මේ උත්සව කාලයක්. ඒ නිසාම අපේ ජීවන රටාවේ ආහාරපාන පිළිබඳවත් යම් යම් වෙනස්කම් සිදුවනවා. නමුත් බොහෝ විට අපට කට මට්ටු කරගැනීම අපහසුයි. ඒත් ජීවිතයේ ගුණාත්මක බව පවත්වා ගැනීමට නම් අපේ නීරෝගි බව පවත්වා ගැනීම ඉතාම වැදගත්. උත්සව කාලයේදී දිව පිනවීම නිසා අපේ සෞඛ්‍ය තත්ත්වයට බලපෑමක් ඇතිවන්න ඉඩ තිබෙනවා. එහෙම නම් උත්සව කාලයේදී අපේ ආහාර පුරුදු පවත්වා ගතයුත්තේ කොහොමද?
හෘද රෝග සම්බන්ධයෙන් කතාකරන විට අපි හෘදයාබාධයක් හැදුණාට පසුව ආහාර ගැන සිතනවාට වඩා වැදගත් දෙයක් තිබෙනවා. ඇත්තටම අපි හෘදයාබාධයක් එහෙම නැත්නම් හෘද රෝග තත්ත්වයක් ඇති නොවන විදිහට අපේ ආහාර රටාව සකස් කරගැනීම ඉතාම වැදගත්. ආහාර සහ සෞඛ්‍යය ගැන කතාකරන විට සීනි හා පිටි, තෙල්, මේදය, කොලෙස්ටරෝල් සහ ලුණු වැඩි වශයෙන් ආහාරයට එක්කර ගැනීම සුදුසු නැහැ. කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩි වුණාම ඒවා රුධිර නාළවල තැන්පත් වී, ඇතිවන අවහිරතාව නිසා හෘදයාබාධ, ආඝාත (Stroke) තත්ත්වය ඇතිවන්න පුළුවන්. ඒ වගේම ආහාර සකස් කිරීමේදී අධික ලෙසින් ලුණු එකතු වීම නිසා අධි රුධිර පීඩනය ඇතිවනවා. මේ විදිහට බොහෝ බෝ නොවන රෝග සඳහා හේතු කාරක වන මෙම සංඝටක තුන, ීධී යනුවෙන් හැඳින්වෙනවා.
S – සීනි O – තෙල් S- ලුණු
හෘද රෝගයක් ඇතිවීමට අවදානම් සාධක කීපයක් තිබෙනවා
- දියවැඩියාව.
- කොලෙස්ටරෝල් සාන්ද්‍රණය ඉහළ යෑම.
- ජානගත සම්බන්ධතාව.
- දුම්පානය.
ඉහතින් දක්වන ලද අවදානම් සාධක අතරින් ජානගත සම්බන්ධතාව අපට පාලනය කරන්න බැහැ. නමුත් එවැනි අවස්ථාවක වුණත් තමන්ගේ පරම්පරාව තුළ හෘදයාබාධ පිළිබඳ ඉතිහාසයක් ඇත්නම් එවැනි පුද්ගලයන් තමන්ගේ කොලෙස්ටරෝල් මටට්ම මැනගෙන එය යහපත් අගයක පවත්වා ගැනීමට කටයුතු කිරීම වගේම අධි රුධිර පීඩන තත්ත්වයෙන් ආරක්ෂාව ලබාගත හැකි පරිදි හොඳින් ව්‍යායාමයන්හි යෙදීම, ක්‍රියාශීලි ජීවිත රටාවකට යොමුවීම ඉතාම වැදගත්.
ආහාර නිසා දියවැඩියාව සහ කොලෙස්ටරෝල් සාන්ද්‍රණයේ ඉහළ යෑමක් දකින්න ලැබෙනවා. ඒ නිසා මෙම ආහාර පිළිබඳව වූ සීමාවන් ඔබ විසින් ඔබටම පනවා ගැනීමට පුළුවන්.ආහාර ගැන කතාකරනවා නම් උත්සව කාලයක කන්න එපා කියන තහංචිය පැනවීමට වඩා ඔබ විසින්ම අහිතකර ආහාර වෙනුවෙන් ස්වයං සීමාවන් පනවා ගැනීම වැදගත්. මෙවැනි අවස්ථාවක සීනි, තෙල් සම්පූර්ණයෙන්ම ආහාරයට ගැනීමට එපා කියන්නේ නැහැ. නමුත් ඔබට ඒ පිළිබඳව යම් යම් සීමාවන් පනවා ගැනීමට පුළුවන්.
