ඉන්නන් ගැන කතා කරනවිට එය අප අතර ඉතා සුලබ චර්ම රෝග තත්ත්වයකි. මෙවැනි ඉන්නන් නිසා ඔබට ශාරීරික අපහසුවක් ඇති නොවුණත් ඔබේ පෞරෂයට වගේම බාහිර රුව ලස්සන වෙනුවෙන් ඇතිවන බලපෑම නිසා ඉන්නන් වෙනුවෙන් ප්‍රතිකාර ගැන බොහෝ දෙනා උනන්දුයි…
ඉන්නන් (wart) ප්‍රභේද කීපයක් තිබෙනවා
සාමාන්‍ය ඉන්නන්
මෙම ඉන්නන් මුහුණ සහ අත් වැනි ස්ථානයන්හි ඇතිවනවා. මේ ඉන්නන් බෝ වෙන්න පුළුවන්. සමහර විට ඔබට තිබෙන ඉන්නා ස්පර්ශ කිරීමෙන් පසුව ශරීරයේ වෙනත් තැන් ඇල්ලීම නිසා ඉන්නන්ගේ පැතිරීම වැඩිවනවා. නමුත් මේ ඉන්නන් ඇතිවීම රෝගයක් නොවේ. වසරක් දෙකක වැනි කාලයකින් පසුව ඉබේමත් සුව වෙනවා.
කිරි ඉන්නන්
කිරි ඉන්නා මුලින් සඳහන් කළ සාමාන්‍ය ඉන්නන්ට වඩා වෙනස්. මෙම ඉන්නන්ගේ මතුපිට පෘෂ්ටය මෘදුයි. මේ ඉනනන් හමේ පැහැයෙන්ම යුක්තයි. කුඩා දරුවන් අතර බහුල වුණත් වැඩිහිටි වයසේ අය අතරත් කිරි ඉන්නන් දක්නට ලැබෙනවා. මේ කිරි ඉන්නන් මුහුණ, උදරය වැනි ප්‍රදේශවල දකින්න ලැබෙනවා. ඒ වගේම මෙම කිරි ඉන්නන් ලිංගාශ්‍රිත ඉන්නන් විදිහටත් දකින්න ලැබෙනවා.
ලිංගික ඉන්නන්
හියුමන් පැපිලෝමා වෛරසයේ (Human papiloma virus) ප්‍රභේද 1000 කට වඩා වැඩියි. මේවා ලිංගිකව සම්ප්‍රේෂණය වන වෛරස ප්‍රභේදයන් වනවා. ඒ වගේම හියුමන් පැපිලෝමා වෛරස 30 ක් පමණ හේතුවෙන්ද ලිංගික ඉන්නන් ඇතිවනවා. මේ ඉන්නන් බොහෝ විට ලිංගිකව සම්ප්‍රේෂණය වෙනවා. ඒ වගේම හියුමන් පැපිලෝමා වෛරසයේ 16 සහ 18 වන ප්‍රභේද ගැබ්ගෙල පිළිකා ඇතිවීමට බලපානවා. ලිංගික ප්‍රදේශවල ඉන්නන් ඇති කළ හැකි වෙනත් හියුමන් පැපිලෝමා වෛරස ප්‍රභේද ආසාදනය වුණොත් ලිංගික ඉන්නන් ඇතිවීමේ සුළු ඉඩක් තිබෙනවා.
සමහර විට මෙම ඉන්නන් ප්‍රතිකාර නොමැතිව සුව වනවා. ඒ වෙනුවෙන් වසරක් හෝ දෙකක පමණ කාලයක් ගතවනවා. නමුත් ලිංගික ප්‍රදේශයේ තිබෙන ගැටිති හෝ ඉන්නන් ඉක්මණින් ඉවත් කිරීමට අවශ්‍ය නම් දිවයිනේ දිස්ත්‍රික්ක 25 ම ආවරණය වන පරිදි රජයේ රෝහල්වල පිහිටා ඇති ලිංගාශ්‍රිත රෝග සායන මගින් ඒ සඳහා සුදුසු ප්‍රතිකාර ලබාගන්නටත් අවස්ථාව තිබෙනවා.
