ඔබ දැනටමත් දන්නා ආකාරයට රූමටොයිඩ් ආතරයිටිස් රෝගයට නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් ඇතිවන හන්දි ප්‍රදාහය නිසා හන්දි ඇද වී විනාශ වී එම හන්දිවලින් සාමාන්‍ය කටයුතු පවා කරගත නොහැකි තත්ත්වයට පත්වනවා. රූමටොයිඩ් ආතරයිටිස් යනු මුළු ශරීරයේම හටගන්නා රෝගයක් මිස හන්දිවලට පමණක් සීමාවුණ රෝග තත්ත්වයක් නොවේ. මෙම රෝගය නිසා ඇතිවන හන්දි ප්‍රදාහයට පරිබාහිර සංකුලතා රැසක් තිබෙනවා. සමහර සංකුලතාවන්ට ප්‍රතිකාර අවශ්‍ය නොවුණත් ඇතැම් සංකුලතාවන් නිසා ජීවන අපේක්ෂාව පවා අඩුවීමට හැකියාව තිබෙනවා.
ආතරයිටිස් රෝග තත්ත්වය දරුණු ලෙසින් ඇති රෝගීන් තුළ මෙම සංකුලතාවන් බහුල ලෙසින් දැක ගතහැකි අතර රූමටොයිඩ් ආතරයිටිස් රෝගීන්ගේ 40% ක් පමණ දෙනා අතර මෙම සංකුලතාවන් දැකගත හැකිය. ඒ වගේම රෝගය වැළඳුණ වහාම හෝ වැළඳී වසර කීපයකින් මෙම සංකුලතාවන් ඇතිවිය හැකියි. මෙම සංකූලතාවන් හම, ඇස්, පෙනහලු, හෘදය, වකුගඩු, ස්නායු පද්ධතිය, බඩවැල් සහ රුධිර පද්ධතිය ආශ්‍රිතව ඇතිවන්න පුළුවන්. මෙම තත්ත්වය Rheumatoid factor iy HLA-DR4 (DR4) තත්ත්වය ලේවල පෙන්වන රෝගීන් අතර බහුලයි. මෙම සංකුලතාවන් අවම කරගැනීමට කළ හැකි එකම දෙය හන්දි රෝගයට නිසිකලට සුදුසුකම් ලත් වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ලබාගැනීමයි.
හමේ ඇතිවන සංකූලතා
Rheumatoid nodules (හමේ ඇති ගැටිති) 20% ක් පමණ රෝගීන්ට ඇතිවිය හැකියි. මෙය බහුලව ඇතිවන්නේ වැලමිට ආශ්‍රිතවයි. හමේ කුඩා ලේ නහරවල ඇතිවන ප්‍රදාහයන් නිසා හම යට ලේ ගැලීම්, හමේ තුවාල, ඇඟිළි කෙළවර ඇතිවන තුවාල ඇතිවිය හැකිය.
ඇස්වල ඇතිවන සංකූලතාවන්
ඇස් වියළීම මෙහිදී බහුලව දක්නට ලැබෙන රෝග තත්ත්වයකි. මෙම රෝගීන් අතරින් 10% ක් පමණ දෙනා මේ රෝගී තත්ත්වයට පත්වේ. ඇසේ එක් එක් පටක ස්ථර ප්‍රදාහයට පත්වීමෙන් ඇස්වල පටක සදාකාලිකවම හානිවීමට පුඵවන්. මෙම තත්ත්වය Cleritis යනුවෙන් හැඳින්වෙනවා.
කටේ ඇතිවන සංකුලතාවන්
තොලකට වියළීම සහ ඛේට ග්‍රන්ථි ඉදිමීම වැනි රෝග තත්ත්වයන් ඇතිවනවා. මේ තත්ත්වය නිසා ආහාර ගිලීමේ අපහසුතා ඇතිවන්න පුළුවන්. පෙනහලුවල පිටින් පිහිටා ඇති “ප්ලූරා” පටක ඉදිමීම සිදුවනවා. මෙය රෝගීන් අතරින් 10% ක් පමණ දෙනා අතර දක්නට ලැබෙන තත්ත්වයක්. මෙහි රෝග ලක්ෂණ නේනුම් කරන්නේ නැතිවුණත් කලාතුරකින් මෙම ප්‍රදාහය නිසා පෙනහලුවල වතුර පිරෙන තත්ත්වයන් නිසා ශ්වසන අපහසුතාවන් ඇතිවිය හැකියි. Interstitial lung disease (ILD) වැනි දරුණු පෙනහලු රෝග පවා රූමටොයිඩ් ආතරයිටිස් රෝගය නිසා ඇතිවනවා. නිසි ප්‍රතිකාර ලබා නොගතහොත් ජීවිත අවදානම පවා ඇතිවිය හැකියි. ඒ නිසා ශ්වසන පද්ධතිය ආශ්රිත රෝග ලක්ෂණ ඇති අය මෙම රෝග තත්ත්වය වෙනුවෙන් වූ පරීක්ෂණ සඳහා යොමුවීම වැදගත්. එමෙන්ම පෙනහලුවල ගැටිති ඇතිවීම තවත් රෝග තත්ත්වයක් ලෙස සැලකෙනවා.
