ලෝකයේ අලුතින් හඳුනාගන්නා පිළිකා රෝගීන් ප්‍රමාණය දිනෙන් දිනම වැඩිවෙනවා. හරියට වසංගතයක් වගේ. ඇතිවන පිළිකාවලින් වළක්වාගන්න පුළුවන් වෙන්නේ මුළු පිළිකා රෝගීන්ගෙන් තුනෙන් එකක ප්‍රමාණයක් පමණක් වීමත්, එම ප්‍රමාණය වුවද වළක්වා ගැනීමට එතරම් උනන්දුවක් ප්‍රජාව තුළ නොමැති වීමත් මීට ප්‍රධාන හේතු ලෙස දක්වන්න පුළුවන්. තවද පිළිකා බහුලවම දක්නට ලැබෙන්නේ මිනිසුන් වයස්ගත වන විටදී වීමත් ලෝකයේ වයස්ගත ජනගහනය ක්‍රමක්‍රමයෙන් වැඩිවීමත් මීට තදින්ම බලපානවා.පිළිකාවක් සෑදුණ රෝගයෙකුට ඇති ප්‍රධානතම අභියෝගය වන්නේ තමාට සෑදුණ පිළිකාව නිට්ටාවටම සුවකර ගැනීමයි. නවීන විද්‍යාවේ දියුණුවට පිංසිදුවන්නට බොහෝමයක් පිළිකා රෝගීන්ට තම පිළිකාව සුවකර ගැනීමේ වාසනාව දැන් උදාවී තිබෙනවා. කෙසේ වෙතත් පිළිකා රෝගියෙකුට මුහුණ දීමට සිදුවන දෙවන භයානකම අභියෝගය වන්නේ තමන්ට ඇතිවන වේදනාවන් සමනය කරගැනීමයි.
පිළිකා රෝගියෙකුට නොයෙක් ආකාරයෙන් ඇතිවන වේදනාවන්…
1. කායික වේදනාවන්
2. මානසික වේදනාවන්
3. සමාජයික සහ ආර්ථික වේදනාවන්
4. ආධ්‍යාත්මික වේදනාවන්
අපි අද ලිපියෙන් පිළිකා රෝගියෙකුට ඇතිවන කායික වේදනාව ගැන අවදානය යොමුකරමු. කනගාටුවට කාරණාව නම් බොහෝමයක් පිළිකා රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල අය පිළිකා රෝගීන්ට ඇතිවන කායික වේදනාව වළක්වාගත නොහැකි මෙම රෝගීන්ට පොදු වූ සාමාන්‍ය තත්ත්වයක් ලෙසට සැලකීමයි. ‘පිළිකාවක් හැදුණොත් ඉතින් දුක් විඳින්න වෙන එක සාමාන්‍ය දෙයක්. ඒක වළක්වන්න බැහැ.
එහෙම නැත්නම් ඉතින් ඒක පිළිකාවක් වෙන්නේ නෑනේ’ මෙලෙස සමහරුන් පවසනවා ඔබ බොහෝවිට අසා ඇති. මේක ඇත්තක්ද? බොහෝමයක් රෝගීන් සහ ඔවුන්ගේ පවුල්වල අය පමණක් නොවේ, ඉතාම දුක්ඛිත කාරණාව වන්නේ බොහොමයක් වෛද්‍යවරු පවා හිතාගෙන ඉන්නේ මෙම රෝගීන්ගේ වේදනාවන් වළක්වාගන්න බැරි, වැළැක්වීමට අවශ්‍ය නැති සාමාන්‍ය දේවල් ලෙසටයි. මේ නිසාම තමයි ශ්‍රී ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල්වල පිළිකා රෝගීන්ට අනේකවිද වේදනාවලින් පීඩා විඳින්න සිද්ධවෙලා තියෙන්නේ.