ඔබගේ ආහාර ප්‍රමාණය ගැන සැලකිලිමත් වන්න
ඔබ බත් ආහාරයට ගන්නවා නම් බත් අඬු කොප්පයක් ඇති. ඒ අතරම එළවළු, පළා වර්ග, සෝයා, මාළු, සලාද වර්ග වැඩි වශයෙන් එකතු කරගන්න. එය ඔබට හොඳින් කුස පිරෙන ආහාර වේලක් විය හැකියි.පිටිවලින් සකස් කරන ආහාර, සීනි බවට පත්වනවා. එය දියවැඩියා තත්ත්වයට හේතු වීමට පුළුවන්. ඒ නිසා ඔබ පිටිවලින් සකස් කරන ආහාරයක් සමග එළවළු, පරිප්පු, මාළු වැඩි පංගුවකින් එක්කර ගන්න.
අහිතකර ආහාර අඩුකරන්න
උත්සව සමයේදී යැයි වෙනසක් නොකර අහිතකර ආහාර පරිභෝජනය අඩු කරන්න. ලුණු පරිභෝජනයේදී සම්මත මාත්‍රව දිනකට තේ හැන්දක් වැනි ප්‍රමාණයක්. උත්සව කාලයේදී වුණත් ඔබට මේ සීමාව අනුව කටයුතු කිරිමට කිසිදු බාධවක් නැහැ. අධික ලෙසින් ලුණු දවටන ලද ආහාර අවශ්‍ය නැහැ. ටින් කරන ලද පලතුරුවල සෝඩියම් පැණි රස දියරයේ අධික සීනි තිබෙනවා.
ව්‍යංජනයක් පිළියෙළ කිරීමේදී ලුණු අඩුවෙන් එකතු කිරීමට අමතරව ඔබ විසින් මේ ගැනත් අවධානය යොමු කරන්න. ලුණුවලින් ලැබෙන රසය සඳහා කුළුබඩු එක් කරන්න. ලෝකයේ වෙනත් රටවලට සාපෙක්ෂව අපේ රටේ ලුණු පරිභෝජනය වැඩියි. මේ තත්ත්වය බෝ නොවන රෝග ඇතිවීමට බලපානවා.
තෙල් පාවිච්චි කිරීමේදී ගැඹුරු තෙලින් බදින ලද මස් වර්ගවල සංතෘප්ත මේදය ඉහළයි. ඒ නිසා ඔබේ කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑමේ අවදානමක් තිබෙනවා. සිරුරේ ක්‍රියාකාරීත්වයට මේද අවශ්‍ය වුණත් අධික මේදය තරබාරුව, හෘදයාබාධ ඇතිවීමට හේතුවනවා. ඒ නිසා යහපත් හෙවත් අසංතෘප්ත මේද ආහාරයට එකතු කරගන්න. එළවළු සහ මාළු වර්ග මගින් අසංතෘප්ත මේද උපයාගන්නා අතර එය සිරුරේ අහිතකර කොලෙස්ටරෝල් ( LDL) ප්‍රතිශතය අඩුකරනු ඇත.
සීනි ආහාර, උත්සව සමයේදී ඔබට මග හැරීමට අපහසු බව ඇත්ත. නමුත් ඒ වෙනුවෙන්ද ඔබට සීමාවක් තබාගත හැකියි. අයිස්ක්‍රීම්, වටලප්පන්, පුඩිං වර්ග, චොකලට් කියන මෙවැනි අධික ලෙස සීනි යෙදූ ආහාර අතරින් යම් මාත්‍රාවක අතුරුපසක් ආහාරයට ගැනීම සුදුසුයි.
ඔබේ නිවසේ අධි රුධිර පීඩනයෙන් පසුවන අයකු, එහෙමත් නැත්නම් හෘද රෝගියකු සිටිනවා විය හැක. ඔබ ඒ සාමාජිකයාගේ ආහාර වේල සකස් කිරීමේදී වැඩි උනන්දුවක් දක්වනු ඇත. ඒ අය වෙනුවෙන් නුසුදුසු යැයි සිතන සීනි, තෙල්, ලුණු වෙනුවෙන් සීමාවන් පනවා ඇත.
