පසුගිය මාර්තු 25 වැනි දිනට ලෝක ක්ෂය රෝග දිනයට සමගාමීව තවත් පණිවිඩයක් සමාජගත වුණා. HIV සමග ජීවත් වෙන පුද්ගලයින් ක්ෂය රෝගය සඳහා ක්ෂය රෝගීන් HIV සඳහාත් වැඩි අවදානමක් ඇති බවට සමාජ දැනුවත් වීමක් සිදුවුණා.ශ්‍රි ලංකාව HIV ප්රවනතාව අඩු රටක් වුවද HIV සමග ජීවත් වෙන රෝගින් පිරිසක්ද සිටිනවා. HIV යනුවෙන් අදහස් කරන්නේ මානව ඌනතා ප්‍රතිශක්ති වෛරසයයි. මෙම වෛරසය ශරීරයට ඇතුළු වී කාලයක් ගතවන විට ප්‍රතිශක්තිය අඩුවීම නිසා AIDS (නතු කරගත් ප්‍රතිශක්ති ඌනතා සහ ලක්ෂණය) තත්ත්වයට පත් වෙනවා. නමුත් වර්තමානයේදී HIV සමග ජීවත්වෙන පුද්ගලයින්ට සාර්ථක ප්‍රතිකාර ක්‍රම තිබෙන නිසා ඔවුන්ට ගුණාත්මක ජීවිතයක් ගත කරන්න පුළුවන්.
ක්ෂය රෝගයට ගොදුරු වීමේ අවදානමක් ඇති පුද්ගලයින්
ක්ෂය රෝගය වැළඳීමේදී වැඩි අවදානමක් ඇති පුද්ගලයින් අතරට එක්වෙන අවදානම් කණ්ඩායමක් සිටිනවා.
- ප්‍රතිශක්තිය දුර්වල පුද්ගලයින්
- නිදන්ගත රෝග තත්ත්වයේ පසුවෙන රෝගීන්
- වයස වැඩි පුද්ගලයින්
- අඩු පහසුකම් සහිත පරිසර තත්ත්වයක ජීවත් වන පුද්ගලයින්
- HIV සමග ජීවත් වෙන පුද්ගලයින්
- එදිනෙදා ආශ්‍රය කරන ක්ෂය රෝගී ආශ්‍රිතයන් නිසා
මෙම ප්‍රජාව HIV වෙනුවෙන් ප්‍රති වෛරස ප්‍රතිකාර හෙවත් ART (Antiretroviral therapy) නිසි පරිදි ලබා නොගතහොත් ඔවුන්ට ක්ෂය රෝගය (TB) සඳහා වූ අවදානමක් ඇතිවීමට ඉඩ තිබෙනවා. මෙවැනි රෝගීන් පෙනහලු ආශ්රිත ක්ෂය රෝග තත්ත්වයට පත්වීමට ඉඩ තිබෙනවා.
ක්ෂය රෝගය ඇතිවන්නේ පෙනහලුවල පමණක් නොවේ
සාමාන්‍යයෙන් ක්ෂය රෝගය ගැන කී විට අපි තුළ ගොඩනැගෙන දළ අදහස නම් පෙනහලු ආශ්රිත රෝග තත්ත්වයක් වුණත් අපේ සිරුරේ විවිධ අවයවයන්හි ක්ෂය රෝග තත්ත්වය ඇතිවීමට පුළුවන්.
- මොළය
- උදරය
- කුද්දැටි
- වකුගඩු
- අස්ථි හා සන්ධි
- බඩවැල
ක්ෂය රෝගය තත්ත්වය බොහෝ විට එනම් 60 % ක් පමණ ඇති වෙන්නේ පෙනහලු මුල්කර ගෙන නිසා රෝග ලක්ෂණ ගැන සඳහන් කළොත්
පෙනහලු ක්ෂය රෝග ලක්ෂණ
■ දීර්ඝ කාලීන කැස්ස
■ ළා උණ
■ රාත්‍රියට නින්දෙන් දහඩිය දැමීම
තවද HIV වෙනුවෙන් ප්‍රතිකාර නොගෙන සිටින පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය අඩුවීම නිසා ඒඩ්ස් රෝග තත්ත්වය වර්ධනය විය හැක. මෙම ඒඩ්ස් රෝගීන් අතර පෙනහලු නොවන අනෙකුත් අවයව (ස්නායු පද්ධතිය, අස්ථි පද්ධතිය, සම, වසාගැටිති වැනි) ආශ්‍රිතව ක්ෂය රෝග තත්ත්වය ඇතිවිය හැක.
