මෑතකාලීනව ඇතිවුණ වැසි ගංවතුර තත්ත්වය සහ යල, මහ කුඹුරු ගොවිතැන් ආරම්භයේදී මී උණ රෝග තත්ත්වයේ වැඩි ව්‍යාප්තියක් දක්නට ලැබෙනවා. මෙම රෝගය වෙල් උණ, පතල් උණ යන නම්වලිනුත් හැඳින්වෙනවා.2023 වසරේදී මී උණ රෝගීන් 9000 ක් සහ මරණ 200 ක් වාර්තා වුණා. දැනට ලැබී ඇති දත්ත අනුව මී උණ රෝගීන් 10,000 ක් පමණ වාර්තා වී තිබෙනවා. මේ දත්ත තවමත් ස්ථිර ලෙසින් සඳහන් කරන්න බැහැ. කොහොම වුණත් 2023 වසරට සාපේක්ෂව 2024 වසරේ මී උණ රෝගීන්ගේ වාර්තා වීම් ඉහළ අගයක පවතින බැව් පෙනී ගොස් තිබෙනවා.
මී උණ බෝවීම සිදුවන්නේ කොහොමද?
මෙම රෝග කාරක බැක්ටීරියාව ඛැචඑදිචසර් යන නමින් හැඳින්වෙනවා. මෙය බහුලව දක්නට ලැබෙන බැක්ටීරියාවක්. රෝගය වැළඳුණ මීයන් හරක්, බල්ලන්, ඌරන් වැනි සතුන්ගේ මුත්‍රා මගින් මෙම බැක්ටීරියාව පසට සහ ජලයට එකතු වෙනවා. තුවාලයක් සීරීමක් අත් පාවල තිබුණාම රෝග කාරක බැක්ටීරියාව ශරීරගත වීමට අවදානමක් තිබෙන බව කිව්වත් දිලීර ආසාදනයක්, යටි පතුල් පැලීම වැනි තත්ත්වයකින් වුණත් රෝග කාරකය ශරීරගත වීමට පුළුවන්.
මෙම බැක්ටීරියාව අපේ ඇස්, නහය සහ මුඛයේ ශ්ලේෂ්මල පටලවලින් ඇතුළු වෙනවා. ඒ වගේම මෙම බැක්ටීරියාවෙන් දූෂිත ජලයෙන් අත් පා, මුහුණ සේදීම හෝ පානය කිරීම නිසාත් මෙම බැක්ටීරියාව ශරීරගත වීමට පුළුවන්. අපි බොහෝ විට මී උණ රෝග තත්ත්වයේදී කතා කරන්නේ කුඹුරු ගොවිතැන් කරන පුද්ගලයන් ගැන වුණත් ජලය සහ මඩ ආශ්රිත රැකියාවන්හි නිරත තවත් පුද්ගලයන්ටත් මී උණ ඇතිවීමේ අවදානමක් තිබෙනවා.
මී උණ ඇතිවීමේ අවදානම් පුද්ගලයන් කවුද?
- ගංවතුරට මූලිකව ලක්වන සහ සහන බෙදාහරින පුද්ගලයන්
- වසර පුරාම කීර කොටු, කොහිල කොටු සහ පතල් ආශ්‍රිතව රැකියා කරන පුද්ගලයන්, පතල් ආශ්රිත කටයුතු කරන, වැලි ගොඩ දෑම වැනි රැකියාවන්හි නිරත පුද්ගලයන්
- ජලයේ ක්‍රිඩා කරන, ජලය සමග කටයුතුවල යෙදෙන පුද්ගලයන්ටත් මී උණ ඇතිවීමේ අවදානමක් තිබෙනවා.
- ඒ වගේම බේකරි වැනි ආයතනවල මීයන් බහුලව ගැවසෙන අතර ඒවායේ සේවයේ නිරත අයටත් මී උණ ඇතිවීමේ අවදානමක් තිබෙනවා.
රෝග ලක්ෂණ
මෙම බැක්ටීරියාව ශරීරගත වී දින කීපයක් යන විට උණ, තදබල මාංශ පේශි වේදනාව, තදබල හිසරදය සහ ඇස් රතුවීම, ඇස් කහවීම වැනි ලක්ෂණ දකින්න පුළුවන්. නමුත් මේ රෝගය වැළඳුන රෝගීන්ගෙන් 90% ක් පමණ දෙනෙකු සුවය ලබනවා. ඒ අතර 10% ක් පමණ රෝගීන් මුලින් සඳහන් කළ බරපතළ රෝග ලක්ෂණ පෙන්නුම් කරන්න පුළුවන්.
බැක්ටීරියාව තව දුරටත් සිරුරේ වර්ධනය වී කම්පනය, පෙනහලුවලට රුධිර වහනය. (Pulmonary haemorhage) හෘද රෝග සංකුලතාවන් සහ වකුගඩු සහ අක්මාවට හානිවීම වැනි බරපතළ රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා. ඒ අන්දමින් බහු අවයවවලට හානි වූ විට ජීවිත හානි අවදානම පවා ඉහළයි.