මීට අවුරුදු කිහිපයකට පෙර ශල්‍ය වෛද්‍ය විද්‍යාව පිළිබඳ මහාචාර්යවරයෙක් පිළිකා රෝගී කාන්තාවක් මා වෙත යොමු කළා. ඇයට සුවකළ නොහැකි තත්ත්වයේ පිළිකාවක් තිබූ අතර ඒ නිසා ඇයට විඳින්නට වූ කායික වේදනාව මෙතෙකැයි කියා කියන්නට බැරි තරම්. ඇයව පීඩාවලට පත්කළ වේදනාව සමනය කිරීමට මීට පෙර ඇයට ප්‍රතිකාර කළ කිසිදු වෛද්‍යවරයකුට හැකිවී තිබුණේ නෑ. පුදුමයට කරුණ නම් ඇයට ප්‍රතිකාර කළ ඇතැම් වෛද්‍යවරු ඇය කායික වේදානාවලින් පීඩා විඳින බවට හඳුනාගෙන තිබුණේවත් නෑ.
ඔවුන් බොහෝ දෙනෙක් උනන්දු වී තිබුණේ ඇගේ පිළිකාවට ප්‍රතිකාර කිරීමට පමණයි. පිළිකාවට පමණක් ප්‍රතිකාර කිරීම පැරණි, යල් පැනගිය ක්‍රමයක් බවත් අලුත් ක්‍රමය වනුයේ පිළිකාව ඇති රෝගියාට ප්‍රතිකාර කිරීම බවත් බොහෝ දෙනෙක් දැන නොසිටින්නට ඇති.
විනාඩි කිහිපයක් ගතවන්නටත් පෙර ඇගේ කායික වේදනාව සම්පූර්ණයෙන්ම පාහේ සමනය කරදීමට මට හැකියාව ලැබුණා. මේ සඳහා මම යොදාගත්තේ මෝෆීන් නම් දිව්‍යමය ඖෂධයයි. මෙය ස්වර්ණමය ඖෂධය (Golden drug) ලෙසද හඳුන්වනු ලබන්නේ එහි ඇති මේ මිල කළ නොහැකි වේදනා නාශක ගුණාංග නිසාමයි.
ඉන් අනතුරුව නිවසේදී මෙම ඖෂධය රෝගියාට ලබාදිය යුතු ආකාරය රෝගියාගේ ස්වාමියාට සහ පවුලේ අන් අයටද හොඳින් පැහැදිලි කර අවශ්‍ය තරම් ඖෂධ සමගින් ඇයව නිවසට පිටත්කර හැරියා. නමුත් පසුව දැනගන්නට ලැබුණේ ඇගේ ස්වාමියා විසින් කිසියම් වැරදි වැටහීමක් නිසා ඇයට මෙම ඖෂධ ලබානොදී ඒවා සඟවා තිබූ බවත් ඉතා ශෝචනීය ලෙස දැඩි වේදනා විඳිමින් ඇය ජීවිතයේ අවසන් දින කිහිපය ගතකර තමාට අකාරුණික වූ ලෝකයාගෙන් සමුගත් බවයි.
මෙයින් පැහැදිලි වන්නේ තම පවුලේ කිට්ටුම අයගේ වැරදි අවබෝධය නිසාද බොහෝමයක් පිළිකා රෝගීන්ට වේදනා විඳිමින් තම ජීවිතයේ අවසන් කාලය ගතකිරීමට සිදුවන බවයි.පිළිකා රෝගීන්ගේ වේදනාව නැති කිරීමට හැකියාව තිබියදීත් එය සිදුනොකිරීම විමතියට කාරණාවක්. මේ ගැන විශාල සමාජ සංවාදයක් ඇතිවිය යුතුමයි. සහන සත්කාරයේ ( Palliative Care ) ප්‍රධානතම කොටසක් වන කායික වේදනාව සමනය කිරීම පිළිබඳ දැනුම සහ ආකල්පය අතින් ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ ඉතාම පහත් ගෝත්‍රික මට්ටමකයි. මම රාජ්‍ය සේවයේ නියුතු කාලයේ මේ සම්බන්ධව වගකිවයුතු අය සමග පැවති සාකච්ඡාවලදී ඇතැම් ඉහළ නිලධාරීන් මේ ගැන දැරූ මතය ඉතාම ශෝචනීය වූවා.
