නව ජන්ම දරුවෙකුගේ සම ආශ්‍රිතව සමේ විවිධ වෙනස්කම් දකින්න ලැබෙනවා. නමුත් වාසනාවකට වාගේ මෙම සමේ ලප, දද, කුෂ්ට අතරින් බොහොමයක් ඉබේම සුවවන තත්ත්වයක් යැයි කිව්වොත් නිවැරදිය.
ළමා කුරුලෑ ( Baby acne)
අලුත උපන් බිළිඳුන්ගේ නිකට, නාසය, නළල ප්‍රදේශයේ දක්නට ලැබෙන මෙම කුරුලෑ දරුවා උපත ලබා මාසයකින් පමණ පසුව ඇතිවනවා. නමුත් මෙම ළමා කුරුලෑ සතියක් හෝ ඊට වඩා වැඩි කාලයක් තිබෙනවා නම් ඒ ගැනත් නොසලකා සිටින්න එපා.
නිතරම දරුවාගේ සම උණු වතුරෙන් හෝ මෘදු මොයිස්රයිචර් දියරයකින් සෝදා පිරිසදුව තබාගන්න. කුරුලෑ ඉවත් කිරීමට යැයි සිතා කිසිම විටක වැඩිහිටියන් කුරුලෑ වෙනුවෙන් භාවිත කරන විවිධ ආලේපන දරුවන් සඳහා භාවිත කරන්න එපා. දරුවාගේ වයස මාස තුනක් පමණ වූ පසුව කුරුලෑ හෝ කළු ඉන්නන් දක්නට ලැබෙනවා නම් ඒ වෙනුවෙනුත් ප්‍රතිකාර අවශ්‍ය වෙනවා.
Cradle cap
දරුවාගේ හිස් කබලේ ඇතිවන කොරපොතු ස්වභාවයකි. මේවා කහ පැහැතිය. කැසීමක් නැත. මුහුණ, කන සහ බෙල්ල ප්‍රදේශයේත් මෙම තත්ත්වය ඇතිවීමට පුළුවන්. මේ ගැනත් එතරම් කලබල විය යුතු නැහැ. දරුවෙකු උපත ලබා මාස දෙක තුනකින් පසුව ඇතිවන මෙම තත්ත්වය සති කීපයක් ගතවන විට ඉබේම සුවය ලබනවා.
milia
නව ජන්ම දරුවන්ගෙන් 50% ක් පමණ දෙනා අතර දක්නට ලැබෙන තත්ත්වයකි. බිළිඳු මුහුණේ විශේෂයෙන් නාසය මත ඇතිවන මිලි මීටර් 1 – 2 ප්‍රමාණයකින් යුක්ත මෙවැනි සුදු ලප milia යන නමින් හඳුන්වනවා. දරුවාගේ
රෝම කූප අවහිර වීම නිසා මෙම milia ඇතිවනවා. උපතින් සති සතරක් පමණ ගෙවෙත්ම මෙම අවහිර වුණ සිදුරු නැතිව යනවා.
Nappy Rash
මෙය ඉතාම සුලබ තත්ත්වයක්. දීර්ඝ කාලයක් පුරා දරුවාට නැපි අන්දවන ප්‍රදේශයේ සම මත මළමුත්‍රා තැවරීම නිසා මේ තත්ත්වය ඇතිවනවා. සමහර විට දිලීර ආසාදනයක් හෝ දුර්ලභ වර්ගයේ චර්ම රෝග තත්ත්වයක් නිසාත් Nappy Rash ඇතිවීමට ඉඩ තිබෙනවා. ඒ නිසා දරුවා පිරිසිදුවට තබා ගැනීම වගේම සුව නොවන අන්දමින් මේ තත්ත්වය පවතිනවා නම් ප්‍රතිකාර වෙත යොමු වීමද වැදගත්. ඒ වගේම කුෂ්ට තත්ත්වයන් ඇතිවනවා නම් සුදුසු ක්‍රිම් වර්ගයක් ආලේප කරන්න පුළුවන්. ඊට අමතරව මේ තත්ත්වය දිලීර ආසාදනයක් නිසා ඇතිවනවා නම් Antifungal ක්‍රිම් වර්ගයක් භාවිත කරන්න.
