ළදරුවෙක් නිල්පැහැ ගැනීම ගැන පසුගිය කාලයේ කතාබහ ඇතිවුණා. ඒ ගැන මව්පියන් තුළ යම් බියක් ඇතිවනවා. ළදරුවෙක් නිල්පැහැ ගැනීමට බලපාන හේතුව විදිහට එම ළදරුවාගේ ශරීරයට ඔක්සිජන් ප්‍රමාණවත් පරිදි නොලැබීම සඳහන් කරන්න පුළුවන්.
ඔක්සිජන් ප්‍රමාණවත් පරිදි නොලැබීමට හේතු මොනවාද?
අපේ හෘදය වස්තුව කුටිර හතරකින් යුක්තයි. හෘදය වස්තුවේ වම් කුටිරයෙන් පිරිසිදු රුධිරය මහා ධමනිය ඔස්සේ සිරුර පුරා බෙදා හරිනවා. පුප්ඵුශීය ධමනිය හෘදයේ දකුණු කෝශිකාවෙන් ආරම්භ වෙනවා. මෙම නාළවල ඇත්තේ දම් නිල් පැහැති හෙවත් අපිරිසිදු රුධිරයයි. මෙම රුධිරය පෙනහලුවලට ඇතුළු වීමෙන් ඔක්සිජන් ලබාගෙන පිරිසිදු වී නැවත හෘදය වස්තුව කරා ගමන් කරනවා. නිරෝගී දරුවෙකුගේ වම්පස ඇති පිරිසිදු ලේ සහ දකුණුපස ඇති අපිරිසිදු ලේ මිශ්රවීමක් සිදු වෙන්නේ නැහැ.
නමුත් ඇතැම් දරුවන්ගේ හෘද වස්තුවේ ඇති සිදුරු මගින් දකුණුපස ලේ වම්පස ලේ සමග මිශ්‍ර වෙනවා. එවිට දරුවා තුළ නිල් පැහැයක් ඇති වෙනවා.ඒ වගේම ඇතැම් රෝග තත්ත්වයන් නිසාත් දරුවන් මේ අන්දමින් නිල් පැහැගැනීම සිදු වෙනවා. නිව්මෝනියාව, දරුණු හතිය, බ්‍රොන්කියෝලයිටිස්, වැනි රෝග තත්ත්වයන්, පෙනහලුවල සිදුවන අවහිරතාවන් නිසා රුධිරය නිසි පරිදි පිරිසිදු නොවන විට නිල්පැහැ ගැනීම සිදුවනවා. මෙවැනි රෝග තත්ත්වයන් නිසා දරුවාගේ ජීවිතයට පවා අවදානමක් ඇති වෙනවා.
■ සමහර දරුවන් ඉපදී ඉතා සුළු කාලයකින් හෝ නිල්පැහැ ගැනීම සිදුවිය හැකියි.
■ උපත ලබා ටික දිනකින් නිල්පැහැ ගැනීම.
කෙසේ වුනත් හෘදය වස්තුවේ ගැටලු ඇති දරුවන් උපත ලබා මුල් සති දෙක තුළ මෙම නිල්පැහැ ගැනීමේ තත්ත්වයන් දකින්න ලැබෙනවා.
හෘද රෝග තත්ත්ව නිසා නිල්පැහැ ගන්නා දරුවන්ගේ අනෙකුත් රෝග ලක්ෂණ
■ එක දිගට කිරි උරාබීමේ හැකියාවක් නැතිවීම.
■ දරුවාගේ බර නිසි ලෙස වැඩි නොවීම.
■ නිතරම කැස්ස, හෙම්බිරිස්සාව ඇතිවීම.
■ කිරි බොන අවස්ථාවේදී හිසට දහඩිය දැමීම. මෙතැනදී අනවශ්‍ය විදිහට බිය විය යුතු නැහැ. හිසට දහඩිය දැමීම හදවත් ආශ්රිත රෝග සංකුලතාවක් යැයි සැමවිටම වරදවා වටහා ගත යුතු නැහැ.
දරුවන්ගේ නිල් පැහැයක් දකින හැම අවස්ථාවකදීම කලබල විය යුතු නැහැ
අලුත උපන් දරුවන් නෑවීමෙන් පසු ඇඟිලි තුඩු පමණක් ඉතා සුදු නිල් පැහැයක් දකින්න ලැබෙනවා. එය නිල් දම් පැහැයක් නොවේ. එය Cyanosis තත්ත්වයක් නොවේ. ඒ ගැන මව්පියන් කලබල විය යුතු නැහැ.
Cyanosis රෝග තත්ත්වයක් බව තහවුරු කරගන්නේ කෙසේද?
