අපේ රෝහල්වල බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ලබාගැනීමට පැමිණෙන ළමයින්ගෙන් වැඩිම පිරිසක් වගේම රෝහල්ගතව ප්‍රතිකාර ලබාගන්නා ළමයින්ගෙන් වැඩිම පිරිසක් ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝගවලින් පීඩා විඳින ළමයින් බව අපට පැහැදිලිව දක්නට ලැබෙනවා. ඒ අතරිනුත් වැඩි පිරිසක් ඉහළ ශ්වසන මාර්ගය ආශ්‍රිතව ඇතිවන ආසාදන නිසා ආ අය වීමත් විශේෂයි.
ඉහළ හා පහළ ශ්වසන මාර්ගය
ඉහළ ශ්වසන මාර්ගයට නාසය, නාස් කුහරය, උගුර අයත් වෙනවා. පහළ ශ්වසන මාර්ගයට අයත් අවයව ලෙස ස්වාසනාලය, ස්වාසනාලිකා සහ පෙනහලු දැක්වීමට පුළුවන්.බොහෝ මව්වරු තම දරුවා රැගෙන ඇවිත් දරුවාට කැස්ස ඇති බව කියනවා. කැස්ස කියන්නේ රෝග ලක්ෂණයක් මිස, රෝගයක් නොවේ. ශ්වසන මාර්ගයේ ඉහළ වගේම පහළ කොටසේ ඇතිවන ආසාදනවල ලක්ෂණයක් ලෙස කැස්ස ඇතිවෙනවා. ක්ෂය රෝගය, නිව්මෝනියාව සහ ඇදුම වැනි රෝගවලදී රෝග ලක්ෂණයක් විදිහටත් කැස්ස ඇතිවෙනවා.
කැස්ස විවිධ විදිහට ඇතිවනවා
සමහර විට කැස්ස සමග සෙම පිටවෙනවා. ඒ වගේම කැස්ස පමණින් සෙම පිට නොවන්නත් පුළුවන්. සෙම කහ හෝ සුදු පැහැයෙන් යුක්ත විය හැකි අතර සමහර විට කැස්ස සමග ලේ පිට වෙන්නත් පුළුවන්. සමහර විට දවල් කාලයේදී පමණක් දරුවා කහින්න පුළුවන්. රාත්‍රි කාලයේදී පමණක් දරුවා කහිනවා නම් එය ඇදුම රෝගය නිසා ඇතිවුණ කැස්සක් වීමටත් පුළුවන්.
කැස්ස සමග උණ තිබෙනවා නම් ඒ ගැනත් සැලකිළිමත් වීම අවශ්‍යයි.ඒ මන්ද කිවහොත් කැස්ස ඇතිවීමට හේතුව හඳුනාගැනීමට නම් ඉහතින් දක්වන ලද රෝග ලක්ෂණ ගැන සැලකිළිමත් වීම වැදගත්. බරවා විෂබීජ ශරීරගත වූ විටත් රෝග ලක්ෂණ ලෙසින් කැස්ස ඇතිවෙනවා. සමහර දරුවන්ට මද දුරක් දුවන විට කැස්ස ඇතිවෙනවා. මේ අන්දමින් විවිධ විදිහට කැස්ස ඇතිවීමට පුළුවන්. ඒ නිසා දරුවා දෙසතියකට වැඩි කාලයක් කහිනවා නම් වහාම වෛද්‍යවරයකු වෙත රැගෙන යන්න.
විෂබීජ ආසාදනයක් නැති කැස්ස
කැස්ස හැම විටම ඇති වෙන්නේ විෂබීජ ආසාදනයක් නිසාම නොවන්නත් පුළුවන්. දූවිලිවලට නිරාවරණය වීම, වැඩිහිටියන් දුම් පානය කරන විට එම දුම දරුවාට ආඝ්‍රාණය වීම කැස්ස ඇතිවීමට හේතුවක් විය හැකියි. දරුවන්ගේශ්වසන මාර්ගයේ හටගන්නා රෝග ගණනාවකට වැඩිහිටියන්ගේ දුම්පානය හේතු වෙන බැව් පැහැදිළිව හඳුනාගෙන තිබෙනවා.
නිරන්තරව රථවාහන ගමන්ගන්නා මාර්ග අසල ජීවත් වෙන දරුවන්ට වගේම මහජනයා නිතර ගැවසෙන ස්ථානයන්හි ගැවසෙන දරුවන්ටත් ශ්වසන ආබාධ ඇතිවීමේ හැකියාව වැඩියි.බල්ලන්, බළලුන්, කුරුල්ලන්, සාවුන් වැනි සුරතල් සතුන් නිතර ස්පර්ශ කරන්නේ නම්, එම සතුන් සමග නිතර ගැටෙන්නේ නම් මෙම සතුන්ගේ ලොම් සහ ලොම් සමග ඇති දූවිලි ආඝ්‍රාණය වීම නිසා එවැනි දරුවන්ටත් ශ්වසන මාර්ගය ආශ්‍රිත රෝග ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙනවා.
