සයටිකා යනුවෙන් හැඳින්වෙන මේ රෝග තත්ත්වය කුමන්ද?
සාමාන්‍යයෙන් ජීවිත කාලයේදී 10% – 40% කට මෙම රෝග තත්ත්වය ඇති වෙනවා. සයටික් කියන්නේ ස්නායු පද්ධතියේ විශාලතම ස්නායුව. මෙම ස්නායුව තට්ටම, දණහිස, කලවා සිට පාදවල ඇඟිලි දක්වා විහිදෙනවා. කොඳු ඇට පෙළ අතර තිබෙන කුඩා සිදුරු වලින් පිටවෙන කුඩා ස්නායු එකතු වී මේ ස්නායුව හැදෙනවා. මේ ස්නායුව මත පීඩනයක් එහෙම නැත්නම් තෙරපුමක් ඇති වුණොත් අපට එය වේදනාවක්, එහෙම නැත්නම් හිරි වැටීමක් විදිහට දැනෙන්න පුළුවන්. සයටික් ස්නායු දෙකක් තිබෙනවා. ඒ නිසා මේ විහිදීම පාද දෙකටම ඇතිවෙන්න පුළුවන්. නමුත් බොහෝ විට සයටිකා රෝගයේදී ස්නායුවක් තෙරපීම නිසා සිරුරේ එක් පැත්තක මේ අපහසුතාවය ඇති වෙනවා. නමුත් සමහර රෝගීන්ගේ සයටිකා ස්නායු දෙකම ආශ්‍රිතව ඇති වෙන පීඩනය නිසා සිරුරේ පාද දෙකම ආශ්‍රිතව වේදනාව ඇති වෙන්න පුළුවන්.
රෝග තත්ත්වය ඇති වීමට වයසක්, ස්ත්‍රි පුරුෂ භේදයක් බලපානවාද?
සාමාන්‍යයෙන් අවුරුදු 20 ට අඩු පොඩි දරුවන් අතර සයටිකා රෝග තත්ත්වය දකින්න ලැබෙන්නේ ඉතාම කලාතුරකින්.දෙපාර්ශවයටම රෝගය ඇති වීමට හැකියාව තිබෙනවා.
සයටිකා රෝග තත්ත්වය ඇති වීමට හේතු
● කොදු ඇට සහ කුඩා සන්ධි බන්ධනවල කාලය සමග ඇති වෙන වෙනස්කම් නිසා අවහිරතා ඇති වීම.
● ලිස්සා යෑම
● කොඳු ඇට පෙළ අතර පිහිටි “ඩිස්ක්” (Disk) වෙනස් වීම.
● වැරදියට බර ඉසලීම
● කලක් තිස්සෙ කරන වැරදි ඉරියව්
● කොන්ද ආශ්‍රිත ආසාදන තිබෙන ක්ෂය රෝගීන්ට
● පිළිකා ගෙඩි
රෝග තත්ත්වය ගැන දැනෙන සංඥාවන් මොනවාද?
සයටිකා රෝග තත්ත්වයේදී ඇවිදින විට කොන්ද, කකුල ආශ්‍රිතව වේදනාවක් දැනෙන්න පුළුවන්. කරන්ට් එක දුවනවා වගේ සංවේදනයක් දැනෙනවා. හිරි ගතිය ඒ වගේම කිවිසන විට වේදනාව අධික වීම.
සයටිකා රෝග තත්ත්වය ජීවිතයට බලපෑමක් ඇති කරයිද?
සමහර විට මේ රෝග තත්ත්වය ප්‍රතිකාර නොලබාම කාලය සමග සුව වෙනවා. නමුත් රෝගය ප්‍රබල වුණොත් අපේ ශරීරයේ ශක්තිය දුර්වල වෙනවා. බහුතරයක් දෙනාට සති 6 ක් වැනි කාලයකදි සුව වෙනවා.සාමාන්‍යයෙන් සයටිකා රෝගය ජීවිත අවදානමක් ඇති කරන්නේ නැහැ. එයින් රෝගියාට අපහසුතාවයක් ඇති වෙනවා. නමුත් ඉතා කලාතුරකින් ඇති වෙන කොන්ද ආශ්‍රිත ගෙඩි, පිළිකා වැන් තත්ත්වයන්හිදී යම් අවදානමක් ඇති වෙනවා.
බොහෝ රෝගීන් කොන්ද ආශ්‍රිතව ඇති වෙන වේදනාවන් ගැන මුල් අදියරේදී එතරම් සැලකිල්ලක් ගන්නෙ නැහැ. මෙය සාමාන්‍ය රෝග තත්ත්වයක් කියලා හිතා ගෙන වෛද්‍ය ප්‍රතිකාර වෙත යොමු වෙන්නේ නැහැ. ඒ නිසා කලාතුරකින් වුණත් මුල් අවදියේදි ඇති වෙන රෝග ලක්ෂණ නොසලකා සිටියොත් බරපතල වෙන තෙක් හඳුනා ගැනීමට අපහසුයි.
