ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ සම අවස්ථා කේන්ද්‍රයේ ස්ත්‍රී පුරුෂ සමාජභාවී සමානාත්මතා ඒකකය මගින් පළමු වරට සංවිධානය කරනු ලබන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය එළඹෙන දොළොස් වැනිදා එම විශ්වවිද්‍යාලයේදී පැවැත්වේ. එය විශ්වවිද්‍යාලයේ උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය පද්මලාල් ඒ. මානගේ ගේ ප්‍රධානත්වයෙන් සහ මානව ශාස්ත්‍ර හා සමාජ විද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරන්ත හීන්කෙන්දගේ සහභාගීත්වයෙන් පවත්වනු ලබන අතර ප්‍රධාන දේශනය ජපානයේ හිරෝෂිමා විශ්වවිද්‍යාලයේ ආචාර්ය අකිකො නකයමා විසින් පවත්වනු ලබයි. සමාරම්භක සැසියේ දේශකවරුන් ලෙස ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, සම්මානිත ලේඛිකා සුනේත්‍රා රාජකරුණානායක, කැපිටල් මහරාජා සමූහ ව්‍යාපාරයේ අධ්යක්ෂ ෂෙවාන් ඩැනියල් සහ ජාතික රෝහලේ ජ්‍යෙෂ්ඨ හෙද නිලධාරිනී පුෂ්පා රම්‍යානි ද සොයිසා සහභාගී වෙයි. ස්ත්‍රී පුරුෂ සමාජභාවය මූලික කරගනිමින් අධ්‍යාපනය සෞඛ්‍ය සංස්කෘතිය දේශපාලන ලිංගිකත්වය යන ආදී තේමා ඔස්සේ පර්යේෂකයන් රාශියක් ඔක්තෝම්බර් 12 සහ 13 යන දින වල දී සිය පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කිරීමට නියමිතයි. මෙහි පර්යේෂණ පත්‍රිකා ඉදිරිපත් කරන පර්යේෂකයින්ගේ පර්යේෂණ සංක්ෂිප්ත පසුව සම්පූර්ණ පර්යේෂණ ලිපි එකතුවක් ලෙස සකස් කොට සඟරාවක් ද සම්පාදනය වන අතර මෙකී ක්ෂේත්රය ඔස්සේ පර්යේෂණ කටයුතුවල නියැලෙන්නන් හට මෙම සම්මන්ත්‍රණය අනගි අවස්ථාවක් වනු ඇත. එසේම පීඨය මගින් හඳුන්වා දී ඇති ‘පුමිතිරි’ විද්‍යුත් සඟරාවේ දෙවන කලාපය ද මෙදින එළිදැක්වේ.
Reading:
ජ’පුර විශ්වවිද්‍යාලය මගින් පවත්වන ස්ත්‍රී පුරුෂ සමාජභාවය පිළිබඳ අන්තර්ජාතික සම්මන්ත්‍රණය 12 වැනිදා