ජීවියකුගේ උපත ලැබීම ක්‍රම කීපයකින් සිදුවනවා. ඒ අනුව මිනිසුන්ගේ උපත සංසේචන ක්‍රියාවලියකින් සිදුවුණත් එම ලිංගික එක්වීමේදී කලලයක් පිහිටීමට නම් කාන්තාවකගෙන් නිකුත් වෙන හොඳ බිත්තරයක් හෙවත් ඩිම්බයක් සහ පුරුෂ ශුක්‍රාණුවක් අවශ්‍ය වෙනවා. ළදරු වියේ ගැහැනු දරුවෙකුගේ මෙම ඩිම්බ කෝෂ අක්‍රියව පවතින අතර ඩිම්බ කෝෂ ක්‍රියාත්මක වීම සමග දැරියක් මල්වර වීම සිදුවනවා. එය කාන්තාවකගේ ඔසප් චක්‍රයේ හෙවත් ලිංගික හෝර්මෝන චක්‍රයේ ආරම්භයයි. ඇගේ මුල් ඔසප් චක්‍රයේදී බිත්තර පිටවීම අක්‍රමවත් විය හැකියි. ඔසප් වීම සාමාන්‍යයෙන් දින 28 කට වරක් සිදුවනවා. සමහර විට එය දින 42 දක්වා වෙනස් වීමට පුළුවන්. කාන්තාවකගේ ඩිම්බ කෝෂ දෙකක් ඇති අතර උපතේදී පටන් මෙම ඩිම්බ කෝෂවල නොමේරූ ප්‍රථමික සෛල පිහිටා තිබෙනවා.
ප්‍රජනන ඉන්ද්‍රියන් ලෙස ගර්භාෂය, පැලෝපීය නාළය, ඩිම්බ කෝෂ සහ යෝනි මාර්ගය ඇතුළත්. මාසික ඔසප් වීමෙන් පසුව ගර්භාෂ බිත්තිය ඩිම්බ කෝෂවලින් ශ්‍රාවය වන හෝර්මෝනවලින් ගොඩනගා ගෙන පිළිසකර වෙනවා. ඉතිරි දින 14 තුළ ගර්භාෂ සංසේජනය වුණ ඩිම්බයක් පිළිගැනීමට සුදුසු සක්‍රිය තත්ත්වයක පවතිනවා. නමුත් සංසේජනය වුණ ඩිම්බයක් ගර්භාෂ බිත්තියේ තැන්පත් නොවුණ විට හෝර්මෝන අඩු වී ගර්භාෂ බිත්තිය බිඳ වැටෙනවා. ඒ රුධිර වහනය අපි මාසික ඔසප් වීම ලෙස සලකනවා.
කාන්තාවකගේ ඩිම්බ නිපදවීම, ඩිම්බ මුදා හැරීම වැනි කාර්යන් සිදුකිරීමට FSH සහ LH යන හෝර්මෝන වැදගත්. මේ හෝර්මෝන නිපදවීම, ශ්‍රාවය වීම සහ පිටකිරීම වැනි කාර්යන් සිදුකිරීම සඳහා හයිපොතැලමස, පිටියුටරි ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය වැදගත්. යම් ලෙසකින් ඉහත ග්‍රන්ථින් හි රෝගී තත්ත්වයක් ඇතිවුණොත් එවැනි අවස්ථාවකදී ඩිම්බයක් පිටවීම අඩු වේ.
හොඳ ඩිම්බයක ලක්ෂණ
කාන්තාවකට ඩිම්බ කෝෂ දෙකක් ඇති අතර මසකට වරක් එක් ඩිම්බය බැගින් පිටවෙනවා. බිත්තරය මිලි මීටර් 20 ට වඩා විශාල නම් එය මේරූ ඩිම්බයක් ලෙස සැලකෙනවා. එය අල්ට්රා සවුන්ඩ් ස්කෑන් මගින් හඳුනාගත හැක. ඒ වගේම හොඳ ඩිම්බයක් මේරීමට වගේම පිටවීමට කාන්තාවකගේ වයස බලපානවා.
ඔසප් චක්‍රය දින 28 ක කාන්තාවකගේ නම් ඔසප් වුණ දිනයේ පටන් දින 14 ක් තුළ බිත්තරයක් පිට වෙනවා. දින 35 කට වරක් ඔසප් චක්‍රය සිදුවන අයට 21 වැනි දිනයේදී බිත්තර පිටවීම සිදුවන බව පිළිගන්නවා. ඩිම්බය පිට වී ගැබ් නොගත්හෙත් දින 14 කින් ඊළග ඔසප් වීම සිදුවනවා. සමහර විට ඹසප් චක්‍රය දින 21- 42 අතර වෙනවා. එය බිය විය යුතු කරුණක් නොවේ.
