අපේ රටේ වසරකට සජීවි දරු උපත් 247,000 ක් වාර්තා වෙන අතර එයින් දරුවන් 4000-5000 අතර සංඛ්‍යාවක් උපත් ආබාධ සහිත දරුවන් බැව් වාර්තා වෙනවා. මෙම උපත් ආබාධ අතර හදවත් ආශ්රිත රෝගී දරුවන් වැඩි වශයෙන් වාර්තා වෙනවා…
මොනවද මේ උපත් ආබාධ?
දරුවකු ගර්භාෂයේ වැඩෙන කාලයේ එසේත් නැත්නම් කලලය වර්ධනය වන අවධියේදී සිදුවෙන අසාමාන්‍ය වර්ධණ වෙනස්කම් උපත් ආබාධ යනුවෙන් හැඳින්වෙනවා. මේ වෙනස්කම් දරුවාගේ ශරීරයේ ඕනෑම කොටසකට බලපාන්න පුළුවන්. මේ ආබාධ ගර්භණී කාලයේදී වගේම දරුවා ඉපදුණ හෝ දරුවාගේ ජීවිත කාලයේදීම දකින්න පුළුවන්. බොහෝ විට දරුවාගේ දරුවා උපත ලබා පළමුවන අවුරුද්දේදී මේ උපත් ආබාධ හඳුනාගන්න පුළුවන්. නමුත් සියලුම උපත් ආබාධ පිටතින් හඳුනාගැනීමට හැකියාවක් නැහැ. සමහර උපත් ආබාධ ජීවිතයට අවධානමක් වෙන්න පුළුවන්. රෝගය අනුව දරුවාගේ ජීවිතයට ඇතිකරන බලපෑම වෙනස් වෙනවා. සමහර උපත් ආබාධ දරුවාගේ පෙනුම පමණක් වෙනස් කරනවා. ඒ වගේම මෙම උපත් ආබාධ දරුවා සිතන, චලනය සහ ක්‍රියාකරන ආකාරය කෙරෙහි බලපානවා.
මෙවැනි උපත් ආබාධ මොනවා දැයි සඳහන් කරනවා නම්…
මේ අන්දමින් දරුවන් අතර වැඩිපුර දක්නට ලැබෙන උපත් ආබාධ කීපයක් සඳහන් කරන්න පුළුවන්.
■ උපතේදී ඇති වෙන හදවත් රෝග
■ ඩවුන් සින්ඩ්‍රොමය
■ පාදවල ඇති වෙන විකෘති (Club foot)
■ තොලේ සහ තල්ලේ ඇතිවන අසාමාන්‍ය පැලීම් (Cleft lip and cleft palate )
■ අස්ථි වර්ධනයේ වෙනස්කම් නිසා මිටි බව, අත් පා නොමැති වීම හෝ ස්කෝලියෝසිස්
■ දෑකැති රක්ත සෛල රක්තහීනතාවය
දරුවන් අතර උපත් ආබාධ ඇතිවීමට හේතු මොනවාද?
මෙවැනි උපත් ආබාධ ඇතිවීමට බලපාන හේතු කීපයක් තිබෙනවා.
■ ජානමය වෙනස්කම්
■ ඖෂධ නිසා ඇතිවන අතුරු ආබාධ
■ රසායනික ද්‍රව්‍යවලට නිරාවරණය වීම
■ ගර්භණී කාලයේ ඇතිවන සංකුලතාවන්
■ මද්‍යසාර භාවිතය සහ සමහර ඖෂධ
උපත් ආබාධ ඇතිවීමට හේතුවෙන අවදානම් සාධක මොනවාද?
ඇතැම් හේතු හෝ සෞඛ්‍ය තත්ත්වයන් නිසා උපත් ආබාධ සහිත දරුවකු ලැබීමේ අවදානම වැඩිවන්න පුළුවන්. දියවැඩියාව, මවගේ තරබාරුව, මවගේ වයස අවුරුදු 35 ට වැඩි වීම, පවුලේ තවත් උපත් ආබාධ සහිත දරුවකු සිටීම සහ ඇතැම් ඖෂධ මෙවැනි අවදානම් සාධක අතරට ඇතුළත් වෙනවා.
