කොන්දේ ඇදය එහෙම නැත්නම් පැති කුදය සම්බන්ධව කතාකරන විට එහි ඉතිහාසය දීර්ඝ අතීතයකට අයිතියි. බටහිර වෛද්‍ය විද්‍යාවේ පැරණි භාෂාවක් වන ග්‍රීක භාෂාවට අනුව Orathos යන වචනය සෘජු යන්න අදහස් කරනවා. Paidion යනු ළමයා කියන තේරුමයි. ඒ වචන දෙක එකතු වී Orathopaedics යන වචනයෙන් සෘජු ළමයා එහෙම නැත්නම් කොන්ද ඇද ළමයින්ව සෘජු කිරීම අදහස් කරනවා. පැති කුදය කුඩා දරුවන් අතර වගේම නව යොවුන් කාලයේ පසුවන දරුවන් අතර විශේෂයෙන් දක්නට ලැබෙනවා. ඒ වගේම ගැහැනු දරුවන් අතර වැඩියෙන් දක්නට ලැබෙන තත්ත්වයක්. කොන්ද ප්‍රදේශයේ ඇතිවන මේ ඇද තත්ත්වය ‘පැතිකුදය’ යනුවෙන් හැඳින්වෙනවා. මේ තත්ත්වය ඉතාම ක්‍රමයෙන් වර්ධනය වෙන එකක්. කොන්දේ ඇතිවන මෙම පැති කුදය ශල්‍යකර්මයන් මගින් නැවත සකස් කරන්න පුළුවන්. නමුත් අති බහුතරයක් සඳහා ශල්‍යකර්ම අවශ්‍ය වන්නේ නැහැ.
ශල්‍යකර්මයක් සිදුකිරීමට අවශ්‍ය නොවන අවස්ථා
පැති කුදයක් තිබුණ පමණින්ම ශල්‍යකර්මයක් වෙනුවෙන් යොමුකරන්නේ නැහැ. මෙම ඇදය නිසා ඒ පුද්ගලයාගේ ජීවිතයේ ගුණාත්මක බව පවත්වා ගැනීමට බාධාවක් නැත්නම් එවැනි අවස්ථාවන්හිදී ශල්‍යකර්මයන් කිරීම අවශ්‍ය නැහැ. මෙහිදී කුදයේ ඇදය අංශක 10 සිට 15 අතර නම් එය සරල ඇදයක් ලෙසින් සලකනවා. නමුත් මේ ඇදය අංශක 15 කට වඩා වැඩි නම් එය සංකීර්ණ ඇදයක් ලෙසින් හැඳින්වෙනවා.
තවම හේතු හඳුනාගෙන නැහැ
පැති කුදයට නිශ්චිත හේතුවක් තවම හඳුනාගෙන නැතැත් ඒ වෙනුවෙන් බලපාන යම් යම් හේතුන් තිබෙනවා.
- ජානගත හේතු
- සමහර රෝග -(උදාහරණ නියුරෝෆයිබ්රෝසිස් (Neorofibrosis) වැනි)
- ස්නායු ආශ්රිත ගැටලු (උදාහරණ මයලොමෙනින්හොසිල් (Myelomeningocele) වැනි )
- පිළිකා රෝග
- අස්ථි ආශ්රිත ආබාධ -(උදාහරණ ඔස්ටියෝපොරෝසිස් හා වයසත් සමග ඇතිවන වෙනස්කම්)
- එක කකුලක් දිගින් අඩුවීම
කොන්දේ ඇදයක් තිබුණොත් ඇතිවන අපහසුතාවන් මොනවාද?
- කොන්දේ ඇදය නිසා ඇතිවන වේදනාව
- ස්නායු තදවීම, සුෂුම්නාව සහ පර්යන්ත ස්නායු තදවීම නිසා අතපය හිරිවැටීම. ඉතාම කලාතුරකින් උග්‍ර මටට්මක පවතින ඇදය නිසා කොන්දෙන් පහළ ප්‍රදේශය පණ නැතිවීම හෙවත් අංශභාග තත්ත්වය ඇතිවිය හැක.
- කාන්තාවකගේ නම් දරු ප්‍රසූතියේදී අපහසුතාවන් ඇතිවීම.