පිළිකා සහ ගෙඩි ආශ්‍රිත රෝග තත්ත්වයකදී සයටිකා රෝග ලක්ෂණවලට අමතරව තවත් රෝග ලක්ෂණ ඇති වෙනවා. සිරුර කෙට්ටු වීම, අප්‍රාණික බව, ආහාර අරුචිය, වෙනත් රෝග පිළිබඳ ඉතිහාසය ඒ නිසා යම් සැකයක් හිතේ තිබෙනවා නම් සුදුසුකම් ලත් විශේෂඥ වෛද්‍යවරයෙකු වෙත යොමු වීම වැදගත්.
සයටිකා රෝග තත්ත්වය නිශ්චය කර ගැනීම සඳහා සිදු කරන පරීක්ෂණ
ස්නායු වෛද්‍යවරුන් රෝගියා සඳහන් කරන රෝග ලක්ෂණ සහ අපහසුතාවයන් අනුව “සයටිකා” රෝග තත්ත්වයක්දැයි නිශ්වය කර ගන්න පුළුවන්. කොඳු ඇට පෙළ අස්ථි අතර වෙනස්කම් ගැන හඳුනා ගැනීමට දළ වශයෙන් සාමාන්‍ය එක්ස්රේ (X-ray) පරීක්ෂණයකින්ද පුළුවන්. ඒත් ප්‍රබල රෝග ලක්ෂණ තිබෙනවා නම් MRI වැනි ස්කෑන් පරීක්ෂණ ලබා ගැනීම සිදු කරනවා. MRI පරීක්ෂණයකින් මගින් ස්නායු අතර වෙනස්කම් හොඳින් පේනවා. ඒ නිසා රෝග සංකුලතාවයක් තිබෙන රෝගීන් MRI පරීක්ෂණ සඳහා යොමු කරනවා.
රෝගයේ ප්‍රතිකාර
● රෝගියාගේ රෝග තත්ත්වය අනුව ප්‍රතිකාර ආරම්භ කරනවා. ස්නායු සඳහා වූ ඖෂධ වගේම වේදනාව කළමනාකරණය කර ගැනීමට වේදනා නාශක ඖෂධ ලබා දෙනවා. එමගින් එදිනෙදා කටයුතුවල යෙදීමට හැකි විදිහට උපකාරයක් ලැබෙනවා.
● භෞතචිකිත්සක (physiotherapy) ප්‍රතිකාර ලබා දෙනවා.
● ඉරියව් පවත්වා ගැනිමෙන් රෝග තත්ත්වය පාලනයට උපදෙස් ලබා දෙනවා.
● සමහර රෝගීන්ට අදාල ස්නායුව හඳුනාගෙන ඖෂධ ඉන්ජෙක්ෂන් ලෙසින් ලබා දීම සිදු වෙනවා.
● කොඳු ඇට ආශ්‍රිත ශල්‍යකර්ම මගින් සුව කරන්නත් පුළුවන්.
සාමාන්‍යයෙන් ශල්‍යකර්ම නිර්දේශ කරන අවස්ථා
ශල්‍යකර්මයක් සඳහා රෝගියෙක් යොමු කරන්නේ මේ රෝග තත්ත්වය නිසා ඒ රෝගියාට තමන්ගේ එදිනෙදා ජීවිතයට ඇති වෙන බලපෑම අනුවයි. විශේෂයෙන් තරුණ පුද්ගලයෙක් නම් රෝගය අඩු නොවිම නිසා ජීවිතයේ බොහෝ කටයුතුවලට පසුබෑමක් ඇති වෙනවා නම් ඒ තත්ත්වය ශල්‍යකර්මයකින් හෝ සකස් කර ගැනීමට අවශ්‍යයි. නමුත් වයස්ගත පුද්ගලයෙක් නම් ශල්‍යකර්මයක අවදානම සලකා පවතින රෝග තත්ත්වය කළමනාකරණය කර ගැනීමට උපදෙස් ලබා දෙනවා.
කොඳු ඇට පෙළ පැවැති තත්ත්වය නිවැරදි කළත් නැවතත් එවැනි වෙනස්කම් ඇති වෙන්න පුළුවන්ද?
ඔව්. කොදු ඇට පෙළ අස්ථි අතර වෙනස නිවැරදි කළත් නැවතත් එවැනි තත්ත්වයක් ඇති වෙන්න පුළුවන්.
බරක් උසුලන විට කොන්දට බර නොදැනෙන විදිහට දණහිස නවාගෙන බර උසුලන්න. සිටගැනීම, වාඩි වීම වැනි ඉරියව් නිවැරදිව පවත්වා ගැනීම.
තරබාරුව පාලනය කරගන්න.
ව්‍යායාමයන්හි නිරත වෙන්න.
පුන්‍යා චාන්දනී ද සිල්වා