මී උණ වැළඳුන හැම රෝගියෙක්ම බරපතළ රෝග තත්ත්වයට පත්වන්නේ නැහැ
ඔබට උණ රෝග තත්ත්වයක් ඇතිවුණොත් එය දිනක්, දෙකක් වීමට පුළුවන්. මෙම දිනවල මී උණ රෝග තත්ත්වය පැතිරෙන අවදානම ඇති නිසා ඒ වෙනුවෙන් ප්‍රතිකාර වෙත යොමුවීම ඉතාම වැදගත්. ඒ විතරක් නොවෙයි පසුගිය දිනවල ඔබ ඇළ දොළක ස්නනාය කළා නම්, එළිමහනේ කාණුවක් කැපීම වැනි කටයුතු, ගං වතුර ආධාර බෙදීම වැනි කටයුත්තක නිරත වුණා නම් ඔබේ වෛද්‍යවරයාට ඒ බව සඳහන් කරන්න.
මී උණ හඳුනාගැනීමේ වෛද්‍ය පරීක්ෂණ මොනවාද?
මී උණ හඳුනාගැනීමේ මූලික පරීක්ෂණ ලෙසින් FBC හෙවත් Full blood count පරීක්ෂණය කරනවා. එහිදී යම් අනුමානයක් ගොඩනගා ගැනීමට හැකිවන අතර එයින් අනතුරුව මී උණ බවට තහවුරු කරගැනීම සඳහා වූ රුධිර පරීක්ෂණ සිදුකරනවා.
රෝගයෙන් ආරක්ෂා වීමට
- කුඹුරු අවට පිරිසිදුව තබාගැනීම.
- වගාබිම් හි අවදානම් සහිත කටයුතුවල යෙදෙන විට අත් හා පා ආවරණ පැළඳීම.
- ජලය රැඳී ඇති ස්ථානවල ජලය බැසීමට සැලසීම.
- කුඹුරු මෙන්ම වතුරු පිරී ඇති ස්ථානවලින් අත් පා මුහුණ සේදීමෙන් වළකින්න.
- නෑමට සහ බීමට ජලය ලබාගන්නා ළිං සඳහා සත්ව මල මුත්‍රා ඇතුළුවීමට නොදී ඒවා ආරක්ෂිතව තබාගැනීමට ආරක්ෂිත බැම්මක් යොදාගැනීම.
- කසල කලමනාකරණය මගින් නිවස සහ අවට පිරිසිදුව තබන්න.
- කුඹුරු, වගුරු බිම් ආශ්‍රිතව වැඩ කටයුතුවල නිරත වන්නේ නම් වැඩ ආරම්භ කිරීමට සතියකට පෙරාතුව Doxycycline 200mg ඖෂධය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී හෝ ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක හමුවී ලබාගන්න.
මෙම ඖෂධ ඔබට මහජන සෞඛ්‍ය පරීක්ෂකගෙන් නොමිලයේ ලබාගත හැක. සතියකට පෙරාතුව ඖෂධ ආරම්භ කරන අතරම ඔබ අදාළ කටයුතු කරන කාලයේදීත් මෙම ඖෂධ ලබාගැනීම ඉතාම වැදගත්. එහෙත් ඔබ මෙම ඖෂධ ලබාගන්නවා නම් හිතුමතයේ ලබාගැනීම සුදුසු නැත. ෆාමසිවලින් ලබාගෙන පාවිච්චි කිරීමත් අනතුරුදායකයි. ඇතැම් විට ඔබ මෙම ඖෂධය ලබාගැනීමෙන් විවිධ සංකුලතාවයන්ට පත්වීමට ඉඩ තිබෙනවා. ඒ නිසාම සුදුසුකම් ලත් වෛද්‍ය උපදෙස් අනුව මෙම ඖෂධ භාවිත කිරීම ඉතාම වැදගත් බැව් අමතක නොකරන්න.
Doxycycline නුසුදුසු පුද්ගලයන් සිටිනවා
■ වයස අවුරුදු 12 ට අඩු දරුවන්
■ ගර්භණී මවව්රු
■ මව්කිරි දෙන මව්වරු
■ පූර්ව ආසාත්මිකතාවයන් සහිත පුද්ගලයන් වැසි කාලයෙන් පසුව මී උණ ඇතුළු විවිධ වසංගත රෝග පැතිරීමේ යම් සම්භාවිතාවක් තිබෙනවා. මෙම රෝග නිවාරණය වෙනුවෙන් ඔබේ දැනුවත් බව ඉතාම වැදගත්. ඒ නිසා ඔබට හෝ පවුලේ කෙනෙකුට උණ තත්ත්වයක් ඇති වූ විට එය මී උණ නොවන්නට පුළුවන් නමුත් යම් ලෙසකින් එය මී උණ වුණොත් ඔබේ ප්‍රමාදය නිසාම රෝග සංකුලතාවන් තීව්ර වීම නිසා ජීවිතයට පවා අවදානමක් ඇති බවද අමතක නොකළ යුතුයි.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️