රෝගීන්ගේ වේදනාවන් සමනය කිරීමට ප්‍රමාණවත් තරම් මෝෆීන් ඖෂධය ලබාදීමේ ප්‍රායෝගික ක්‍රමවේදයක් ඇතිකිරීම පිළිබඳ අවදානය යොමු කරවනු ලැබූවද ඒ පිළිබඳ ඇතැම් නිලධාරීන්ගේ ආකල්ප බොහෝ සෙයින් ඇල්මැරුණු ගතියක් පෙන්නුම් කළා. ඖෂධ අවභාවිත වීමේ අවදානම පමණක් ගැන කතා කළ ඔවුන් රෝගීන්ගේ පීඩාකාරී වේදනාවන් සමනය කිරීම ගැන සිතීමට තරම් සංවේදී වූයේ නෑ. මේ නිසාම අදටත් මුඛ මාර්ගයෙන් ඖෂධ ලබාගැනීමට අපහසු, ජීවිතයේ අවසාන පැය කිහිපය ගත කරමින් වේදනාව සමග පොර බදන අසරණ රෝගීන්ට තම නිවසේ සිට මෝෆීන් එන්නත ලබා ගැනීමේ භාග්‍ය අහිමිකර තිබෙනවා. මේ සඳහා ඔවුන්ට රෝහල් ගත වීම අනිවාර්ය වී තිබෙනවා.
ප්‍රායෝගික ගැටලු රාශියකට මුහුණ දෙමින් සිටින මේ අසරණ රෝගීන් බොහෝමයකට තම ජීවිතයේ අවසන් හෝරා කිහිපය රෝහල් ගතව සිටීම කිසිසේත්ම කළ නොහැක්කක් වනවා. තවද බොහෝමයක් රෝහල් තුළ වැඩි අවධානයක් තවමත් යොමුවන්නේ සුවකළ හැකි රෝගීන් සඳහා වන අතර මෙවැනි අසරණ රෝගීන් වෙනුවෙන් කාලය සහ ශ්‍රමය යොමුවන්නේ ඉතා කලාතුරකින්.
බොහෝ දෙනෙක් පෙරට වඩා අද සහන සත්කාරය සහ මෙවැනි රෝගීන්ගේ වේදනාව ගැන කතාකිරීම යම් පමණකට හෝ සැනසීමක් ගෙනදෙනවා. නමුත් මේවා බොහෝ විට දේශනවලට සහ වැඩමුළුවලට පමණක් සීමා වී තිබීම ඉවසිය නොහැකි වේදනාවක් ගෙනදෙන කාරණාවක්. බොහෝමයක් පිළිකා රෝගීන්ට ඇතිවන වේදනාවන් සමනය කිරීමට හැකියාව තිබියදීත් ඇයි අප එය නොකරන්නේ? අද මේ ගැන නොසලකා හරින අප හෙට දිනයේදී පිළිකාවකින් වේදනා විඳින රෝගියෙක් වීමට බොහෝ දුරට ඉඩ තිබෙනවා. අනුන් ගැන සිතීමට අකමැති නම් අඩුම තරමින් තමන් ගැනවත් සිතා මේ ගැන වහා කටයුතු කළ යුතුයි නේද?
පිළිකා රෝගියකුට කායික වේදනාවන් ඇතිවිය හැකි අවස්ථාවන්
1. පිළිකා රෝගය හඳුනාගැනීමට සහ එහි පැතිරීම ගැන විපරම් කිරීමට කරනු ලබන පරීක්‍ෂාවන්වලදී. උදා: ඇටමිදුළු පරීක්‍ෂාවන් කිරීමේදී, පටක සාම්පල ලබාගැනීමේදී
2. හඳුනාගත් පිළිකාවට ප්‍රතිකාර කිරීමේදී උදා: ශල්‍යකර්ම, විකිරණ ප්‍රතිකාර, පිළිකා නාශක ඖෂධ ප්‍රතිකාර ආදී පිළිකා ප්‍රතිකාරයන් කිරීමේදී
3. පිළිකාවලට ප්‍රතිකාර කිරීමෙන් පසු සායනික පසුවිපරම් කිරීමේදී කරනු ලබන පරීක්‍ෂණ සහ පරීක්‍ෂාවන් නිසා. උදා: එන්ඩොස්කොපි පරීක්‍ෂාවන්,ඇටමිදුළු පරීක්‍ෂාවන්.
