ෆැටි ලිවර් තත්ත්වය අද වනවිට ලෝකයේ ප්‍රධාන සෞඛ්‍ය ගැටලුවක් බවට පත්වෙමින් තිබෙනවා. ලංකාවේ ජනගහනයෙන් 1/3 ක් පමණ මේ තත්ත්වයෙන් පෙළෙන බවත් බහුතරයක් දෙනා රෝග ලක්ෂණ නොපෙන්වන නිසා දීර්ඝ කාලීන අක්මා හානිවලට ගොදුරු වන බවත් ඔබ දැන සිටියාද?
මොකක්ද මේ ෆැටි ලිවර් (Fatty liver disease)
ආහාරවලින් අපේ ශරීරයට අවශ්‍ය ශක්තිය ලැබෙනවා. මේ විදිහට ලබාගන්නා ආහාර ආහාර ජීරණ පද්ධතිය තුළදී ජීරණය වෙලා පෝෂක විදිහට ශරීරයට උරා ගන්නවා. කාබෝහයිඩ්රේට අඩංගු ආහාර ග්ලූකෝස් බවට පත්වනවා. ප්‍රෝටීන, ඇමයිනෝ අම්ල බවටත්, මේදය මේද අම්ල බවටත් පත්වෙලා ශරීරයට උරා ගන්නවා.
ශරීරයේ පරිවෘත්තිය (Metabolism) ක්‍රියාව ගැන කතාකළොත්?
අපේ ශරීරයේ එදිනෙදා සාමාන්‍ය කටයුතු කිරීමට සහ මෙම කටයුතු ශරීරය තුළ පවත්වා ගෙන යෑමට ශක්තිය අවශ්‍ය වනවා. අපේ ශරීරයට අවශ්‍ය ශක්තිය නිපදවීමට ප්‍රධාන වශයෙන් ග්ලූකෝස් අවශ්‍ය වෙනවා. මෙම ග්ලූකෝස් ග්ලයිකොජන් විදිහට තාවකාලික ලෙසින් ගබඩා වෙනවා.
අපේ ශරීරයට අවශ්‍ය මේ ශක්තිය කැලරිවලින් මනිනවා. පුද්ගලයකුට අවශ්‍ය කැලරි ප්‍රමාණය පුද්ගලයාගේ වයස අනුව, ස්ත්රීි පුරුෂ බව අනුව වෙනස් වෙනවා. අපට දිනකට අවශ්‍ය කැලරි ප්‍රමාණයට වඩා වැඩි ප්‍රමාණයකින් කැලරි ආහාරයට ගත්විට ඒවා දිගුකාලීනව මේදය විදිහට තැන්පත් වෙනවා.මේ මේදය, සමට යටින් තිබෙන මේද ස්ථරයේ වගේම ශරීරයේ තිබෙන අක්මාව, බඩවැල්, අතුණුබහන් වැනි ඉන්ද්රියවලත් තැන්පත් වෙනවා. ඉතින් මේ විදිහට තෙල් තැන්පත් වුණාම අපි ඒකට Fatty liver කියලා කියනවා.
Fatty liver තත්ත්වය වෙනත් රෝගවලට වඩා වෙනස් වෙන්නේ ඇයි?
අක්මාව අපේ ශරීරයට විශාල කාර්යභාරයක් ඉටු කරනවා.Fatty liver නිසා අක්මාවේ ක්‍රියාකාරීත්වය දුර්වලවීම, ජීවිතයේ පැවැත්මටත් තර්ජනයක්.
අක්මාවේ කාර්යභාරය කුමක්ද?
■ විෂහරණය
අපේ රුධිරයේ අඩංගු විෂ රසායනික ද්‍රව්‍ය බොහොමයක් අක්මාව මගින් ඉවත් කරනවා. පරිවෘත්තිය ක්‍රියා සිදුවීම, ආහාර ජීරණ පද්ධතියේ පෝෂක ද්‍රව්‍ය අවශෝෂණයට දායක වෙනවා.
ප්‍රෝටීන් සංශ්ලේෂණය
ඇල්බියුමින් සහ රුධිර කැටිගැසීමට වැදගත් වන මූලික ප්‍රෝටීන වර්ග නිපදවනවා.
පිත නිෂ්පාදනය
පිත නිෂ්පාදනය කොට එමගින් මේද ජීරණය කිරීම සහ අවශෝෂණයට ආධාර කිරීම.
ගබඩා කිරීම
විටමින්, ඛණිජ සහ ග්ලයිකොජන් ශක්තිය සඳහා ගබඩා කිරීම.
ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලිය
ප්‍රතිශක්තිකරණයට වැදගත් වන සාධක නිපදවා බැක්ටීරියා හා ආසාදනවලට එරෙහිව ක්‍රියාකර ශරීරය ආරක්ෂා කිරීම.
Fatty liver ඇතිවීමට හේතු මොනවාද?
- වැරදි ආහාර පුරුදු.
- ව්‍යායාම මදිකම.
- දියවැඩියාව.
- අධිරුධිර පීඩනය.
- කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යෑම.
- තයිරොයිඩ් ඌනතාව.
- ජානමය ගැටලු.
- මත්පැන් භාවිතය.
Fatty liver රෝග ලක්ෂණ මොනවාද?
- උදරයේ ඉහළ ඇතිවන වේදනාව.
- දීර්ඝ කාලයක් පවතින ගැස්ට්‍රයිටිස් තත්ත්වය.
