සියනෑ අවුරුදු කුමරා කුමරිය 2025 පළමු වටයේ තෝරාගැනීම ඊයේ ( 12 වැනි දා බදාදා ) සාර්ථක ලෙස BMICH හි කමත පරිශ්‍රයේදී අවසන් විය.
ඒ සඳහා දිවයිනේ දස දෙසින් තරගකාරියන් සහ තරගකරුවන් පන්සියයකට ආසන්න ප්‍රමාණයක් පැමිණ සිටි අතර වවුනියාව සහ අම්පාර ප්‍රදේශවලින් ද තරගකරුවන් පැමිණ සිටීම මෙවර තරගයේ විශේෂත්වයක් විය.
තරගකාරියන් සහ තරඟකරුවන් තමන් පිළිබඳව කෙටි හැඳින්වීමක් කරමින් ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් ඉදිරියේ තම දක්ෂතාවයන් සහ පෞරුෂත්වය පෙන්නුම් කරන්නට විය. එම තරගකරුවන් අතරින් මූලික වටයෙන් කුමරියන් සහ කුමාරවරු 25 දෙනා බැගින් තෝරා ඔවුන්ගේ පෞරුෂය නැවත නිරීක්ෂණය කරමින් අවසන් කුමරියන් 12 දෙනා සහ කුමාරවරු 12 දෙනා තෝරාගනු ලැබුවා. මේ සියලුදෙනා මාස දෙකකට ආසන්න කාලයක් මනා පුහුණුවකින් පසුව අප්‍රේල් මාසයේ තුන්වෙනි සතියේ පැවැත්වෙන චිත්‍රවත් අවසන් මහා තරගයේදී රූමත් කුමරියක් සහ කඩවසම් කුමාරයෙක් සියනෑ අවුරුදු කුමරා සහ අවුරුදු කුමරිය 2025 ලෙස අභිෂේක ගන්වනු ඇත.
පළමු වටයේ කුමාරියන් සහ කුමාරයන් තෝරා ගැනීමේ විනිශ්චය මණ්ඩලය ලෙස මෙරට රූපලාවණ්‍ය ක්ෂේත්රය, ඇඳුම් නිර්මාණ ක්ෂේත්රය, කලා ක්ෂේත්රය, ක්‍රීඩා සහ මාධ්‍ය ක්ෂේත්රයේ ප්‍රවීණයන් ඇතුලත් වෙමින් චම්පා හිල්, නිල්හාන් සෙනෙවිරත්න, දමයන්ති ෆොන්සේකා, ජැකී අපොන්සු, ජොනී ගුණසේකර, නදීෂා ද සිල්වා, හරින්දි ලියනගේ, සුරංගි අත්තනායක සහ අනූෂා කොඩිතුවක්කු යන අය හොඳම තෝරා ගැනීමක් කිරීමට එකතු විය.
අවසන් වටයට තේරුණු කුමාරියන් 12 දෙනාගෙන් සහ කුමාරයන් 12 දෙනාගෙන් ලබන සතියේ සිට නවලිය පුවත්පතේ පළවන ජ්යාාරූපවලට පාඨක මනාපයෙන් වැඩීම ඡන්ද හිමිකර ගන්නා කුමරියත් කුමාරයාත් නවලිය කුමරා සහ කුමරිය ලෙස අවසන් මහා තරගයේදී අභිෂේක ගන්වනු ඇත.
අඛණ්ඩව සිවුවැනි වරටත් සියනෑ අවුරුදු කුමරා සහ කුමරිය ඉදිරිපත් කරනු ලබන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ රූපලාවන්‍ය ශිල්පීන්ගේ සංගමයේ ආරම්භක සභාපතිවරයා සහ වර්තමාන සභාපති වන සැලොන් මූඩ් හි නියමුවන් වන ප්රවිණ රූපලාවන්‍ය ශිල්පී සමන්ත ගුණසේකර සහ අත්දැකීම් බහුල මෝස්තර නිර්මාණ ශිල්පී ජෙනී ගුණසේකර විසිනි.
දිවයිනේ ජනප්‍රිය සන්නාමයන් වන ලියානා ප්‍රධාන අනුග්‍රහකත්වයත් ලෝරියාල් සහ ඕලසෝ සමානුග්රහකත්වයත්, අපේ මැහුම් පන්තිය සහ හස්ති බතික් සෙසු අනුග්‍රාහකත්වයත් යටතේ පැවැත් වේ.
සියනෑ අවුරුදු කුමරා සහ කුමරිය 2025 සඳහා නිල මුද්‍රිත මාධ්‍ය අනුග්‍රහය අඛණ්ඩව තෙවැනි වරටත් නවලිය කාන්තා පුවත්පත සපයයි . මෙවර විද්‍යුත් මාධ්‍ය දායකත්වය itv මාධ්‍ය ජාලයට අයත් Art TV මගින්ද තරගයේ ඡායාරූප අනුග්‍රහකත්වය දුමින්දු විසින් ලබාදෙයි.
( සියනෑ අවුරුදු කුමරා කුමරිය 2025 පළමු වටයේ තෝරාගැනීමේ විශේෂ අවස්ථා 21 වැනි සිකුරාදා නවලියෙන් බලාපොරොත්තුවන්න.)
හරින්දි ලියනගේ
ඡායාරූප – ඩයාන් ප්‍රදීප්