අපේ රටට තවම අවදානමක් නෑ
මේ දිනවල චීනයෙන් වාර්තා වන HMPV (Human Metapneomoviris) ගැන අපේ සමාජය තුළත් යම් බියක් ඇති වී තිබෙනවා. මේ තත්ත්වය උතුරු චීනයේ ළමුන් අතර වැඩි වශයෙන් මෙම වෛරස ආසාදනයට පත් රෝගීන් දක්නට ලැබෙන බැව් මාධ්‍ය මගින් සඳහන් කරනවා. මේ ගැන අදහස් දක්වන චීන බලධාරීන් කියා සිටින්නේ මෙම වෛරස ඉන්ෆුලුවන්සා (Influenza) රෙස්යිරේටරි සින්සිටියප් වෛරස (Respiratory Synctial Virus) සහ Human Metapneomoviris) යන හඳුනාගත් සාමාන්‍ය ශ්වසන රෝග වෛරස බැව් සඳහන් කරනවා. ඊට අමතරව මයිකොප්ලාස්මා නිව්මෝනියා (Mycoplasma pneumonia) වැනි බැක්ටීරියා ආශ්රිත රෝග තත්ත්වයන් සහ SARS 2 කොවිඩ් රෝගීන් ගැනත් තවම වාර්තා වනවා.ඉහතින් දක්වන ලද ශ්වසන ආශ්රිත රෝග තත්ත්වයන්ට අමතරව චීනයෙන් ඇති වූ මෙම HMPV වෛරසය අපේ රටටත් යම් බලපෑමක් ඇති කිරීමට ඉඩක් ඇතිද යන සැකයෙන් බොහෝ දෙනා පසුවෙනවා. ඒ නිසාම මේ ගැන විමසීම් වැඩි වී තිබෙනවා.
HMPV වෛරසයෙන් අපට බලපෑමක් නැතිද?
චීනයේ නව ශ්වසන ආසාදන රැල්ල ශීත සෘතුවේදී බහුලව දක්නට ලැබෙන තත්ත්වයක්. මේ වෛරසය අළුත් හඳුනාගැනීමක් නොවෙයි. කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වෛරසය නිසා ශ්වසන ආශ්රිත අපහසුතාවන් ඇතිවීමේ ප්රවනතාවක් තිබෙනවා. නමුත් ඒ තත්ත්වය වසංගත තත්ත්වයක් යැයි බියක් ඇති කරගත යුතු නැහැ.ඒ වගේම මෙම වෛරස තත්ත්වය ඇතිවුණත් එය සාමාන්‍යයෙන් සතියක පමණ කාලයකින් පහව යනවා. ශීිත කාලයේදී මිනිසුන් රෝගකාරකවලට ගොදුරු වීමට වැඩි අවදානමක් තිබෙනවා.
අවදානම් කණ්ඩායම්
HMPV වෛරසය වසංගත තත්ත්වයකට පත්වීමේ අවදාදනමක් නොමැති වුණත් මෙම වෛරසයේ බලපෑම ඇතිවිය හැකි කණ්ඩායමක් සිටිනවා.
■ කුඩා දරුවන්
■ වයස්ගත පුද්ගලයන්
■ දියවැඩියාව, වකුගඩු රෝග, හෘද රෝග සහ පිළිකා වැනි වෙනත් රෝග තත්ත්වයන්ගෙන් පසුවන රෝගීන්
HMPV වෛරසයෙන් ආරක්ෂා වීමට නම්
■ ශ්වසන ස්වස්ථතාවය-අපි හුස්ම ගත්තත් එය පිරිසිදුව සහ නිරෝගී හුස්මක් විය යුතුයි.
කහින සහ කිවිසුම් අරින විට විෂබීජ පැතිරීම වළක්වා ගත හැකි සේ මුඛය සහ නාසය ආවරණය කරගැනීම.
ශ්වසන ඝ්‍රාවයන් හෙවත් සොටු, කැහි ආදිය නිසි ක්‍රමවේදයක් අනුව බැහැර කිරීම.
විෂබීජහරණය
විෂබීජහරණයේදී තත්පර 20 ක කාලයක් සබන් යොදාගෙන අත් සෝදාගැනීිම. මෙය ඉතා වැදගත්.
මුහුණු ආවරණය (Mask)
මෙම ශ්වසන පද්ධතිය ආශ්රිත රෝග ලක්ෂණ ඇති අයකු නම් මුහුණු ආවරණයක් පැළඳීම වඩාත් සුදුසුයි. ඒ වගේම ඔවුන්ගෙන් අනිත් අයට රෝගය සම්ප්‍රේෂණය වීමට ඉඩ තිබෙන නිසා මුව ආවරණයක් පැළඳීම සහ සුවය ලබන තෙක් නිවසට වී සිටීම වැදගත්.
■ නිවසේ අයෙකුට රෝග ලක්ෂණ ඇත්නම් ඔහු භාවිත කරන උපකරණ වෙන් කරතැබීම.
■ අසනීප ගතියක් දැනෙනවා නම් නිවසේ රැඳී සිටීම.
මෙම රෝග තත්ත්වය කල් තබා වළක්වා ගැනීම සඳහා වූ ප්‍රතිවෛරස එන්නතක් තවම හඳුනාගෙන නැහැ.. රෝග ලක්ෂණ වෙනුවෙන් ප්‍රතිකාර ලබාදීම දැනට සිදුවනවා. එහෙත් ගෝලීය වසංගත තත්ත්වයක් ඇති වුණොත් ප්‍රති වෛරස එන්නතක් නිපදවීමට විද්‍යාඥයන්ට හැකියාව තිබෙනවා.
අපේ රටට HMPV තර්ජනයක් තිබෙනවාද?
ශ්‍රී ලංකාව තුළ HMPV අවදානමක් ගැන ගැටලුකාරී තත්ත්වයක් ඇති වී නැහැ. සෞඛ්‍ය බලධාරීන් විසින් මේ පිළිබඳව අවධානයෙන් පසු වෙන අතර මහජන ආරක්ෂාව සහතික කිරීම සඳහා ගෝලීය සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන්ද අඛණ්ඩ අධීක්ෂණ සිදුවෙමින් පවතිනවා. ඒ වගේම යම් ලෙසකින් රෝග තත්ත්වය ගැන සැකයක් ඇති වුණොත් ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අංශයේ අදාළ පරීක්ෂණ වෙනුවෙන් PCR කට්ටල මේ වෙන විටත් සූදාමින් තිබෙනවා. ඒ නිසා චීනයේ පැතිරෙන වෛරසය ගැන අනියත බියක් ඇති කරගත යුතු නැහැ.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️