සෙම්ප්‍රතිශ්‍යාව නොසලකා සිටින්න එපා
බොහෝ දරුවන්ට ඉහළ ශ්වසන මාර්ගය ආශ්‍රිත ආබාධයක් ලෙසින් සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවෙනවා. නමුත් ඇතැම් මව්පියන් දරුවන්ගේ සෙම්ප්‍රතිශ්‍යාව ගැන එතරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. සෙම්ප්‍රතිශ්‍යාව දරුණු රෝගයක් නොවුණත් එයින් ඇතිවෙන අතුරු ප්‍රතිඵල බොහෝ විට භයානක වීමට පුළුවන්.වෛරසයක් නිසා නාස් කුහරය ආසාදනය වීමෙන් සෙම්ප්‍රතිශ්‍යාව ඇතිවෙනවා. මෙයට මුල් වන්නේ “රයිනෝ” වෛරසයයි. එම වෛරසය සුව නොවී දින දෙක තුනක් පවතින විට බැක්ටීරියා ආසාදනයක් ඇතිවීමට පුළුවන්.
සෙම්ප්‍රතිශ්‍යාවේ රෝග ලක්ෂණ
- උණ
- හිසරදය
- සොටු දියර ගැලීම
- කිවිසුම් යෑම
- ඇතැම් විට උණ දිනක් හෝ දෙකක් පැවැතීම
සෙම්ප්‍රතිශ්‍යාව කෙළ, සෙම බිඳිති මගින් තවත් අයෙකුට බෝ විය හැක. උගුරේ ආසාදනයක් නිසා සෙම්ප්‍රතිශ්‍යාව ඇති වූ විට ආහාර සහ දියර වර්ග පානය කිරීම වෙනදාට වඩා අඩු නම්, ඇඟපත වේදනාව වැනි තත්ත්වයක් දක්නට ලැබෙනවා නම් දරුවා වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා යොමුකිරීම වැදගත්. ‘නව ඉන්ෆුලුවන්සා’ වෛරසයට අද රෝහල්වල ඖෂධ ඇති බැවින් බියවීමට කරුණක් නැහැ.
සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිජීවක අවශ්‍ය නැහැ
වෛරසයක් නිසා ඇතිවෙන සෙම්ප්‍රතිශ්‍යාවට ප්‍රතිජීවක අවශ්‍ය නැහැ. උණ ඇත්නම් පැරසිටමෝල් මාත්‍රාවක් ලබාදීම සහ විවේකීව දරුවා තබාගැනීම වැදගත්. සෙම්ප්‍රතිශ්‍යාවෙදී වෛරස ආසාදනයට අමතරව බැක්ටීරියා ආසාදනයක් ඇතිවුණොත් ප්‍රතිජීවක ඖෂධ ලබාදීම සිදුකළ යුතුයි.
මේ අවස්ථාවේදී ප්‍රතිකාර නොකළහොත් සෙම පෙනහලු දක්වා ගමන් කර නිව්මෝනියාව ඇතිවීමට පුළුවන්. එවිට දරුවා රෝහල්ගත කොට ප්‍රතිකාර ලබාදීමට සිදුවෙනවා. සෙම්ප්‍රතිශ්‍යාව නිව්මෝනියාව, මෙනින්ජයිටිස් වැනි භයානක රෝග දක්වාම එය වර්ධනය වීමට පුළුවන්.
සෙම්ප්‍රතිශ්‍යාව නිසා දරුවාට හුස්ම ගැනීමේ අපහසුතාව ඇතිවෙන අතර එවැනි අවස්ථාවක වහාම වෛද්‍යවරයකු වෙත යෑම වැදගත්.
සෙම හිරවීම
දරුවාගේ ශ්වසන මාර්ගයේ සෙම හිරවීමක් සිදු වූ විට නිවසේදී කළ හැකි ප්‍රථමාධාරයක් තිබෙනවා. එනම් දරුවාගේ හිස පහත් කොට, පිටට පස් වතාවක් තට්ටු කරන්න. කිසිම විටෙක හිස ඔසවාගෙන සිටින විට එසේ තට්ටු කිරීම සුදුසු නැහැ. එවිට සෙම පෙනහලු තුළට ගමන් කිරීමට පුළුවන්.
සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ වැඩි ප්‍රවණතාවක් ඇති දරුවන් වැඩිහිටියන්ට සාපේක්ෂව බලන විට කුඩා දරුවන්ට සෙම්ප්‍රතිශ්‍යාව වැළඳීමේ වැඩි අවදානමක් තිබෙනවා.වයස අවුරුද්දට අඩු සහ මාස තුනට වැඩි දරුවන්ට වගේම විවිධ හේතු නිසා මව්කිරි ලබා නොදෙන දරුවන්ට පෝෂණ ඌණතාවය සහ ප්‍රතිශක්තිය අඩුවීම මෙයට හේත වී තිබෙනවා.
කැස්සට සිරප්
දරුවන්ට සිරප් වර්ගයක් දෙනවිට වෛද්‍ය උපදෙස් ඇතිව ලබාදීම වැදගත්. සෙම කැස්සක් ඇතිවිට කැස්ස නැවැත්වීමට සිරප් වර්ග සුදුසු නැහැ. කැහීමෙන් සෙම එළියට දැමීමට ඉඩ දිය යුතුයි. කැස්ස නිසා දරුවා අපහසුතාවයට පත්ව ඇත්නම් පමණක් වෛද්‍යවරු ඖෂධ ලබාදෙනවා. මෙසේ දෙන ඖෂධ නියමිත මාත්‍රාවෙන්, නියමිත වේලාවට, නියමිත කාලය තුළ ලබාදීමත් ඉතාම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️