දරුවා වෙතින් මේ අන්දමින් තොල්,ඇඟිලි, දිව, මුහුණ දම් නිල්පැහැ ගැනීමක් සිදුවුණොත් හැකි ඉක්මනින් වෛද්‍යවරයකුට පෙන්වීම ඉතාම වැදගත්. එවැනි අවස්ථාවකදී සුදුසුකම් ලත් වෛද්‍යවරයකුට දරුවාගේ මේ තත්ත්වය මූලිකව හඳුනාගැනීමට පුළුවන්. මුලින්ම වෙද නළාවෙන් පරීක්ෂා කර රෝග ලක්ෂණ ඇත්නම් වැඩිදුර පරීක්ෂණ සඳහා දරුවා යොමුකරනවා.
■ Echo-Echocardiogram පරීක්ෂණ සිදුකර රෝගී තත්ත්වය නිවරැදිව හඳුනාගත හැකියි.
■ ECG-Electrocardiogram
ඉන්පසු එම ආබාධය තිබෙන ස්ථානය සහ එයින් ඇතිවන සංකුලතාවන් අනුව ප්‍රතිකාර ගැන තීරණය වෙනවා.ඒ වගේම මෙසේ දීර්ඝකාලීනව නිල්වන දරුවන්ගේ රුධිරයේ ඝනත්වය වැඩි නිසා රුධිර පරිවහනය නිසි පරිදි සිදුනොවීමට ඉඩ තිබෙනවා. මොළය ඇතුළු ශරීරයේ විවිධ අවයවයන්ට නිසි පරිදි රුධිර සැපයුමක් නොලැබීමේ ගැටලු ඇතිවිය හැකියි.
මේ වෙනුවෙන් සිදුකරන ප්‍රතිකාර මොනවාද?
දරුවකු ඉහත පරීක්ෂණ මගින් රෝග තත්ත්වයකින් පසුවන බැව් තීරණය වුණොත් දරුවා ළමා හෘද රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකුගෙන් ප්‍රතිකාර ලබාගැනීම කළ යුතුයි. මෙහිදී දරුවා වෙනුවෙන් සිදුකරන ශල්‍යකර්ම මගින් හෘද වස්තුවේ අදාළ සංකුලතාවන් නිවරැදි කිරීමට හැකියාව තිබෙනවා.
දරුවා ශල්‍යකර්මයකට යොමුකිරීමට තරම් නොහැකි වයස නම් සහ ශල්‍යකර්මය සංකීර්ණ නම් සමහර විට තාවකාලික ශල්‍යකර්මයකින් ප්‍රතිකාර සිදුවනවා. ඊට අමතරව මෙම හෘද රෝගී තත්ත්වය ඉතා අවදානම් සහ ශල්‍යකර්මයකින් පවා නිවරැදි කිරීමට අපහසු නම් යම්තාක් කාලයකට හෝ ජීවිතය පවත්වා ගත හැකි පරිදි ප්‍රතිකාර ලබාදෙනවා.
ඒ වගේම අපේ රුධිරයේ හිමෝග්ලෝබින් සංඝටකය ඔක්සිජන් පරිවහනයට හේතු වෙනවා. හිමෝගලෝබින්වල අන්තර්ගත හිම් (Haem) යකඩ මේ සඳහා හේතු වනවා. හිම් යකඩ ආරෝපණ තත්ත්වය වෙනස් වීම නිසා Methemoglobinemia තත්ත්වය ඇතිවනවා. මෙම සංයුතිය 1% කට වඩා වැඩි වුණොත් රෝග ලක්ෂණ මතුවෙනවා.
සමහර විට ජානමය තත්ත්වය අනුවත් Methemoglobinemia තත්ත්වය ඇතිවීමට පුළුවන්. මේ තත්වය ඉතා දුර්ලභයි. මෑතකදී ලංකාවේ වාර්තා වුණ පරිදි දරුවකුගේ නිල්පැහැ ගැනීමත් මෙවැනි තත්ත්වයක් යැයි දැනට අනුමාන කරනවා. මෙවැනි දරුවන්ගේ පෙනහලු සහ හෘදය වස්තුවේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය පරිදි සිදුවුණත් හිමෝග්ලෝබින් සංයුතියේ ඇති ගැටලු නිසා මෙවැනි නිල්පැහැ ගැනීම් ඇතිවනවා.
Methemoglobinemia තත්ත්වය අවදානම් විය හැකිද?
අතිශය දුර්ලභ වුණත් නිල්පැහැ වුණ දරුවකුට යම් යම් අවදානම් තත්ත්වයන් ඇතිවීමට පුළුවන්.
- දරුවා නිල්පැහැ ගැනීම
- හුස්ම ගැනීමේ අපහසුතාව
- සිහි නැතිවීම
වැනි රෝග තත්ත්වයන් ඇතිවීමට ඉඩ තිබෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️