4. පිළිකාව නිසාම ඇතිවන වේදනාවන්. පිළිකාවේ හටගත් ස්ථානයේ අවට පිළිකාව කෙළින්ම පැතිරෙමින් අවට පටකවලට හානි කිරීමේදීත් පිළිකාව දුරස්ථ පටකවලට පැතිරී එම ස්ථානවල පටක සහ අවයව වලට හානි කිරීමේදීත් බොහෝවිට වේදනාවන් ඇතිවෙයි.
5. පිළිකා ප්‍රතිකාර නිසා ඇතිවන කෙටිකාලීන සහ දිගුකාලීන අතුරු ආබාධ නිසාද වේදනාවන් ඇතිවිය හැකියි.
ඉහත සඳහන් කළ නොකළ ඕනෑම අවස්ථාවකදී ඇතිවන කායික වේදනාව කුමන හේතුවක් නිසා ඇතිවන්නේද කියා හොඳින් සොයා බලා එම වේදනාවේ ප්‍රමාණාත්මක බව ගැන අවබෝධයක් ලබාගෙන ඒ සඳහා සුදුසුම ප්‍රතිකාරය හෝ ප්‍රතිකාරයන් ලබාදිය යුතු වෙනවා.
මධ්‍යම ප්‍රමාණයේ සහ ඉතා ඉහළ ප්‍රමාණයේ වේදනාවන් ඇති අවස්ථාවලදී ඒ සඳහා බොහෝවිට සාර්ථක වේදනා නාශකයක් ලෙස මෝෆීන් යොදාගත හැකිවනවා. මෙහිදී මෝෆීන් නිසා ඇතිවිය හැකි අතුරුආබාධ වළක්වාලන ප්‍රතිකාර සමගින් එය ලබාදිය යුතු වෙනවා. වමනය හා මළබද්ධය මේ අතර ප්‍රධාන වෙනවා.මෝෆීන් ලබාදීමේදී නිවැරදි මාත්‍රාව නියමිත කාල අන්තරවලින් ලබාදීම ඉතාම වැදගත්. මෙම කාරණාව බොහෝදුරට නිසි ආකාරව ශ්‍රී ලංකාව තුළ සිදුනොවන බව පෙනෙන්නට තිබෙනවා.
මෝෆීන්වලට පිළිකා රෝගීන් ඇබ්බැහි වනවාද?
වේදනාවක් හෝ හුස්ම ගැනීමේ අපහසුවක් නැති සාමාන්‍ය කෙනෙකුට මෝෆීන් දුන්විට ඇබ්බැහිවීමක් සිදුවන්නට පුළුවන්. නමුත් වේදනාවෙන් පීඩාවිඳිනරෝගියකුට නිවැරදිව මෝෆීන් දුන්විට ඇබ්බැහි වීමක් කිසිවිටෙකත් සිදුවන්නේ නෑ. මෝෆීන් මිනිස් සිරුර තුළ වැඩිපුරම ආකර්ෂණය වන්නේ උද්දීපනය වූ වේදනා ප්‍රතිග්‍රාහකවලටයි. එබැවින් වේදනා ප්‍රතිග්‍රාහක නිෂ්ක්‍රීය කිරීමට ප්‍රමාණවත් තරම් මෝෆීන් ප්‍රමාණයක් ලබාදුන් විට ඇබ්බැහි වීමක් සිදුවන්නේ නෑ. මේ ප්‍රතිකාරය නිවැරදිව කිරීමට ඒ ගැන හොඳ පුහුණුවක් තිබෙන්නට ඕනෑ.අදට වඩා වැඩියෙන් පිළිකා රෝගීන්ගේ වේදනාව ගැන සංවේදී වී එම වේදනා තත්ත්වය සමනය කිරීමට කටයුතු කිරීම මානව අයිතිවාසිකමක් සපුරාලීමක්ද වෙනවා.
හරින්දී ලියනගේ