ටීනියා සමාජයේ බහුලව පැතිරෙන සමේ රෝග තත්ත්වයකි. මෙය නව දිලීරයක් නොවුණත් මෑතක පටන් ලංකාවේ වසංගතයක් වගේ පැතිරෙන ප්රවනතාවක් ඇති වී තිබෙනවා. රෝගයේ පැතිරීම වළක්වාලීමේ පවතින මන්දගාමී බව නිසා තවමත් අපේ රටේ ටීනියා රෝගීන්ගේ අඩුවීමක් නැහැ. ලංකාවේ පමණක් නොව, දකුණු ආසියාතික රටවල් බොහොමයක මේ චර්ම රෝග තත්ත්වය පැතිරෙන බවටත් වාර්තා වෙනවා. රෝග තත්ත්වය ශරීරයේ විවිධ තැන්වල ඇතිවනවා. ඇතිවන තැන වෙනස් වුණත් ටීනියා කියන්නේ “ ඩර්මටොෆයිට් ” ( Dermatopyte ) නමැති දිලීර කාණ්ඩයක් මගින් ඇතිකරන රෝග තත්ත්වයක්. “ රිං වර්ම් ” ලෙස හැඳින්වුවත් මෙය පණුවකුගෙන් ඇතිකරන රෝගයක් නොවේ. නමුත් මෙය බිබිලක් සේ පටන් ගෙන රවුමක හැඩයට ශරීරය පුරාම සීඝ්රයෙන් පැතිරෙනවා. හිසකෙස්, නිය සහ සමෙහි බාහිර ස්ථරය තුළ වැඩෙමින් රෝගය පැතිරෙනවා…
මෙම රෝගයට ප්‍රධාන වන්නේ සමට සම ගැටෙන පාද, ඉකිලි කිහිලි සහ හිස් කබල යන ප්‍රදේශයන්හි වුණත් පසුව සිරුරේ ඕනෑම තැනකට මෙම රෝගය පැතිර යා හැක. මෙම දිලීරය තෙත සහිත පරිසරයේ වර්ධනය වීමට වැඩි කැමැත්තක් දක්වනවා. ඒ වගේම ඝර්ම කලාපීය රටවල දහඩිය දැමීම වැඩි නිසා කළු පැහැති දහඩිය රැඳෙන ඇඳුම්වලට වඩා සුදු යට ඇඳුම් ඇඳීමත් යෝග්‍යයි.
මෙම රෝගය කැසීමක් සහිත රතු ලප ලෙස හටගනී. මෙම ලප මතුපිට සම ගැලවී යන ස්වභාවයකින් යුක්තයි. මෙම ලප මැද සුව වෙන අතර මුද්දක ආකාරයට රවුමක් ලෙස පැතිරීම නිසා මෙම රෝගය “ රිංවර්ම් ” ලෙස හඳුන්වනවා. මේ ලපවල දාරය රතු පැහැතියි. ටීනියා රෝගියකුට ඇතිවන සමේ කැසීම දරාගන්නට අපහසුයි.
රෝගය බෝ වෙනවාද?
ඔව්. ටීනියා දිලීරය සහිත තැනක ඔබේ හම ස්පර්ශ වුණොත් රෝගය බෝ වෙන්න පුළුවන්.
රෝගය වැළඳුණ අයකු භාවිත කරන ඇඳුම්, පනාව, තුවා වැනි සම සමග සෘජුව ගැටෙන පැළඳුම් මගින් තවත් අයකුට රෝගය බෝවිය හැක. ඊට අමතරව හවුලේ පරිහරණය කරන ගෘහ උපකරණ, ඇඳ ඇතිරිළි හා වැසිකිළි ආසන මගින් ටීනියා රෝගය බෝ විය හැක.
රෝගය උත්සන්න වීම හා රෝගය පැතිරීම වළක්වා ගැනීමට
- දිනපතා ස්නානය කිරීම.
