අතීතයේදී එක ගල්කූර දෙකට කඩාගෙන අකුරු කරපු කාලයක් තිබුණා. නමුත් කාලයත් සමග පාසල් අධ්‍යාපනයේදී ගල්ලෑල්ල සහ ගල්කූර අභාවයට ගියා. තාක්ෂණයත් සමග අප එකතැන නැවතිය යුතු නැහැ. අපේ වැඩ පහසු කරන මෙවලම් ක්‍රම සමාජයට හඳුන්වා දීමේදී අපි ඒ රටාවට අනුගතවීම අපේ කැමැත්තෙන් හෝ අකමැත්තෙන් අනිවාර්යෙන්ම සිදුවෙන්නක්. ගල්ලෑලි, ගල්කූරු පංතියෙන් බැහැර වුණත් අද වෙන තෙක්ම මෙම උපකරණවලින් දරුවන්ට හානියක් වූ බව අපි අහලා නැහැ.නමුත් පැන්සල නිසා අපේ ළමා පරම්පරාව නිදන්ගත රෝගීන්ගේ තත්ත්වයට පත්වීමේ යම් අවදානමක් තිබෙනවා. ඒ නිසා දරුවකුට පැන්සල් වැනි පාසල් උපකරණ තෝරාගැනීමේදී මව්පියන්ගේ අවධානය යොමුවිය යුතු කරුණු කීපයක් තිබෙනවා…
පැන්සලක ආකෘතිය
පැන්සල ඇතුළත මිනිරන් කූරකින් යුක්තයි. මෙම මිනිරන් කූර පිටත ආවරණයකින් ආවරණය වෙලා තිබෙනවා. මෙම ආවරණය ඉතා ආකර්ශණීය ලෙසින් වර්ණ ගල්වා තිබෙනවා.
පිටතින් ඇති වර්ණ අනතුරුදායකයි
පිටතින් ආලේප කරන ලද වර්ණයක් අනතුරු දායක වුණත් එයින් දරුවන්ට බලපෑමක් ඇති වෙන්නේ කොහොමද කියල දැන් ඔබට හිතෙයි. දරුවන් පමණක් නොව අද වැඩිහිටි සමාජය පවා පැන්සලක පිටතින් ආලේප කර තිබෙන වර්ණයන්හි අන්තර්ගත ඊයම් (Led), කැඩ්මියම් සහ ආසනික් අවදානම ගැන දන්නේ නැහැ.
දරුවන් බොහෝ විට පැන්සල කටේ රඳවා ගෙන සිටිනවා. ඒ වගේම හපනවා. සමහර දරුවන්ගේ පැන්සලෙන් කොටසක්ම සැපීම නිසා නැතිවෙලා තිබෙනවා. පැන්සලක උල කැඩණාම දරුවා එය හපනවා.
ඒ දරුවන්ගෙ ස්වභාවය වුණත් මේ විදිහට පැන්සල හපන විට එහි ආලේපිත වර්ණයන්හි අන්තර්ගත බැර ලෝහ දරුවාගේ ශරීරයට ඇතුළු වෙනවා. තීන්තවල අන්තර්ගත ඊයම් (Led), කැඩ්මියම් සහ ආසනික් වැනි රසායනයන් දරුවන්ගේ අත, මුඛය ආදිය සමග ගැටී විෂ සංයෝග ශරීරගත වීමට පුළුවන්. එසේ ශරීරගත වෙන බැරලෝහ නිසා දරුවන්ට විවිධ රෝග තත්ත්වයන් ඇති වෙන්නත් ඉඩ තිබෙනවා.
