Bronchiolitis වෙන්න පුළුවන්
පුංචි දරුවන්ට නිතරම උණ, කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව වැනි රෝග ලක්ෂණ සමග ඉහළ සහ පහළ ශ්වසන මාර්ගයේ බැක්ටීරියා හෝ වෛරස ආසාදන ඇති වෙන්න පුළුවන්.අපේ අම්මලා ශ්වසන පද්ධතියේ ඇතිවන මෙම ආසාදන “සෙම අමාරුව” යනුවෙන් හඳුන්වනවා. ඒ අතරින් වයස අවුරුද්දට වඩා අඩු දරුවන්ට වැඩිපුරම හැදෙන පහළ ශ්වසන මාර්ගයේ රෝගී තත්ත්වයන් “Bronchiolitis” යනුවෙන් හැඳින්වෙනවා. සාමාන්‍යයෙන් මාස 3 ත් 6 ත් අතර වයසේ දරුවන්ට “Bronchiolitis” වැළඳීමේ වැඩි සම්භාවිතාවක් තිබෙනවා.
මොකක්ද මේ Bronchiolitis කියන්නෙ?
“Bronchiolitis” කියන්නේ මිලි මීටර් 2 වඩා කුඩා ශ්වසන නාලිකාවල ඇතිවන වෛරස රෝග තත්ත්වයක්. RSV එහෙම නැත්නම් respirotory syncytial virus වෛරස ප්‍රභේදය නිසා ඇතිවන රෝග තත්වයක්. ඊට අමතරව “ රයිනෝ වෛරසය ( Rhino virus ) ඇඩිනෝ වෛරසය ( Adino virus ) සහ ( influenz virus ) නිසාත් මේ රෝග තත්ත්වය ඇති වෙන්න පුළුවන්.
වෛරසය ආසාදනය වුණොත් මොකද වෙන්නෙ?
මේ වෛරසය කුඩා දරුවෙකුගේ ශ්වසන පද්ධතිය හරහා ඇතුළු වී පැය 18- 24 ක් අතර කාලයේදී රෝග ලක්ෂණ මතු වෙනවා. මේ වෛරසය නිසා කුඩාම ශ්වාස නාලිකාවල ශ්ලේෂ්මල එහෙම නැත්නම් ඔබ දන්නා වචනයෙන් කිව්වොත් “සෙම” නිපදවීම වැඩි වනවා. ඒ නිසා සිදුවන ශ්වාස නාලිකා අවහිර වීමෙන් දරුවාට හුස්ම ගැනීමේ ක්‍රියාවලිය නිවැරදිව සිදුකරන්න අපහසුතාවක් ඇතිවනවා. එහෙම වුණාම දරුවා අපහසුවෙන් හුස්ම ගන්නා ආකාරය ඔබත් දැක ඇති.
රෝග ලක්ෂණ මොනවාද?
උණ
මේ වගේ වෙලාවක දරුවාගේ ශරීර උෂ්ණත්වය ඉහළ යනවා. දරුවාට උණ ගතියක් තිබුණත් වෙව්ලා උණ ගැනීමක් සිදුවන්නේ නැහැ. සාමාන්‍යයෙන් ශරීර උෂ්ණත්වය 101.5 f ° ( 38-39c ) ට වඩා අඩුවෙන් පවතිනවා.
කැස්ස
මේ විදිහට දින දෙක තුනක් ගත වෙන විට දරුවාට කැස්ස ඇතිවනවා. මුලින් නම් තද කැස්සක් ඇතිවන්නේ නැහැ. නමුත් ටිකෙන් ටික මේ කැස්ස වියළි කැස්සක් බවට පත්වනවා.
හුස්ම ගැනීමේ අපහසුතාව
දරුවාගේ ශ්වසන මාර්ගයේ පුංචිම ශ්වාස නාලිකා අවහිර වීම. මේ නිසා පපුවෙන් “රාං රූං” ශබ්දයක් ඇතිවනවා. බොහෝ විට ඔබ “Wheezing” යැයි නිතරම කියන්නේ මේ තත්ත්වයයි. මේ අපහසුව තව තවත් වැඩිවන විට දරුවා අඬන්න පටන් ගන්නවා. ඒ වගේම කිරිබීම පවා ප්‍රතික්ෂේප කරන්නට තරම් අපහසුතාවක් දරුවා වෙතින් දක්නට ලැබෙනවා.