නමුත් මේ ගැනත් සිතන්න අවශ්‍යයි. ඔබේ පවුලේ අයෙකු යනු සමහර විට ලේ ඥාතියකු විය හැකියි. එකම පවුලක සාමාජිකයෙක් හෘදයාබාධ හෝ දියවැඩියා රෝග තත්ත්වයට පත්ව ඇත්තේ නම් එයින් අදහස් වන්නේ ඔබේ පවුලේ සෙසු සාමාජිකයන්ටත් හදවත් රෝග සම්බන්ධයෙන් ජානගත සම්බන්ධතාවයක් ඇති බවට වූ අනතුරු ඇඟවීමක්.ඒ නිසා ආහාර පිළියෙළ කිරීමේදී ඒ අයට සකස් කරන ආහාරය, ඔබේ උත්සවයේ ආහාර වෙනුවෙන්ද යොදාගත හැකි සේ පිළියෙළ කරන්න.
හදවත් රෝග වෙනුවෙන් දැන් වයසක් නැත. මීට දශක කීපයකට පෙරාතුව හෘදයාබාධයන්ට ගොදුරු වුණ රෝගීන් වයස අවුරුදු 50 ඉක්මවන ලද රෝගීන් වුණත් අද වනවිට වයස 25 ඉක්මවු තරුණ අය අතරත් හෘදයාබාධ සහ හෘද රෝග සංකුලතාවන් වාර්තා වනවා. අවුරුදු 35 ටත් අඩු පුද්ගලයන් පවා හෘදයාබාධයන් නිසා මරණයට පත්වනවා. ඒ විතරක් නොවෙයි, ස්ටෙන්ට් ප්‍රතිකාර, බයිපාස් සැත්කම් සිදුකරන ලද තරුණ රෝගීන් සිටිනවා.
දුම්පානය හෘදයාබාධ සඳහා හේතු වන බවට නිරන්තරව සමාජය දැනුවත් කරනවා. දුම්පානය නිසා හෘදයේ ගැස්ම මෙන්ම ධමනීන් අවහිර වීම නිසා හෘදය වස්තුව ආශ්රිත සංකුලතාවන් ඇතිවනවා. නමුත් උත්සව කාලයේදී දුම්වැටි සහ මත්පැන් වෙනුවෙන් බොහෝ දෙනෙකුගේ වැඩි නැඹුරුතාවක් තියෙනවා.
මද්‍යසාර වගේම මද්‍යසාර අන්තර්ගත ඇතැම් ඖෂධ නිසා අක්මාව රෝගී වීම හෙවත් සිරෝසිස් තත්ත්වය ඇතිවන බැව් කවුරුත් දන්නා කරුණක්. මද්‍යසාර නිසා ඇතිවන ‘සිරෝසිස්’ රෝග තත්ත්වය අද වනවිට ලෝකයේ ප්‍රධාන සෞඛ්‍ය ප්‍රශ්නවලින් එකක් බවට පත්ව තිබෙනවා. ඒ නිසා උත්සව කාලයේදී මද්‍යසාර සහ දුම්වැටි භාවිතය හේතුවෙන් පුද්ගලයකුගේ සෞඛ්‍ය තත්ත්වය පිරිහීමට වැඩි ඉඩක් තිබෙන බව කිව යුතුයි.
එසේ නම් උත්සවයක් යනු කැලැන්ඩරයේ එක් දිනයක් පමණි. නමුත් ඒ එක් දිනයේදී ඔබ විසින් සීමාවන් නොමැතිව ආහාර පාන, දුම්වැටි, මද්‍යසාර භාවිතයේ යෙදෙමින් අනුගමනය කරන වැරදි පුරුදු නිසා ඔබේ සෞඛ්‍ය තත්ත්වය ඔබ විසින්ම අයහපත් තත්ත්වයකට පත්කර ගන්නා බැව් කිව යුතුය. ඒ නිසා නිතරම ඔබේ ආහාරපාන ගැන සැලකිලිමත් වෙන්න.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️