- ඒ වගේම ඔබ සෙනග ගැවසෙන ස්ථානයක ගැවසුණොත් නිවසට පැමිණි පසු දහඩිය ඇති ස්ථාන හොඳින් සබන් යොදාගෙන සිරුර ( කිහිලි, ඉකිලි වැනි ) පිරිසිදු කරගැනීම ඉතාම වැදගත්.
- නියපොතු කොටට කපා පිරිසිදුව තබාගැනීම.
- සියලුම ඇඳුම්පැළඳුම් සෝදා හිරු එළියෙන් වියළා පාවිච්චි කිරීම.
- ඇග පිස්නා (තුවා) දිනපතා සේදීම.
- කොට්ට උර, ඇඳ ඇතිරිලි නිතර සෝදා පිරිසිදුව තබාගැනීම.
- කපු යටඇඳුම් භාවිත කිරීම.
- ඇඳුම්, පනාව, රේසරය වැනි දේ පොදුවේ පාවිච්චි නොකිරීම.
- වැසිකිළිය දිනපතා සෝදා පිරිසිදු කිරීම.
- දදය නිතර ඇල්ලීමෙන් වැලකීම.
ටීනියා වෙනුවෙන් වූ ඖෂධ මේ විදිහට ප්රතිරෝධීතාවයක් දක්වන්නේ ඇයි?
මෙතැන තවත් ගැටලුවක් ඇති වී තිබෙනවා. මීට පෙරාතුව ටීනියා වෙනුවෙන් සුවය ලබා දුන් ක්‍රිම්, ලෝෂන්, දිලීර නාශක, බොන බෙහෙත්වලින් දැන් මේ රෝගය සුව කිරීම අපහසු තත්ත්වයක් ඇති වී තිබෙනවා. මේ අන්දමින් “ ඩර්මටොෆයිට් ”දිලීරය දක්වන ප්‍රතිරෝධීතාව නිසා රොගීන් දැඩි ලෙසින් අසරණ තත්ත්වයට පත්ව සිටිනවා.
අපේ බොහෝ රෝගීන් බොහෝ විට රෝග ප්‍රතිකාර ලබාගැනීමේදී වෛද්‍ය උපදෙස්වලින් තොරව ඖෂධ ලබාගන්නවා. බැක්ටීරියා, වෛරස, පැරසයිට වැනි රෝග කාරකයන්ට ප්‍රතිකාර ලබාගැනීමේදී ඖෂධයක ක්‍රියාකාරීත්වය සඳහා එය ලබාදෙන මාත්‍රාව, වාර ගණන හා කාලය ඉතා වැදගත්. එහෙත් බොහෝ රෝගීන් මේ පිළිබඳව සැලකිලිමත් වෙන්නේ නැහැ. තමන්ගේ හිතුමතයට අනුව ඖෂධ ලබාගැනීම නිසා ටීනියා රෝග තත්ත්වයට නිසි ප්‍රතිකාර ලබාගැනීම අපහසු වී තිබෙනවා.
කැසීම අඩුකිරීම
ටීනියා සමේ රෝග තත්ත්වය නිසා ඇතිවන කැසිල්ලට ප්‍රතිකාර ලෙසින් ලබාදෙන ස්ටෙරොයිඩ අඩංගු ආලේපන සහ බොන බෙහෙත් භාවිතය නිසා රෝගීන්ගේ ප්‍රතිශක්තිය අඩුවීමත් දරුණු අන්දමින් සිදු වී තිබෙනවා.
මේ සඳහා එක් උදාහරණයක් ලෙස Tripple combination වැනි ක්‍රිම් වර්ග සඳහන් කරන්න පුළුවන්. මෙම ඖෂධ වෙනුවෙන් දැනටමත් තහංචි පනවා තිබෙනවා. ඒ නිසා ටීනියා චර්ම රෝග තත්ත්වයක් ඇත්නම් නොපමාව ප්‍රතිකාර ලබාගැනීම වැදගත්. ඒ වගේම රෝගය නිට්ටාවටම සුව වෙනතෙක් ප්‍රතිකාර නැවැත්වීම සුදුසු නැහැ.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️