියාව තිබෙනවා. එවිට ඔවුන් කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකය වෙත රෝගීයා ආපදාවකින් තොරව ප්‍රවාහනය කරනවා. නමුත් හැම අවස්ථාවකදීම 1990 ගිලන් රථයක් මෙම කාර්ය සඳහා යොදාගැනීමට නොහැකි වෙනවා. අනතුරු සිදු වූ වෙලාව,ස්ථානය අනුව 1990 ගිලන් රථය ගෙන්වා ගැනීම අපහසුතා තිබෙන්න පුළුවන්.
මේ නිසා බොහෝ විට අනතුරට පත් රෝගීන් ත්‍රී රෝද රථයකින් හෝ එසේත් නොමැති නම් පෞද්ගලික රථයකින් ළඟම ඇති රෝහලට ප්‍රවාහනය කරනවා. මෙහිදී ඇතිවන බරපතල තත්ත්වය වන්නේ මෙවැනි ප්‍රවාහන කටයුතුවලදී රෝගියකු ප්‍රවාහනය කිරීම නිසා තවත් අනතුරුවලට ගොදුරුවීමයි. අනතුරට ලක්වූ රෝගියකු ඉතාම ප්‍රවේසමෙන් හා ආරක්ෂාකාරීව ප්‍රවාහනය කිරීම වෙනුවෙන් පුහුණු කාර්ය මණ්ඩලයක් අවශ්‍ය වෙනවා. 1990 වැනි ගිලන් රථ ජාලයකින් මේ සේවාව අපේක්ෂා කිරීමෙන් එවැනි අපහසුතා අවම වෙනවා.
හදිසි අනතුරකට පත්වූ රෝගීන් ගුවන් මගින් ප්‍රවාහනය…
අනතුරකට ලක්වන කෙනෙක් ගුවන් මගින් ප්‍රවාහනය කිරීමෙන් ඉක්මණින් ප්‍රතිකාර ලබා දීමේ හැකියාව දැන් ශ්‍රී ලංකා ජාතික රෝහලට තිබෙනවා. ඒ සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සහ පෞද්ගලික අංශයේ හෙලිකොප්ටර් සහායත් ලැබෙනවා. මේ වනවිටත් හෙලිකොප්ටරයක් ගොඩ බැස්සීමේ පහසුකම් (Helipads) ශ්‍රී ලංකා ජාතික රෝහල සතුවත් ලංකා හොස්පිට්ල් සතුවත් තිබෙනවා. එසේ නොමැති අවස්ථාවලදී පවා හෙලිකොප්ටර්, රෝහලට ළඟම ඇති පිට්ටනිවල ගොඩබස්වා රෝගීන් අවශ්‍ය ප්‍රතිකර සඳහා යොමුකරනවා.
සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම පිළිබඳව අවධානය යොමුවූ කාලයක විදේශ සංචාරකයන් විශේෂයෙන්ම ත්‍රාසජනක සහ අති ත්‍රාසජනක ක්‍රීඩාවල නිරත වීමේදී යම්කිසි හෙයකින් අනතුරකට ලක්වුවොත් ගුවන් මගින් ඔවුන් කොළඹට ප්‍රවාහනය කරමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර කඩිනමින් අපට මේ සේවාව හරහා කළ හැකියි.
ඇතැම් විට මාර්ගයෙන් එවැනි තැන්වලට ළඟාවිය නොහැකි වුණත් හෙලිකොප්ටර් ආධාරයෙන් ළඟාවෙමින් ඔවුන් වහාම ප්‍රවාහනය කළ හැකියි.එහෙත් අනතුරක් ගැන අවධානය යොමු කරනවිට රෝගී ප්‍රවාහනය ගැන කතා නොකරම බැහැ. රෝගියාට යම් ප්‍රශ්නයක් ඇති වුණොත් එතැන ප්‍රධාන වරද රෝගී ප්‍රවාහනයට අපේ රටේ නම් එල්ල වෙනවා. ඇමරිකාව වැනි දියුණු රටවල අනතුරක් සිදුවූ වහාම ගුවන් මගින් රෝගීන් ප්‍රවාහනය කරමින් රෝගියාගේ ජීවිතය බේරා ගැනීම සඳහා හදිසි ප්‍රතිකාර මධ්‍යස්ථාන ඉදිකර තිබෙනවා.