Sweat Rash
අලුත උපන් බිලිඳු දරුවන්ට මව්පියන්ගේ තියෙන ආදරය සහ ආරක්ෂාව නිසාම දරුවාට හිස සිට දෙපතුළ දක්වාම වැසෙන සේ ඇඳුම් අන්දවනවා. වාතයේ පවතින උණුසුම සහ ආර්ද්‍රතාව ඇඳුම්වලින් ආවරණය වීම නිසා දහඩිය ග්‍රන්ථි අවහිර වෙනවා. සමේ ඇතිවන කුඩා රතු පැහැති ගැටිති හෝ බිබිලි ලෙස මේවා දකින්න පුළුවන්. දහඩිය බිබිලි ප්‍රතිකාර නොලබාම සුව වනවා. මේ වෙනුවෙන් දරුවාගේ සමට calamine lotion ආලේප කිරීමට පුළුවන්.
Transient neonatal pustules
නව ජන්ම දරුවන්ගේ සම මත ඇතිවන කුඩා වතුර බිබිලි ස්වරූපයක් ගන්නා මෙම බිබිලි Transient neonatal pustules යන නමින් හැඳින්වෙනවා. බිබිලි පුපුරා ගිය විට සමේ ඒ ස්ථානය අවපැහැ ලකුණු දක්නට ලැබුණත් ප්‍රතිකාර නොලබාම සුවවනවා.
Mongolian Spots
මොන්ගෝලියානු ලපයක් යනුවෙන් හඳුන්වන්නේ නිල්, කොළ හෝ නිල් අළු පැහැති උපන් ලපයකි. මේවා දරුවා උපන් වෙලෙහි දැක ගතහැකිය. පිට සහ තට්ටම් ප්‍රදේශයේ මෙන්ම සිරුරේ වෙනත් ස්ථානයකදී මේ ලප දැකගැනීමට පුළුවන්. විවිධ ප්‍රමාණයෙන් සහ හැඩයෙන් යුක්තවන මෙම උපන් ලප ළදරුවාට කිසිඳු හානියක් නැහැ. සමහර විට දරුවාට වයස අවුරුදු දෙක තුනක් යන විට ඉබේම නැති වී යා හැකි අතර සමහර දරුවන්ගේ මොන්ගෝලියානු ලප වැඩිහිටි වයසේදීත් මැකී නොයන්න පුළුවන්.
Stork Bites ( Pink Birthmarks )
නාසය වගේම ඇහිබැම මත පිහිටන මෙම උපන් ලප රෝස පැහැතියි. පැතලි ස්වරූපයකින් යුක්ත වෙනවා. බෙල්ල ප්‍රදේශයේ පිහිටන මෙම ලප උපන් අවස්ථාවේදී පටන් දකින්න ලැබෙනවා. ඇහිබැම මත පිහිටි ලප දරුවාට වයස අවුරුද්දක් පමණ වනවිට නැති වී ගියත් නාසය මත පිහිටි උපන් ලප වසර කීපයක් පවතිනවා. නාසයේ සිට නළල දක්වා ඇති ලප වැඩිහිටි වයස දක්වාම පවතිනවා.
දෙමව්පියන්ට පණිවිඩයක්
ඔබේ නව ජන්ම බිළිඳු දරුවාගේ සමේ දකින්නට ලැබෙන ලප, දද ගැන හිත කලබල කරගැනීම අවශ්‍ය නැහැ. මේවා ප්‍රතිකාරයක් නොකළත් ඉබේම නැති වී යනවා. නමුත් බැක්ටීරියා ආසාදනයක් නිසා දරුවාගේ සෙම් කුෂ්ට තත්ත්වයන් ඇතිවීමට පුළුවන්. උණ, ආහාර අරුචිය සහ දරුවා මළානික නම් වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා