පෙනහලු ආශ්රිත රෝග තත්ත්වයකදී සාමාන්‍ය පරීක්ෂණ ලෙස රුධිර පරීක්ෂණ, සෙම පරීක්ෂණ සහ පපුවේ එක්ස් කිරණ පරීක්ෂාවක් සිදුකරනවා. මේවා බොහෝ දුරට රෝගියකුගේ මූලික ඇගැයීම සඳහා ඉතා ප්‍රයෝජනවත් පරීක්ෂණ වුණත් එයින් අනතුරුව රෝග තත්ත්වය වෙනුවෙන් වැඩිදුරටත් සිදුකරන පරීක්ෂණ තිබෙනවා. මූලික පරීක්ෂණවල ප්‍රතිපල අනුව ශ්වසන රෝග සොයාගැනීම සඳහා ශ්වසන රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයකු විසින් සිදුකරනු ලබන තවත් විශේෂ පරීක්ෂණ කීපයක් ගැන මෙම ලිපියෙන් සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා…
පෙනහලු ක්‍රියාකාරීත්වය (පිඹිමේ) පරීක්ෂණය (Lung FunctionTest)
Lung FunctionTest පරීක්ෂණය ඇදුම සහ COPD වැනි රෝග හඳුනාගැනීම සඳහා සිදුකරන වැදගත් පරීක්ෂණයක්. මෙම පරීක්ෂණයේදී රෝගියා එම යන්ත්‍රයට සවිකර ඇති බටයක් හරහා විශේෂ යන්ත්‍රයකට හුස්ම පිඹීම සිදු කරනවා. මෙම පරීක්ෂණය පුහුණුව ලත් භෞත චිකිත්සකවරයකු විසින් සිදුකරනවා. එබැවින් පරීක්ෂණය සිදුකිරීමට පෙරාතුව භෞත චිකිත්සකවරයා විසින් ඔබට උපදෙස් ලබාදෙනවා.
ඔබ යන්ත්‍රය හරහා හුස්ම පිඹින විට ඔබේ ආශ්වාස සහ ප්‍රශ්වාස කරන හුස්මේ ප්‍රවාහ වේගය හඳුනාගන්න පුළුවන්. මෙම ප්‍රවාහ වේගය අනුව ඇදුම සහ COPD රෝග හඳුනාගැනීමට අප භාවිත කරන විශේෂ පරාමිතීන් ගණනය කිරීමට පුළුවන්. මෙම පරීක්ෂණයට පෙරාතුව ඔබ සැහැල්ලු ආහාර වේලක් පමණක් ගැනීම, පරීක්ෂණයට දින කීපයකට පෙරාතුව දුම් පානයෙන් වැළකී සිටීම වැනි සූදානමක් තිබීම වැදගත්. ඉන්හේලර් භාවිත කරන්නේ නම් පරීක්ෂණයට පැය කීපයකට පෙරාතුව එය නැවැත්වීම අවශ්‍යයි. පරීක්ෂණයට පැමිණීමේදී ලිහිල් ඇඳුමක් ඇඳීම වඩාත් සුදුසුයි. පරීක්ෂණයේ ප්‍රතිඵල වහාම ලබාගත හැකි නමුත් පුහුණු පෙනහලු වෛද්‍යවරයකු විසින් එම ප්‍රතිඵල නිවරැදි ලෙසින් අර්ථ දැක්වීම සිදුකරනවා.
පපුවේ CT පරීක්ෂණය ගැන දැනගත යුතු දේවල් මොනවාද?
පරිගණක ටොමෝග්රැපි (Computed tomography) පරීක්ෂණය අප සරල ලෙස CT ස්කෑන් යනුවෙන් හඳුන්වනවා. CT ස්කෑන් පරීක්ෂණයකදී සාමාන්‍ය Xray පරීක්ෂණයකට වඩා Xray කිරණ භාවිත කරනවා. ඔබ CT යන්ත්‍රයට සවිකර ඇති ඇඳ මත වැතිර ගත් පසු විශාල ඩෝනට් එකක් මෙන් පෙනෙන CT ස්කෑනරය හරහා ඔබ එහා මෙහා ගෙන යනු ඇත.
ඒ අනුව හුස්ම ගැනීමට ඔබට උපදෙස් දෙනු ලැබේ. පෙනහලු පිළිකා, බ්රොන්කයික්ටේසිස් වැනි ඇතැම් සැක සහිත පෙනහලු රෝගවලදී ඔබේ පෙනහලු අභ්‍යන්තර ව්‍යුහය පිළිබඳ වඩා හොඳ අවබෝධයක් ලබාගැනීම සඳහා CT ස්කෑන් පරීක්ෂණයක් සිදුකරනවා. CT ස්කෑන් පරීක්ෂණය මගින් පපුවේ සරල Xray එකකට වඩා වැඩි විස්තර ලබාදෙනවා. මෙම පරීක්ෂණය සමහර රෝහල්වල පමණක් සිදුකර වාර්තා කරනු ලබන්නේ මනා පුහුණුව ලත් විකිරණවේදී වෛද්‍යවරුන් විසින්.