අපේ රටේ රෝහල් සාමාන්‍ය දුර පරතරයක පිහිටා තිබෙන නිසා අනතුරට ලක්වන සාමාන්‍ය ජනතාවට තවමත් ගුවන් මගින් රෝගීන් ගෙන යෑමේ අවස්ථාව උදාවී නැහැ. ඒ වුණත් හැකි ඉක්මණින් රෝගියා ප්‍රතිකාර වෙත යොමු කිරීමට පුළුවන් නම් හදිසි අනතුරු නිසා ඔළුවට හානිවන රෝගීන්ගේ ජීවිත මීට වඩා බේරාගැනීමේ හැකියාව වෛද්‍යවරුන්ට ලැබෙනවා. පසුගිය දිනක කොතලාවල ආරක්ෂක පීඨයේ ශිෂ්‍යන් අනතුරට ලක් වූ අවස්ථාවේදීත් ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් මගින් සිසුන් ප්‍රවාහනයට ඉදිරිපත් වූවත් එය කළ නොහැකි වූයේ කලගුණයේ බලපෑම නිසයි.
අවයව බද්ධ කිරීමේ ශල්‍යකර්ම සාර්ථක කරගැනීම සඳහා යොදාගත හැකි ගුවන් ප්‍රවාහනය
අවයව බද්ධ කිරීමේ ශල්‍යකර්ම සාර්ථක කරගැනීම සඳහා ලබාගන්නා අවයව සහ පටක හැකි ඉක්මණින් අදාළ තැන වෙත ප්‍රවාහනය කිරීම වැදගත්. ඒ සඳහා ගුවන් මගින් ප්‍රවාහන පහසුකම් සපයාදිය හැකි නම් එම අවයව බද්ධ කිරීමේ ශල්‍යකර්ම හැකි ඉක්මණින් කළ හැකියි. වකුගඩුවක් වැනි අවයවයකට වඩා අක්මාව වැනි අවයවයක් ඉතාම ඉක්මණින් රැගෙන ඒමෙන් විශේෂඥ වෛද්‍යවරුන්ට අක්මා බද්ධය ඉතා සාර්ථකව කළ හැකියි. අනතුරක් නිසා හෝ රෝහලකදී මොළය මිය ගිය රෝගියකුගෙන් එවැනි අවයව ලබාගෙන අවයව බද්ධ කරන රෝගියා වෙත ඉතාමත් ඉක්මණින් ගුවන් මගින් රැගෙන යාමේ අවයව බද්ධ කිරීමේ ශල්‍යකර්ම විශේෂඥ වෛද්‍යවරුන්ට සාර්ථකව කළ හැකියි.
මුහුදේදී අනතුරක් සිදු වුවහොත්
අපේ රට සේද මාවතේ පිහිටා තිබෙන රටක්. එම නිසා මෙම සමුද්‍ර මාවතේ බොහෝ නෞකාවන් ගමන් කරනවා. මේ ගමන් මාර්ගයේදී යම් අනතුරක් වුවහොත් එසේත් නොමැති නම් කාලගුණ තත්ත්වයේ ඇතිවන වෙනස්කම් නිසා මුහුදු මගීන්ට ගැටලුවක් ඇති වුවහොත් එවැනි රෝගීන් ළඟම ඇති රටට බෝට්ටු මගින් ප්‍රවාහනය කරමින් අවශ්‍ය ප්‍රතිකාර ලබාදිය හැකියි. දැනටමත් මාසයකට නාවිකයන්ට සෞඛ්‍ය පහසුකම් ලබාදෙන ලෙස ඉල්ලා ඉල්ලීම් වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලැබෙනවා.
නමුත් කණගාටුවට හේතුවක් වන්නේ අපට ඒ වෙනුවෙන් පහසුකම් නොමැති වීමයි. එම නිසා මෙම රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීම සඳහා ඉන්දියාව, මාලදිවයින වැනි රටවල් ඉදිරිපත් වෙනවා.