- නිදිමත ගතිය සහ ශරීරයට දැනෙන වෙහෙස.
ඒ වගේම බහුතරයක් දෙනා රෝග ලක්ෂණ පෙන්වන්නේ නැහැ.
Fatty liver හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණ මොනවාද?
Non invasive Liver Test (NILTS ) ලෙස රුධිර පරීක්ෂණ කීපයක් මගින් මේ තත්ත්වය හඳුනාගැනීමට පුළුවන්.
Fatty liver සඳහා ප්‍රතිකාර තිබෙනවාද?
මූලික වශයෙන් අපේ වැරදි ආහාර පුරුදු නිවැරදි කරගැනීම වැදගත්. අධික පිටි, සීිනි, තෙල් සහිත ආහාර සහ ක්ෂණික ආහාරවලින් ප්‍රවේසම් වීම.දැනට පරීක්ෂණ මගින් හඳුනාගෙන ඇති අන්දමට ඉන වට ප්‍රමාණය එහෙම නැත්නම් අපේ උදරයේ තෙල් තැන්පතුව ඉහළ නම් එය Fatty liver රෝගයට සෘජු ලෙසින්ම බලපානවා. ඒ නිසා ක්‍රියාශීලී වීම වගේම ව්‍යායාම කිරීම වැදගත්.
ඒ වගේම දිනකට සීනි නොයෙදූ කෝපි කෝප්ප 3 – 5 අතර ප්‍රමාණයක් පානය කිරීම මගින් Fatty liver වළක්වා ගතහැකි බවට විද්‍යාත්මකව තහවුරු වී තිබෙනවා.
ජීවන රටාව මගින් Fatty liver තත්ත්වය වෙනස් නොවනවා නම්…
අනිවාර්යෙන්ම වෛද්‍ය උපදෙස් අනුව ඖෂධ ප්‍රතිකාර වෙත යොමුවිය යුතු වෙනවා.
කැඳ වර්ග සහ අත්බේත් Fatty liver සඳහා සාර්ථක විසඳුමක්ද?
අද බොහෝ රෝගීන් දියවැඩියාවට වගේම Fatty liver සඳහා විවිධ ප්‍රතිකාර වෙත යොමු වෙනවා. ඒ වෙනුවෙන් දැන් විවිධ බෙහෙත් කැඳ පවා නිර්දේශ වෙනවා. නමුත් මේ සම්බන්ධයෙන් තවම පර්යේෂණ සිදුවෙලා නැහැ.අද බොහෝ දෙනෙක් Fatty liver රෝග තත්ත්වයට හොඳයි යන විශ්වාසයෙන් හීන්බෝවිටියා කැඳ පානය කරනවා.
නමුත් මම අත්දැකීමෙන් දන්නා දෙයක් තිබෙනවා. හීන්බෝවිටියාවලට කොලෙස්ටරෝල් මට්ටම පාලනය වෙනවා. නමුත් හීන්බොවිටියා පානය කළ Fatty liver රෝගීන්ට එයින් විශේෂ වෙනසක් වෙලා නැහැ.
ඔවුන් වෙනුවෙන් සිදුකරන පරීක්ෂණ අනුව ඒ බව අපට පෙනී ගොස් තිබෙනවා. ඒ වගේම දීර්ඝ කාලයක් භාවිත කිරීම නිසා අක්මාවට හානි වුණ රෝගීන් අපට හමුවනවා.
කොලෙස්ටරෝල් ගිණුම සාමාන්‍යයි
මේ අවස්ථාවත් රෝගීන්ට අවාසි සහගතයි. පරීක්ෂණවලදී කොලෙස්ටරෝල් මටට්ම සාමාන්‍ය බව වාර්තා වුණාම මෙය වෙනත් හේතු නිසා ඇතිවුණ Fatty liver තත්ත්වයක් ලෙස සලකන්න ඉඩ තිබෙනවා. එය රෝගියාට හානියක්.
ඉස්සර අය මේ කැඳ වර්ග බිව්වා නම් අද?
ඔවුන් ගතකළේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක්. ඒ වගේම සෞඛ්‍ය සම්පන්න ආහාර. ඒ කාලයට මේ කැඳ සහ පාන වර්ග ගැළපුණත් අද පවතින්නේ එදාට වඩා හාත්පසින්ම වෙනස් ජීවන රටාවක්. ඒ නිසා අද කාලයට ගැළපෙනවාද යන්න ගැන තව දුරටත් පරීක්ෂණ සිදුවීම අවශ්‍යයි.
රෝගීන්ට ලබාදෙන පණිවිඩයක් තියෙනවා
මෙය සුළුවෙන් සිතිය යුතු රෝග තත්ත්වයක් නොවේ. නමුත් කලින් හඳුනා ගැනීමෙන් රෝගය සුවකර ගැනීමට අවස්ථාවක් තිබෙනවා. රෝග ලක්ෂණ නොමැතිව වුණත් Fatty liver තියෙන්න පුළුවන්.
ඒ නිසා නිසි වෛද්‍ය උපදෙස් සහ වෛද්‍ය පරීක්ෂණ මගින් රෝග තත්ත්වය කල්තබා හඳුනා ගතහොත් අක්මාව හානි වීම වළක්වා ගැනීමට සහ සිරෝසිස් තත්ත්වය දක්වා වර්ධනය වීම වළක්වා ගැනීමටත් හැකියාව තිබෙනවා.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️