- පෙනහලු ආශ්‍රිතව ඇතිවන ගැටලු. (උර කුහර ප්‍රදේශයේ ඇති ඇදය නිසා ශ්වසන අපහසුතාව, හතිය ඇතිවීම.)
- Neurofibroma වැනි විවිධ රෝග සමග සම්බන්ධ සහලක්ෂණයක් වීම.
පැති කුදය යම් පුද්ගලයකුගේ බාහිර රූපයේ ලස්සනට බලපෑමක් සිදුකරනවා.
පැති කුදය නිසා කොන්දේ සමබරතාවට බාධාවක් ඇතිවනවා. ඒ නිසා ඇඳුමක් අඳින විට එහි හැඩය පවත්වා ගැනීම අපහසුයි. උකුල, උරහිස සහ ඉළ ඇට ආශ්‍රිතව ඇතිවන ප්‍රශ්න නිසා ඇඳුමකින් වුණත් හැඩය පවත්වා ගැනීම අපහසුයි.ඒ වගේම ඇවිදින විටත් කකුල්වල කොර ගැසීමක් ඇතිවනවා.
පැති කුදය වෙනුවෙන් සිදුකරන ප්‍රතිකාර
පැති කුදය වෙනුවෙන් ප්‍රතිකාර කිරීමේදී එහි ඇදය අංශක 45 ට වඩා වැඩි නම් මෙම ඇදය සකස් කිරීමට ශල්‍යකර්මයක් අවශ්‍ය වනවා. කොන්දේ ඇදය අංශක 15- 30 අතර නම් භෞත චිකිත්සක ප්‍රතිකාර ලබාදෙනවා. මේ වෙනුවෙන් ලබාගන්නා එක්ස්රේ පරික්ෂණ මගින් කොන්දේ ඇදය අංශක කීයද? මෙම ඇදය නම්‍යශීලිද වැනි කරුණු සලකා බලනවා. ඒ වගේම කොන්දේ ඇදයට ජැකට් එකක් දැමීමෙන් නිවැරදි කිරීමක් කරන්න පුළුවන්.
ජැකට් එකක් භාවිතයෙන් ප්‍රතිකාර ලබාදෙන විට රෝගියකුගේ කොන්දෙ ඇද තත්ත්වයක් පවතී නම් ලබාදෙන ප්‍රතිකාරවලදී Jacket එකකින් ඒ ඇදය සකස් කිරීම සිදුකරන්න පුළුවන්. මෙම ජැකට් එක දිගටම අඳින්න අවශ්‍යයි. සමහර විට මාස තුනක් වැනි කාලයක් තුළ මේ ජැකට් එක ඇඳීමෙන් කොන්දේ ඇදය නැවත සකස් කරන්න පුළුවන්. භෞත චිකිත්සක ක්‍රම මගින් මෙම ප්‍රතිකාරයට සහයක් ලබාගැනීමට හැකියාවක් තිබෙනවා.
ශල්‍යකර්මයක් මගින් කොන්දේ ඇදය සකස් කරන විට…
කොන්දේ තිබෙන ඇදය උග්‍ර නම් ශල්‍යකර්මයකින් ඒ ඇදය නිවැරදි කිරීම සිදුවනවා. මෙම ශල්‍යකර්මයෙන් පසුව සති කීපයක් තුළ රෝගියා නැවත යථා තත්ත්වයට පත්වනවා. කුඩා දරුවකුගේ නම් ශල්‍යකර්මයට වඩා ජැකට් සහ භෞත චිකිත්සක ප්‍රතිකාර මගින් කොන්දේ ඇදය සකස් කරන්න පුළුවන්. නමුත් දරුවාගේ පෙනහලුවල වර්ධනය අඩුවන මට්ටමට කොන්දේ ඇදය ඇත්නම් ශල්‍යකර්මයක් මගින් සකස් කිරීම සිදුවනවා.ශල්‍යකර්මයෙන් පසුව රෝගියාට සාමාන්‍ය පරිදි කටයුතු කරන්න පුළුවන්. නමුත් පමණට වඩා බරක් ඉසිලීම වැනි කටයුතු මාස තුනක් හතරක් යන තෙක් කිරීම සුදුසු නැහැ.. ඒ හැර සාමාන්‍ය පරිදි කටයුතු කිරීමට බාධාවක් නැහැ.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️