සමහර විට අභ්‍යන්තර ව්‍යුහයන් පිළිබඳ වැඩි විස්තර ලබාගැනීම සඳහා කැනුලාවක් හරහා විශේෂ ඩයි එකක් යැවීමට සිදුවනවා. මෙම ඩයි වර්ගය ලබාදීමට පෙරාතුව රෝගියාගේ ආසාත්මිකතා ඉතිහාසය ගැන වැඩි විස්තර අවශ්‍ය වෙනවා. තව දුරටත් ඔබ CT ස්කෑන් පරීක්ෂණයක් සමග මෙම ඩයි ලබාගැනීමට සිදුවන්නේ නම් පැය 6 ක් නිරාහාරව සිටිය යුතුයි. පපුවට අමතරව උදරයේ ඉන්ද්‍රියන් ආශ්රිත ගැටලු සහ මොළයේ ගැටලු සඳහාද මෙම CT පරීක්ෂණ සිදුකිරීමට පුළුවන්.
බ්රොන්කොස්කොපි (Bronchoscopy) ගැන ඔබ දැනගත යුතු දේ මොනවාද?
බ්රොන්කොස්කොපි පරීක්ෂණය පෙනහලු වෛද්‍යවරුන් විසින් සිදුකරනු ලැබේ. මෙම පරීක්ෂණයේදී පෙනහලුවල අභ්‍යන්තර ව්‍යුහය සොයා බැලීමට කුඩා කැමරා නලයක් නාසයෙන් හෝ මුඛයෙන් ඔබේ පෙනහලුවලට යවනු ලැබේ. පෙනහලුවල ගැටිතිවල බයොප්සි ලබා ගැනීමටත් මෙය උපකාරී වෙනවා. තව දුරටත් ක්ෂය රෝගය ඇතුළු සමහර ආසාදන සඳහා පෙනහලුවලින් වඩා හොඳ තරල සාම්පලයක් ලබාගැනීමටත් මෙම පරීක්ෂණයෙන් හැකියාව ලැබෙනවා. බ්රොන්කොස්කොපි පරීක්ෂණයේ නව තාක්ෂණ කීපයක් දැන් පවතින අතර මෙම ක්‍රම මගින් වසා ගැටිතිවලින් සාම්පල කීපයක් ලබා ගැනීමටත් හැකියාව ලැබෙනවා.
ඒ නිසා පෙනහලු රෝග සම්බන්ධව ප්‍රතිකාර කිරීමේදී වෛද්‍යවරුන්ට මෙම පරීක්ෂණ වාර්තා ඉතා වැදගත්. මෙම පරීක්ෂණය අතරතුර ඔබේ උගුර, පෙනහලු හිරිවැටීම සඳහා ප්‍රමාණවත් පරිදි ඖෂධ ( හිරිවැටෙන ) ලබාදෙනවා. ඒ නිසා ඔබේ සුවපහසුව ඇති කරනවා. ඔබට වඩාත් පහසු වීමට කැනියුලාවක් හරහා නිදාගැනීමේ ඖෂධ කීපයක් ලබාදෙනවා.
නමුත් ඔබ සම්පූර්ණයෙන්ම නිර්වින්දන තත්ත්වයට පත්වන්නේ නැහැ. පරීක්ෂණයට සූදානම් වීමේදී පැය හයක් නිරාහාරව සිටිය යුතු වනවා. මෙම පරීක්ෂණය සඳහා ඔබ සුදුසුදැයි සහතික කරගැනීමට රුධිර පරීක්ෂණ ECG සහ සෙම පරීක්ෂණ කීපයක් සිදුකරනවා. මෙම පරීක්ෂණය සඳහා තීරණය ගැනීමට CT පරීක්ෂණයක්ද සිදුකරනවා.
මෙම පරීක්ෂණයෙන් ඔබගේ ස්වාසනාලය සහ බ්රොන්කයි තුළ කිසියම් අසාමාන්‍ය දෙයක් තිබේදැයි යන්න නිදර්ශනය කරනු ඇත. බ්රොන්කොස්කොපි පරීක්ෂාවේදී අපි ඔබේ පෙනහලුවලින් බයොප්සියක් හෝ තරලයක් ලබා ගන්නේ නම් එම සාම්පල වැඩිදුර පරීක්ෂණ සඳහා රසායනාගාර වෙත යවනු ලබනවා. මෙම ප්‍රතිඵල ලැබීමට දින/සති කීපයක් ගතවනවා.පෙනහලු ආශ්රිත රෝග තත්ත්වයන් සඳහා අප විසින් සිදුකරනු ලබන මෙම පරීක්ෂණ ගැන දැන් ඔබට හොඳ අදහසක් ඇතැයි මම විශ්වාස කරනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️