Skin tags
තරබාරු අයගේ සහ ජානමය තත්ත්වයන් නිසා සම අධිකව වර්ධනය වීම Skin tags යනුවෙන් හඳුන්වනවා. මෙවැනි තත්ත්වයන් ඉන්නන් නොවේ. මෙය කිහිලි හා බෙල්ල ආශ්‍රිතව සුලබව ඇතිවනවා. හමේ වර්ණයට වඩා වෙනස් පැහැයකින් හෝ සමේ පැහැයෙන්ම දකින්න ලැබෙනවා. මෙය බෝ වන ඉන්නන් නොවේ.
ඉන්නන්ට ප්‍රතිකාර තිබෙනවාද?
ඉන්නන් අතර කාලයත් සමග නැතිවෙන ඉන්නන් තිබෙනවා. නමුත් ඉන්නන් වෙනුවෙන් ප්‍රතිකාර අවශ්‍ය යැයි ඔබට හිතෙනවා නම් ළගම තිබෙන රෝහලේ චර්ම රෝග සායනයට සම්බන්ධ වීමට පුළුවන්.
හමේ ඉන්නන් වෙනුවෙන් ප්‍රතිකාර ලෙස ආලේපන වර්ග
දියර නයිට්‍රරජන් වායු වර්ග යොදාගෙන පිළිස්සීම සහ විද්‍යුත් (Electro cautery) සිදුකරනවා.වැඩිහිටි වයසේ අයකුගේ නම් අදාළ ස්ථානය හිරිවැට්ටිමකින් ඉවත් කිරීම හෝ පිළිස්සීම සිදුකරනවා. කුඩා දරුවන් වෙනුවෙන් නම් ආලේපන ලබාදීම සිදුවෙනවා. ඔවුන්ගේ ඉන්නන් කාලයත් සමග නැතිවන නිසා සරල ප්‍රතිකාර ලබාදීම ප්‍රමාණවත්. ඊට අමතරව ලේසර් තාක්ෂණය මගින් ඉන්නන් ඉවත් කිරීම සිදුකරනවා. ඒ නිසා ඉන්නන් නිසා ඔබට මානසිකව අපහසුවක් ඇත්නම් ඉන්නන් වෙනුවෙන් කළ හැකි ප්‍රතිකාර තිබෙනවා.
ඉන්නන් ඉවත් කිරීමෙන් පසුව
ඉන්නන් ඉවත් කිරීමෙන් පසුව තුවාල මුඛය වසා තැබීම වැදගත්. එසේ නොවුණහොත් විෂබීජ මගින් අදාළ ප්‍රදේශය ආසාදනය වීමට ඉඩ තිබෙනවා.ඒ වගේම Skin tags වැනි තත්ත්වයක් ඇති වූ විට වෙනත් හේතු බලපාන්න පුළුවන්. විශේෂයෙන් තරබාරුව, ඉන්සියුලින් ප්‍රතිරෝධ තත්ත්වය සහ ෆැටිලිවර් රෝග තත්ත්වය නිසා මෙවැනි Skin tags ඇතිවීමට පුළුවන්. ඒ නිසා එවැනි රෝග තත්ත්වයන් ඇත්නම් අදාළ රෝග තතිත්වය වෙනුවෙන් ප්‍රතිකාර කිරීම වැදගත්.
බෝ වෙන ඉන්නන්ගෙන් ප්‍රවේසම් වීමට
ඔබේ සිරුරේ ඉන්නන් සිටිනවා නම් තුවාය, ඇඳ ඇතිරිලි, කොට්ට උර ආදිය පෞද්ගලිකව තබාගන්න. නිතරම ඉන්නන් සිටින තැන් අතගෑමෙන් වළකින්න ඒ වගේම ඉන්නන් වෙනුවෙන් ප්‍රතිකාර ලබාගැනීමේදී සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගේ නිර්දේශ සහ අධීක්ෂණය යටතේ ලබාගැනීම වැදගත්.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️