බැරලෝහ ශරීරගත වීම නිසා ඇතිවිය හැකි රෝග
● බඩ රිදීම
● වමනය
● හිසරදය
දිගුකාලීනව බැරලෝහවලට නිරාවරණය වුවොත් හෘදයාබාධ සහ නිදන්ගත වකුගඩු රෝග තත්ත්වයන් පවා ඇතිවීමට ඉඩ තිබෙනවා.මිනිරන් පැන්සල් සම්බන්ධයෙන් පමණක් නොව වර්ණ (Coloured) පැන්සල් සම්බන්ධයෙනුත් මේ තත්ත්වය ඇතිවනවා. සමහර දරුවන්ගේ මලපහවල පවා පාට පැන්සල්වල කැබැලි දකින්න ලැබී තිබෙන බවට දෙමව්පියන් සඳහන් කරනවා.
හොඳ පැන්සලක් හඳුනාගන්නේ කොහොමද?
වෙළෙඳපොළ තිබෙන පැන්සල්වල වර්ණ නිසා දරුවන් රෝගීන් බවට පත්වුණත් පන්ති කාමරයේදී දරුවාට පැන්සලක් නැතුවම බැහැ. එහෙම නම් මව්පියන් විදිහට දරුවාට සුදුසු පැන්සලක් තෝරා ගන්නේ කොහොමද?EN-71-3 යනු සෞඛ්යාරක්ෂිත වර්ණ සඳහා ලබා දී තිබෙන ජාත්‍යන්තර තත්ත්ව සහතිකයක්. සෞඛ්යාරක්ෂිත වර්ණ ගැන්වූ පැන්සලක EN-71-3 සටහන් වෙලා තිබෙනවා.
මෙම EN-71-3 සහතිකය මගින් එම පැන්සල බැර ලෝහ වර්ග 19 ක් නොමැති සෞඛ්යාරක්ෂිත පැන්සලක් බවට සහතික වීමක් සිදුකරනවා. ඒ නිසා දරුවන්ට පැන්සලක් මිලට ගැනීමේදී එහි මිලට සහ බාහිර ආකර්ශනයට වඩා දරුවාගේ ආරක්ෂාව ගැන සලකා නිසි ප්‍රමිතියෙන් යුක්ත පැන්සලක් මිලදී ගැනීම ඉතා වැදගත්.
අලුත් පාසල් වාරයේ පැන්සල් වගේම වෙනත් පාසල් උපකරණ මිලට ගැනීමේදී දෙමව්පියන්ට ලබාදෙන පණිවිඩයක් තිබෙනවාද?
දරුවන් විසින් පරිභෝජනය කරන වතුර බෝතල් අද ප්ලාස්ටික්වලින් නිෂ්පාදනය වී තිබෙනවා.1988 වසරේදී සිදුකරන ලද ප්ලාස්ටික් වර්ගීකරණයට අනුව 1-6 දක්වා වර්ග හයක් හඳුුනා ගත් අතර එයින් පසුව 7 ලෙසින්ද තවත් බෙදීමක් සිදුවුණා. මෙහිදී 3-6-7 සෞඛ්‍යට නුසුදුසු බව පිළිගැනුණ අතර සෙසු වර්ග පාවිච්චියට සුදුසු බව නිර්දේශ වුණා.
බෝතලයක් මිලට ගැනීමේදී බාහිර ආකර්ශනය නොව ඒ බෝතලය යටි පැත්තේ ඇති ත්‍රිකෝණයක සටහන් කර තිබෙන අංකය ගැන බලන්න. ඒ ගැන දැනුවත් වීමත් වැදගත්. සෞඛ්යාරක්ෂිත ප්ලාස්ටික් බෝතල් මිලට ගැනීමේදී ඉහත දක්වා ඇති 1-2-4-5 අංක වඩාත් සුදුසු බව යෝජනා කරනවා. එයිනුත් නැවත නැවත පාවිච්චියට වතුර බෝතලයක් හෝ ආහාර අසුරණයක් තෝරා ගනිද්දී අංක 5 යටතේ ඇති භාණ්ඩ තෝරා ගැනීමට යොමුවීම සුදුසුයි.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️