මේ නිසාවෙන් ජාතික ලිංගාශ්‍රිත රෝග සහ ඒඩ්ස් මර්ධන වැඩ සටහන, ජාතික ළය රෝග සහ ක්ෂය රෝග මර්ධන වැඩසටහන හා එක්ව ශ්රීි ලංකාවේ අලුතින් හඳුනාගන්නා සියලුම ක්ෂය රෝගීන් HIV පරීක්ෂණ වෙත යොමු කිරීමටත්, අලුතින් හඳුනාගන්නා සියලුම HIV රෝගීන් ක්ෂය රෝග පරීක්ෂණ සඳහා යොමු කිරීමටත් ප්‍රතිපත්තිමය තීරණයක් ගෙන තිබෙනවා.
2024 වසරේ හඳුනාගත් 9180 ක් වූ නව ක්ෂය රෝගීන්ගෙන් 8787 ක් එනම් 95.7% ක් HIV පරීක්ෂණ වෙත යොමුකරන ලද අතර එයින් 30 දෙනෙක් එනම් 0.3% ක් HIV වෛරසය සමග ජීවත්වන පුද්ගලයන් බැව් තහවුරු තහවුරු විය. 2024 වර්ෂයේ අලුතින් හඳනා ගන්නා ලද HIV සමග ජීවත් වෙන පුද්ගලයන් මෙන්ම ප්‍රතිකාර මගහැරුණ හෝ ක්ෂය රෝග ලක්ෂණ සහිත HIV සමග ජීවත් වෙන පුද්ගලයන්ගේ යොමුකිරීම් අනුව 38 දෙනෙකුට ක්ෂය රෝග බැක්ටීරියාව ආසාදනය වී ඇති බැව් තහවුරු විය.මේ අනුව 2024 වර්ෂයේ HIV සමග ජීවත්වෙන පුද්ගලයන් 68 දෙනෙකු ක්ෂය රෝග ආසාදිතයන් බැව් තහවුරු විය.
ක්ෂය රෝග තත්ත්වය හඳුනාගැනීම
ක්ෂය රෝග තත්ත්වය හඳුනාගැනීමේදී පපුව ආශ්‍රිතව ලබාගන්නා එක්ස් රේ වාර්තාව සහ සෙම් පටල පරීක්ෂාව මගින් රෝග තත්ත්වය ගැන තහවුරුවීමක් ලබාගැනීමට හැකියාව තිබෙනවා. දින දෙකක් තුළ වාර 2- 3 අතර ලබාගන්නා සෙම් පටල පරීක්ෂාවකින් මේ විෂබීජ ඇති බව තහවුරු කරගැනීමට හැකියාව තිබෙනවා.
මේ නිසාවෙන්ම සියලුම ක්ෂය රෝගින් HIV පරීක්ෂණ සිදුකර ගැනීම ඉතාම වැදගත්. තවද සියලුම HIV සමග ජීවත් වෙන පුද්ගලයන් ප්‍රතිකාර ආරම්භ කරන අවස්ථාවේදී හෝ ක්ෂය රෝග තත්ත්වය පිළිබඳව යම් සැකයක් ඇත්නම් ක්ෂය රෝග පරීක්ෂණ සඳහා ළය රෝග සායන වෙත යොමු කළවිට එම පරීක්ෂණ නිසි ලෙස සිදුකරගැනීම ඉතාම වැදගත්. HIV සමග ජීවත්වෙන ප්‍රජාව කලින් හඳුනාගෙන HIV සඳහා වූ ප්‍රතිවෛරස ඖෂධ ලබාගන්නේ නම් එම පුද්ගලයාගේ ප්‍රතිශක්තිය වර්ධනය වී ක්ෂය රෝග අවදානම වැළැක්වීම සඳහා හැකියාව ඇත.

පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️