හෘදය ආශ්‍රිතව ඇතිවන සංකූලතා
හෘදයවස්තුවේ ලේ නහර ඝන වී හෘදයාබාධ ඇතිවීමේ අවදානම රූමටොයිඩ් ආතරයිටිස් රෝග තත්ත්වය නිසා හත් ගුණයකින් වැඩි වෙනවා. හදවතේ බිත්ති ස්ථර ප්‍රදාහයන් ඇතිවීමට පුළුවන්. එහෙත් සෑම අවස්ථාවකදීම රෝග ලක්ෂණ ඇතිවන්නේ නැහැ. කලාතුරකින් Heart failure වැනි තත්ත්වයන් ඇතිවිය හැකියි.
වකුගඩුවල ඇතිවන සංකූලතා
වකුගඩුවල පටක ප්‍රදාහය නිසා වකුගඩු අකර්මන්‍ය වීම සහ වකගඩු සෛල අතර ප්‍රෝටීන් තැන්පත් වීම නිසා වකුගඩු ඉදිමීමට පුළුවන් මෙය ඉතා කලාතුරකින් ඇතිවන තත්ත්වයක්.
ස්නායු පද්ධතිය ආශ්‍රිතව ඇතිවන සංකූලතා
අතේ සහ කකුලේ ඇගිළිවල දැනීම අඩුවන Peripheral neuropathy රෝග තත්ත්වය සහ තනි ස්නායුවක් පණ නැතිවීම නිසා ඇතිවන Mononeuritis තත්ත්වය ඇතිවීමට පුළුවන්. ඊට අමතරව බෙල්ලේ කශේරුකාවන්හි ඇතිවන වෙනස්කම් නිසා සුෂුම්නාව තෙරපීමේ රෝග තත්ත්වය ඇතිවීමටත් හැකියාව තිබෙනවා. මැණික්කටුව ආශ්‍රිතව ඇතිවන ප්‍රදාහය නිසා අතේ ඇඟිලිවලට යන ස්නායුව තෙරපීම නිසා ඇතිවන Carple tunel syndrome යන රෝග තත්ත්වය ඇතිවනවා. මෙයට නිසි ප්‍රතිකාර නොකළොත් අතේ මහටැගිල්ල සදාකාලිකව අකර්මන්‍ය වීමටත් පුළුවන්.
රුධිර පද්ධතිය ආශ්‍රිතව ඇතිවන සංකූලතා
මෙහිදී බහුලව රක්තහීනතාවය ( Anemia ) හෙවත් සිරුරේ රුධිරයේ අඩුවීම දක්නට ලැබෙනවා. ඊට අමතරව සුදු රුධිරාණු අඩුවීම, පට්ටිකා අඩුවීම හෝ වැඩිවීම වැනි රෝග තත්ත්වයන් දක්නට ලැබෙනවා. සමහර අවස්ථාවලදී වසාගැටිති ඉදිමීමේ රෝග තත්ත්වයන් පවා ඇතිවීමට ඉඩ තිබෙනවා.
කලාතුරකින් ඇතිවන Felty syndrome තත්ත්වය නිසා ප්ලීහාව ඉදිමීම සහ සිරුරේ සුදු රුධිරාණු දැඩි ලෙස අඩුවීම නිසා සිරුරට විෂබීජ ඇතුළු වී මරණය පවා සිදුවන්න පුළුවන්. ඒ වගේම කලාතුරකින් ලේවල පිළිකා සහ වසාගැටිති ආශ්රිත පිළිකා තත්ත්වයන් ඇතිවීමට පුළුවන්.
අස්ථි සම්බන්ධ සංකූලතා
මෙම රෝග තත්ත්වය නිසා ඔස්ටියෝපොරෝසිස් රෝග අවදානම සැලකිය යුතු ලෙසින් වැඩිවනවා.
මෙම සංකුලතාවන් අපට වළක්වා ගත හැකිද?
බහුතරයකට මෙම රෝග සංකුලතාවන් වළක්වා ගැනීමට හැකියාවක් තිබෙනවා.
එසේ නම් නිසි ප්‍රතිකාර කියන්නේ
රූමටොයිඩ් ආතරයිටිස් රෝගයට නිසි ප්‍රතිකාර යනු Disease modifying anti rheumatoid drugs යන කුලකයට අයත් ඖෂධ අනිවාර්යෙන්ම පාවිච්චි කිරීමයි. හන්දි වේදනාව අඩුකරන තෙල් බෙහෙත්,
බාම් වර්ග ආලේපනය කිරීමෙන් රෝග ලක්ෂණ පාලනය වුණත් කාලයත් සමග ක්‍රමයෙන් හන්දි ඇදවීමට අමතරව මෙම ලිපියේ සඳහන් ආකාරයට වෙනත් අවයවවල සංකුලතා අවදානම සැලකිය යුතු ලෙසින් වැඩිවෙනවා.
ඊට අමතරව DMRDS වර්ගයේ ඖෂධ මුල කාලයේදීම ලබා නොදුණහොත් පසු කාලයේදී රෝගය Drug free remission (කාලයක් නිසි ඖෂධ ලබාගත්තාට පසු ඖෂධ නොමැතිව රෝගය පාලනය කර ගැනීමේ හැකියාව) යන තත්ත්වයට පත්කර ගැනීමට නොහැකි වෙනවා. ඒ නිසා සුදුසුකම් සහිත විශේෂඥ වෛද්‍යවරයකු හමුවීම ඉතාම වැදගත්. ඒ වගේම අනෙකුත් අවයවයන්හි ඇතිවන සංකුලතාවන් සඳහා (උදාහරණ ඇස්, වකුගඩු, හෘදයවස්තුව ) එම පද්ධති සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් හමුවීම වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️