රුමටොයිඩ් ආතරයිටිස් යනුවෙන් අපි හඳුන්වන්නේ ස්වයං ප්‍රතිශක්තිකරණය වැඩිවීම නිසා ඇතිවන ඉතාමත් සුලබ ආතරයිටිස් වර්ගයකි.මෙය දිගු කාලයක් පවතින (නිදන්ගත) රෝගයක්.මෙම රෝගයේදී ඔබේ ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ඔබේම ශරීරයේ පටකවලට එරෙහිව ප්‍රතිදේහ නිපදවනවා.මෙම ප්‍රතිදේහ ස්වයං ප්‍රතිදේහ ( Autoantibodies ) ලෙස හැඳින්වෙනවා.
මේ නිසා රුමටොයිඩ් ආතරයිටිස් රෝගයේදී ඔබගේ සන්ධි සහ අනෙකුත් විවිධ අවයවවලට සැලකිය යුතු හානියක් සිදුවනවා මෙය සන්ධි වේදනාව” තද ගතිය” ඉදිමීම සහ සන්ධිවල නම්‍යශීලී බව අඩුවීමට හේතුවන අතර මෙම ආතරයිටිස් රෝගයට ප්‍රතිකාර නොකළහොත් ආබාධිත තත්ත්වයට පවා පත්වීමට හැකියි. නමුත් රුමටොයිඩ් ආතරයිටිස් රෝගයට නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමෙන් රෝග ලක්ෂණ අඩු කරගත හැකි අතරම සන්ධිවලට හානිවීම් සහ සිදුවිය හැකි ආබාධිත තත්ත්වයන් වළක්වා ගැනීමට පුළුවන්.
බහුලව බලපාන්නේ කාටද?
රුමටොයිඩ් ආතරයිටිස් රෝගීන්ගෙන් 75% ක් පමණ කාන්තාවන්. සාමාන්‍යයෙන් වයස අවුරුදු 30 ත් 50 අතර කාලයේදී රෝග ලක්ෂණ ආරම්භ වුණත් රුමටොයිඩ් ආතරයිටිස් ඕනෑම වයසක පුද්ගලයෙකුට ඇතිවීමට හැකියාව තිබෙනවා.
රෝග ලක්ෂණ මොනවාද?
සන්ධි ඉදිමීම සහ වේදනාව ඇතිවන්න පුළුවන්. මෙය විශේෂයෙන් අත් සහ පාදවල කුඩා සන්ධිවලට බලපානවා. ඔබට උදෑසන සන්ධිවල තද ගතිය තිබේ නම් එය ඔබට රුමටොයිඩ් ආතරයිටිස් ඇති බවට ඉඟියක් විය හැකියි. එය පැයක් හෝ දෙකක් (සමහර විට මුළු දවසම ) පැවැතිය හැකියි. නමුත් මෙම තද ගතිය සාමාන්‍යයෙන් සන්ධිවල චලනය සමග අඩු වෙනවා. මෙය ඔස්ටියෝ අතරයිටිස් රෝගයේදී අපට බහුලව දක්නට නොලැබෙන තත්ත්වයක්.
මීට අමතරව සමහර රෝගීන්ට උණ, ආහාර අරුචිය වැනි රෝග ලක්ෂණ ඇතිවිය හැකියි. ඉතා කලාතුරකින් රුමටොයිඩ් ආතරයිටිස් ඇති පුද්ගලයින්ට ඔවුන්ගේ පෙනහලු, හෘදය, රුධිර නාල, වකුගඩු, ඇස්, සම වගේ අනිත් අවයව සම්බන්ධ දරුණු සංකුලතා ඇතිවිය හැකියි.
රුමටොයිඩ් ආතරයිටිස් රෝගය ඉක්මණින් හඳුනාගෙන ප්‍රතිකාර ලබාගත යුත්තේ ඇයි?
මෙම රෝගයේ මුල් අවධිය ඉතාම තීරණාත්මකයි. එයට හේතුව රුමටොයිඩ් ආතරයිටිස් තත්ත්වයේදී සන්ධි සහ අනෙකුත් අවයවවලට සිදුවන හානිය රෝගය මුල් අවධියේදීම සිදුවීමයි. එබැවින් මෙම රෝගයට මුල් අවධියේදීම නිසි වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීම ඉතාම වැදගත් වනවා.
හඳුනාගැනීමට සිදුකරන පරීක්ෂණ…
අපි රුමටොයිඩ් ආතරයිටිස් රෝගය හඳුනාගන්නේ රෝගියාගේ රෝග ලක්ෂණ සහ රෝගියා පරීක්ෂාවෙන්. එක්ස් කිරණ (Xray) පරීක්ෂණ සහ රුධිර පරීක්ෂණ රෝග විනිශ්චය සඳහා උපකාරී වෙනවා. එබැවින් ඔබට සන්ධි වේදනාව ඉදිමීම තද ගතිය වැනි රෝග ලක්ෂණ ඇත්නම් සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකුගේ නිර්දේශ මත පරික්ෂණ වාර්තා ලබාගැනීමත් වැදගත්.
රෝගය සඳහා වූ ප්‍රතිකාර…
රුමටොයිඩ් ආතරයිටිස් රෝගය ඉතා හොඳින් පාලනය කිරීමට විශේෂිත ඖෂධ ගනණාවක් තිබෙනවා. ඒවායින් අපි එක් එක් රෝගියා සඳහා වඩාත් සුදුසු ඖෂධ නියම කරනවා. නමුත් මෙම විශේෂිත ඖෂධ ක්‍රියා කිරීමට සති කිහිපයක කාලයක් ගතවන නිසා බොහෝ විට රෝගීන්ට මෙම කාලය තුළ ඔවුන්ගේ සන්ධි ඉදිමීම සහ වේදනාව අඩු කරගැනීම සඳහා කෙටිකාලීනව වේදනා නාශක අවශ්‍ය වනවා.