Bronchiolitis රෝග තත්ත්වය ඇතිවීමේ වැඩි අවදානමක් ඇති දරුවන් කවුද?
දරුවාගේ වයස මාස 3 කට වඩා අඩු නම්
නොමේරූ දරුවෙක් නම්
උපත් බර අඩු නම්
උපතේදී හෘද රෝග සංකුලතාවන් තිබෙනවා නම්
දරුවාගේ ශරීර ප්‍රතිශක්තිකරණය අඩු නම්
දෙමව්පියන් දුම්පානය කරනවා නම්
මේ වගේ දරුවන්ට “Bronchiolitis” රෝග තත්ත්වය ඇතිවීමට වැඩි අවදානමක් තිබෙනවා. නමුත් බොහෝ දරුවන්ට මේ රෝග තත්ත්වය ඇති වුණත් ඔවුන්ගේ ස්වභාවික ශරීර ප්‍රතිශක්තිකරණයෙන්ම පාලනය වෙනවා. ඒ අතරට අපි දරුවාගේ රෝග තත්ත්වය කළමනාකරණය සඳහා සහාය සත්කාර ( supportive care ) ලබාදෙනවා.
එලෙස ලබාදෙන සහය සත්කාර ( supportive care ) ගැනත් පැහැදිළි කිරීමක් ලබාදුන්නොත් මව්පියන්ට වඩාත් ප්‍රයෝජනවත් වේවි
දරුවාගේ උණ තත්ත්වය පාලනය කිරිම සඳහා පැරසිටමෝල් ඖෂධය අදාළ මාත්‍රාවකින් ලබාදෙනවා.
දරුවා විජලන තත්ත්වයෙන් වළක්වා ගැනීමට අවශ්‍ය අන්දමින් ප්‍රතිකාර ලබාදෙනවා.
ශ්වසන අපහසුතාවන් ඇති අවස්ථාවලදී ඔක්සිජන් ලබාදීම ඇතැම් විට සිදුවනවා.
බොහෝ මව්පියන් “Bronchiolitis” රෝගී දරුවන් වෙනුවෙන් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමේදී ප්‍රමාද වෙනවා. නමුත් රෝග තත්ත්වය කලින් හඳුනාගෙන ප්‍රතිකාර ආරම්භ කළොත් දින 7-10 ක් පමණ කාලයක් ගතවන විට දරුවා සාමාන්‍ය අතට පත් වෙනවා.
අවදානම් කාණ්ඩයේ දරුවන් සම්බන්ධයෙන් නම්
ඔව්. මම මුලින් සඳහන් කළ අවදානම් කණ්ඩායමට අයත් වෙන දරුවන්ට “Bronchiolitis” නිසා විවිධ සංකුලතාවයන් ඇති වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී අදාළ සංකුලතාවන්ට ප්‍රතිකාර ලබාදීම අවශ්‍යයි.
එවැනි දරුවන් සිටින දෙමව්පියන්ට ලබාදීමට පණිවිඩයක් තිබෙනවාද?
ඇත්තටම එවැනි මව්පියන්ව දැනුවත් කිරීම ඉතාම වැදගත්. ඔබේ දරුවා මෙවැනි අවදානම් කණ්ඩායමක සිටිනවා නම් වෛරස ආසාදනය වීමේ ඉඩකඩ අඩු කරගැනීම අත්‍යවශ්‍යයි.
අත්‍යවශ්‍යම කාරණාවකට හැර සෙනග ගැවසෙන ස්ථානවලට දරුවා රැගෙන යන්න එපා.
දරුවා අතට ගැනීමට පෙර අත් සෝදාගන්න
මව්පියන් සමාජයේ ගැවසෙන නිසා මුව ආවරණ පළඳින්න. ඒ වගේම නිතරම අත් සෝදා ගැනීම නිසා වෛරස තත්වයන්ගෙන් දරුවා ආරක්ෂා කරගැනීමට හැකියාව ලැබෙනවා.
එහෙමනම් “Bronchiolitis” රෝග තත්ත්වය පුංචි දරුවෙකුට දරාගැනීමට අපහසු රෝග තත්ත්වයක්. ඔබ දරුවන්ට ආදරය කරනවා නම් ඔබේ පැත්තෙන් ඇති වගකීම් ඉෂ්ට කළොත් දරුවාට වෛරස ආසාදනය වීමට ඉඩ නොදී රැක බලා ගැනීමත් අපහසු නැහැ.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️