යම් දරවකු තුළ උපත් ආබාධ ඇති බව හඳුනාගන්නේ කොහොමද?
දරුවෙකුගේ උපත් ආබාධ සහිත තත්ත්වයක් රුධිර පරීක්ෂණයකින් හෝ ස්කෑන් පරීක්ෂණයකින් හඳුනාගැනීමට පුළුවන්.
එසේ උපත් ආබාධ හඳුනාගැනීමෙන් පසු එවැනි දරුවන්ට ප්‍රතිකාර ලබාදීම ගැනත් පැහැදිළි කරනවා නම්…
මෙවැනි දරුවන්ට ප්‍රතිකාර ලබාදීම රෝග විනිශ්චය මත රඳා පවතිනවා. ශල්‍යකර්ම, ඖෂධ, භෞත චිකිත්සාව, ශ්‍රවණාධාර, ඇස් කණ්ණාඩි භාවිතය, රෝද පුටුවක් වැනි උපාංග භාවිතය, පාසලේදී විශේෂ අධ්‍යාපනය ලබාදීම මෙවැනි ප්‍රතිකාර ක්‍රම විදිහට නම් කරන්න පුළුවන්.නමුත් මව්පියන් වීමට අදහස් කරන ඔබ මේ ගැන වඩාත් සැලකිලිමත් වීම වැදගත්. උපත් ආබාධ සහිත දරුවකුට ප්රතිකාරලබාදී ඒ දරුවාට ගුණාත්මක ජීවිතයක් පවත්වාගෙන යෑමට දරන උත්සාහයට වඩා ඔබ උපත් ආබාධ සහිත දරවකුගේ බිහිවීම වළක්වා ගැනීමට උත්සාහ කිරීම ඉතාමත් වැදගත්.
එහෙම නම් උපත් ආබාධ සහිත දරුවකුගේ බිහිවීම වළක්වා ගැනීමට මව්පියන් වෙත ලබාදෙන උපදෙස් මොනවාද?
ඔබ දරුවකු බිහිකිරීමට බලාපොරොත්තු වෙනවා නම් පෝලික් අම්ලය සහිත ඖෂධ භාවිතා කරන්න. මෙම ඖෂධ ඔබේ පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියගෙන් හෝ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයෙන් නොමිලේ ලබාගැනීමට පුළුවන්.
මත්පැන් පානය සම්පූර්ණයෙන්ම නවත්වන්න
ඔබ ලබාගන්නා ඕනෑම ඖෂධයක් වෛද්‍ය උපදෙස් මත ලබාගන්න. එබේ අභිමතය පරිදි ඖෂධ භාවිත කිරීම නොකළ යුත්තක් බවත් තරයේ මතක තබාගැනීම ඉතාම වැදගත්.දරුවකු බලාපොරොතත්ුව සිටිනවා නම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ පැවැත්වෙන “නව දිවි” සායනවලට ඔබ දෙදෙනාම සහභාගී වෙන්න.
එසේනම් උපත් ආබාධ සහිත දරුවකුගේ බිහිවීම යනු මව්පියන්ගේ වගේම දරුවන්ගේ යහපත් ජීවිතයට විශාල බලපෑමක් ඇතිකරන තත්ත්වයක්. ඒ නිසා මව්පියන් වීමේ බලාපොරොතත්ුවෙන් සිටින ඔබ හැමදෙනාම උපත් ආබාධ නොමැති නීරෝගී දරුවකු ලෝකයට ලබාදීමේ සුවිශේෂී වගකීමේ කොටස්කරුවකු වන්න. ඒ වෙනුවෙන් ඔබ ලබන දැනුවත් වීම ඉතාමත් වැදගත් වෙනවා.

පුන්‍යා චාන්දනී ද සිල්වා