මේ අන්දමින් පිටවුණ බිත්තරය දින දෙකක පමණ කාලයක් සජීව ලෙසින් ජීවත් වෙනවා. පුරුෂ ශුක්‍රාණුවක් දිනයක පමණක කාලයක් පැලෝපීය නාලය තුළ සජීවි ලෙසින් ජීවත් වෙනවා.
දරු පිළිසිඳ ගැනීමක් වෙනුවෙන් ඩිම්බ මෝචනයේ වැදගත්කම
දරු පිළිසිඳ ගැනීමක් වෙනුවෙන් ඩිම්බ මෝචනය ඉතා වැදගත්. නමුත් PCOD රෝග තත්ත්වය සහිත කාන්තාවන්ගේ ඩිම්බ කෝෂවල මෙම ඩිම්බ මෝරා පිට නොවී කුඩා වතුර බිබිලි ලෙස පවතින අතර ශරීරයේ හෝර්මෝන තත්ත්වය අසමතුලිත බවට පත් වෙනවා. මෙහිදී විශේෂයෙන් පිරිමි හෝර්මෝනද වැඩි වෙනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් ඩිම්බ මේරීමට වගේම මෝචනයට බාධා ඇතිවනවා.
බිත්තර පිට නොවීමට බලපාන හේතු
අද බොහෝ අයට නිසි පරිදි මෙම බිත්තර පිට නොවීමේ ගැටලු ඇති වී තිබෙනවා. මේ වෙනුවෙන් විවිධ හේතු බලපානවා.
■ කාන්තාවකගේ වයස (අඩු සහ වැඩි)
■ ජානගත රෝග
■ හෝර්මෝන පිලිබඳ ප්‍රශ්න
■ තරබාරුව සමග Polycystic Ovarian Syndrome (PCOS)
■ මානසික ආතතිය-
ඩිම්බ පිටවීම නැවතීම
කාන්තාවකගේ ඩිම්බ පිටවීම අවසාන වන දවසක් ඇතිවනවා. එය සෑම කාන්තාවකටම පොදු වයසකදී සිදු වන්නේ නැහැ. සාමාන්‍යයෙන් වයස අවුරුදු 40 පටන් සමහර කාන්තාවන්ට විවිධ වෙනස්කම් ඇතිවනවා. ඒ වගේම වයස අවුරුදු 48 න් පසුව 52 ක් වගේ කාලයක් වන විට ඩිම්බ පිටවීම සම්පූර්ණයෙන්ම නැවතීම සිදුවනවා.
ඩිම්බ පිටවීම නැවතීමත් සමග වසරක් වැනි කාලයකින් ආර්තවය සම්පූර්ණයෙන් නතර වෙනවා. එය ආර්තවහරණය යනුවෙන් හඳුන්වනවා. යම් කාන්තාවන්ගේ වයස අවුරුදු 35 ට පෙරාතුව ආර්තවහරණය සිදුවුවහොත් එය Pre mature manopause යනුවෙන් හඳුන්වනවා.
ඒ වගේම ගැහැනු දරුවෙක් ඉතා අඩු වයසේදී මල්වර වුවහොත් මේ තත්වය Precocious puberity යනුවෙන් හැඳින්වෙනවා.
ඒ වගේම මද සරු කාන්තාවන්ට මද සරු බවට හේතුව FSH සහ LH මදිවීම නම් එම උත්තේජන ඖෂධ ලබාදෙනවා. මෙම ඖෂධ මාත්‍රාව අනුව මෝරන ඩිම්බ සංඛ්‍යාව අඩු වැඩි වීමටත් පුළුවන්.
මේ අනුව බලන විට හොඳ බිත්තරයක් මේරීමට වගේම පිටවීමට කාන්තාවගේ වයස සහ ස්ථුල බව ප්‍රධාන සාධකයක්. ඇගේ මල්වර වීම සමග ආරම්භ වෙන ඔසප් චක්‍රය සමග බිත්තර මේරීම සහ පිටවීම සිදුවන අතර ඔසප් චක්‍රයේ අවසානයත් සමග බිත්තර පිටවීම නැවතීමත් සිදුවනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️