මේවා ලබා දෙන්නේ තාවකාලික සහනයක් සඳහා පමණයි. සන්ධිවලට සිදුවන හානිය සහ සංකුලතාවන් වළක්වන්නේ මම කලින් සඳහන් කළ රුමටොයිඩ් ආතරයිටිස් සඳහාම විශේෂිත ඖෂධ මගින් පමණයි.
මෙම විශේෂිත ඖෂධ භාවිතයේදී තවත් වැදගත් කරුණක් වන්නේ වරින් වර අපට රෝගීන් පරීක්ෂා කර ඇතැම් වෛද්‍ය පරීක්ෂණ සිදුකිරීමට සිදුවීමයි. එයට හේතුව ප්‍රතිකාර සඳහා බලාපොරොත්තු වන පරිදි ප්‍රතිචාර දක්වන බව තහවුරු කරගැනීමට සහ ප්‍රතිකාරවල අතුරු ආබාධ තිබේදැයි පරීක්ෂා කිරීමයි. ඔබ රෝගය සඳහා ප්‍රතිකාර කරන්නේ නම් නිර්දේශ කර ඇති පරිදි ඖෂධ ලබාගැනීම වැදගත්.
ඖෂධ නිසා අතුරු ආබාධ හෝ ගැටලු ඇතිවනවා නම් ඔබේ වෛද්‍යවරයාට ඒ බව දැනුම් දෙන්න. එවිට ඔබගේ වෛද්‍යවරයාට ඖෂධ හෝ ඖෂධ මාත්‍රාව වෙනස් කිරීමෙන් එම අතුරු ආබාධ මගහරවා ගත හැකියි. ඔබේ සිතැඟි පරිදි ඖෂධ වෙනස් කිරීම නොකළ යුතුයි. ඒ වගේම ඔබ රුමටොයිඩ රෝගියෙකු නම් රෝගය හොඳින් පාලනය වී ඇති බව ඔබට හැඟුණත් ඔබ ඔබේ කැමැත්තට ඖෂධ ගැනීම නතර කිරීම භයානකයි.
එසේ කළහොත් රෝගය නැවත උත්සන්න වීම වැළැක්විය නොහැකි තත්ත්වයට පත්වනවා. දිගු කාලයක් තිස්සේ රෝගය හොඳින් පාලනය වී ඇත්නම් ඖෂධ අඩු කිරීම ගැන සලකා බැලීම සඳහා ඔබේ වෛද්‍යවරයා සමග සාකච්ඡා කළ හැකියි.ඊට අමතරව මෙම රෝගීන් සඳහා පහත සඳහන් ජීවන රටාව වෙනස්කම් නිර්දේශ කරනවා.
ව්‍යායාම
අපි නිර්දේශ කරන්නේ ඇවිදිම, පිහිනීම හෝ බයිසිකල් පැදීම වැනි ්ැරදඉසජ අභ්‍යාස සහ මාංශ පේෂි ශක්තිය වැඩිකරන ව්‍යායාම වර්ගයි.
උසට සුදුසු බරක් පවත්වා ගැනීම
තරබාරු බව රුමටොයිඩ් රෝගීන්ට බොහෝ ගැටලු ඇතිකරයි. සෞඛ්‍ය සම්පන්න ආහාර වේලක් ගැනීම ඉතා වැදගත් ඔබ දුම්පානය කරන්නෙක් නම් එය නැවැත්වීමත් ඉතා වැදගත්.
සංකූලතාවන්ගෙන් ආරක්ෂා වීමට ලබාදෙන උපදෙස් මොනවාද?
සෑම රුමටොයිඩ් ආතරයිටිස් රෝගියෙකුම සංකුලතාවන්ට ගොදුරු නොවන බව මම කලින් සඳහන් කළා. සාමාන්‍යයෙන් මෙම රෝගීන් විටින් විට සංකුලතාවන් සඳහා පරීක්ෂා කරනවා. අනෙක් කාරණය තමයි රුමටොයිඩ් ආතරයිටිස් රෝගීන්ට තරුණ වයසේදී හෘද රෝග ඇතිවීමේ වැඩි අවදානමක් තිබෙනවා. මේ නිසා හෘද රෝග ඇතිවීම වළක්වා ගැනීමට දියවැඩියාව, කොලස්ටරෝල්, අධි රුධිර පීඩනය වැනි අනෙකුත් අවදානම් සාධක හොඳින් පාලනය කළ යුතු වෙනවා.
ජානමය බලපෑමක් එහෙමත් නැත්නම් පවුල් ඉතිහාසය බලපානවාද?
පවුලේ සාමාජිකයෙකුට රුමටොයිඩ් ආතරයිටිස් රෝගය තිබේ නම් ඔබට රෝගය වැළඳීමට තිබෙන අවදානම වැඩිවිය හැකියි. ඒ නිසා ඔබට රුමටොයිඩ ආතරයිටිස් පිළිබඳ පවුල් ඉතිහාසයක් තිබේ නම් වඩාත් ප්‍රවේසම් විය යුතු අතර එවැනි රෝග ලක්ෂණ මතු වුවහොත් වෛද්‍යවරයෙකු වෙත යොමුවන්න.
පුන්‍යා චාන්දනී ද සිල්වා