නමුත් සාගරයේදී රෝගීවන නාවිකයන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීමේ මාර්ග විශේෂයෙන් ජාතික රෝහල තුළ තිබුණොත් එය මේ රටට විදේශ විනිමය උපයා ගැනීමේ තවත් හොඳ මාර්ගයක් විය හැකියි. එපමණක් නොව සංචාරකයන් මුහුදු ක්‍රීඩාවල නිරත වීම සඳහා ලංකාව තෝරා ගැනීමේදී අපේ රටේ සෞඛ්‍ය අංශයේ මෙවැනි අයට හදිසි අනතුරකදී පහසුකම් සැපයීම සඳහා දියුණ කර තිබීමත් සංචරක කර්මාන්තය තවත් ප්‍රචලිත කිරීමට හේතු විය හැකියි. මුහුදේ කිමිදීමට මෙරටට එන සංචාරකයන් සමුද්‍රය අභ්‍යන්තරයේ දී විවිධ අනතුරට ලක් වී Decompression sickness තත්ත්වය ඇතිවුවහොත් එවැනි අයට ප්‍රතිකාර ලබාදීම සඳහා Recompression කෘතීමව කිරීම සඳහා HBOT ඒකකයක් දැනට තිබෙන්නේ ත්‍රිකුණාමලයේ පමණයි. මේ වනවිටත් හදිසි අනතුරු වළක්වා ගැනීමේ ලේකම් කාර්යාලය මගින් කොළඹට සහ ගාල්ලට එවැනි ඒකකයන් දෙකක් රජයෙන් ඉල්ලා තිබෙනවා.
ECMO retrieval and transport
මෙම සේවාව ගාල්ල කරාපිටිය රෝහලේ හෘද ශල්‍ය වෛද්‍ය ටොලූෂා හරිස්චන්ද්‍ර විසින් ආරම්භ කළා. මේ ක්‍රමයේදී අනතුරට පත් අය ප්‍රවාහනය කිරීම වෙනුවට අනතුර සිදුවූස්ථානයට අදාළ වෛද්‍ය කණ්ඩායමක් ගොස් අවශ්‍ය මූලික ප්‍රතිකාර ලබාදී රෝගියා ප්‍රවාහනය කිරීම සිදුකරනවා. මෙම ක්‍රමවේදය කොවිඩ් කාලයේදී කරාපිටිය ශික්ෂණ රොහලේ ළමා රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය කල්පනී විතානාරච්චි රෝගී දරුවන් වෙනුවෙන් වඩාත් ප්‍රයෝජනයට ගත්තා. විශේෂයෙන්ම පෙනහලුවලට හානි වූ ළමා රෝගීන් වෙනුවෙන් මේ විදිහට ප්‍රතිකාර කිරීම අපේ රටේ දැනටත් සිදුවෙනවා. මෙම සේවාව වැඩිහිටියන් දක්වා ව්‍යාප්ත කිරීමටයි අපි බලාපොරොත්තු වෙන්නේ.
දුම්රිය මාර්ගයෙන් අනතුරට පත් රෝගීන් කොළඹට ප්‍රවාහනය කිරීමේ නව බලාපොරොත්තුවක්
දුර ගමන් දුම්රිය තුළ ගිලන් රථ සේවාවක් ආරම්භ කිරීමේ අවශ්‍යතාවය මේ වනවිටත් ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේනතුවට පෙන්වාදී තිබෙනවා. ඒ වෙනුවෙන් එක් මැදිරියක් වෙන්කර ඒ සඳහා වාණිජ පංතියේ ගාස්තු අයකළත් මහජනතාවට ඉන් වාසි රැසක් ලැබෙනවා. විශේෂයෙන්ම එවැනි ප්‍රවාහනයකදී රෝගියාගේ ආරක්ෂාව වෙනුවෙන් එම දුම්රිය ගිලන් රථ මැදිරියේ වෛද්‍යවරයෙක් හෙදියක් ඇතුළු හදිසි අවස්ථාවකදී උදව් කළ හැකි සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් සිටිමෙන් රෝගීන්ගේ ජිවිත ආරක්ෂාකාරීව කොළඹට ප්‍රවාහනය කළ හැකියි. මෙය ගිලන් රථයකින් රෝගියකු කොළඹට රැගෙන ඒමකට වඩා අඩු වියදමක් මෙන්ම ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේනතුවට නව ආදායම් මාර්ගයක් විය හැකියි.
හරින්දී ලියනගේ ✍️