රුසියාවේ ඈත ගමක අම්මා තාත්තත් නැතුව නෑදෑ ගෙදරක ඉඳන් අනේකවිඳ දුක් වින්ද අල්තීනායිට අලුත් ජීවිතයක් දෙන්නෙ ඈත ගමක ඉඳන් අල්තීනායිගේ ගමට එන දුයිෂෙන් කියන ඇදුරුතුමා. ඔහු ආරම්භ කරනවා ඒ ගමේ පුංචි පාසලක්. එදා පටන් අල්තීනායි අකුරු ඉගෙනගන්නෙ දුයිශෙන්ගේ හෙවණේ. මේ මහා කතාව ඇතුළත් ‘ගුරු ගීතය’ පොත හැම ගුරුවරයෙක්ටම නොවේ. පුංචි පැල රූස්ස ගස් වෙනකල් බලාගෙන පෝෂණය කරන දුයිෂෙන්ලා වගේ ගුරුවරුන්ට එහෙම ගුරුවරු මේ මහ පොළවෙත් ඉන්නවා. ඉතින් එහෙම කෙනෙක් පහුගිය දවසක සමාජමාධ්‍යයේ දැකපු නිසයි මේ පිටු දෙක ඇය වෙනුවෙන් වෙන් කරන්න හිතුවෙ…
කවුද මේ නයනතාරා…
නයනතරා ජයතිලක කියන්නේ මම මේ නයනතාර දැනට කරන්නෙ උපාධියක් හදාරන එක. ඒ සමාජ සේවා විද්‍යාලයෙන්. දැන් යන්නෙ මගේ ෆයිනල් ඉයර් එක.
මොකක්ද මේ ප්‍රොජෙක්ට් එක…
කැම්පස් එකේ ෆයිනල් ඉයර් එකේ තියෙනවා ප්‍රොජෙක්ට් එකක් කරන්න. එකේ අපිට කරන්න තියෙන්නෙ යම් සමාජ කොටසක් තෝරගෙන ඒ මිනිස්සුන්ට තියෙන ගැටලු හොයලා එයලා එක්කම එකතුවෙලා ඒ ගැටලුවලට විසදුම් හොයන එක. ඒකට මම තෝරගත්ත ඒරියා එක තමයි මීගමුව. ඒකට ඕන කරන විස්තර හොයද්දි තමයි කුට්ටිදූව, මුන්නක්කරේ, පිටිපන, මන්කුලිය වගේ ප්‍රදේශවලට මම ගියේ.
මීගමු කලපුවේ ඇතුළට වෙන්න තියෙන මුන්නක්කරේ ළඟ තියෙනවා සිරිවර්ධන පෙදෙස කියලා පොඩි දූපතක්. ඒ දූපතේ මිනිස්සු විදීන පීඩාව මම දැක්කා. ඊටපස්සෙ තමයි මගේ ප්‍රොජෙක්ට් එක කරන්න සිරිවර්ධන පෙදෙස මම තෝරගත්තේ.
මුල්ම අභියෝගය වුණේ මොකක්ද?
මුල්ම අභියෝගය වුණේ මිනිස්සුන්ගේ විශ්වාසය දිනාගන්න එක. මොකද මම ඒ පැත්තට අලුත් විතරක් නෙවෙයි මම බෞද්ධයෙක් වුණ නිසා. එහෙ සීයට අනූවක්ම ඉන්නෙ කතෝලික ජනතාව.එයාලගේ ප්‍රශ්න ගැන දැනගන්න නම් මම එයාලට සමීප වෙන්න ඕනෙ. මම ඒකට කළේ ඒ දූපත්වල තිබුණ හැම උත්සවයකටම සහභාගීවෙන එක. පල්ලියේ මංගල්‍යය නම් මං මිස් කළේම නැහැ. ගමේ ඉන්න පිළිගත් අයවත් මම නිතර නිතර මුණගැහුණා.
මම විශ්වාසය තරමක් දිනාගත්තට පස්සෙ පොඩි පොඩි ටීම් හදාගෙන එයාලට තියෙන ප්‍රශ්න ගැන කතා කළා. ඒ ටීම්වල හිටපු ගොඩක් අයට තිබුණ ප්‍රශ්නයක් තමයි ළමයි අවිධිමත්ව පාසල් යන එක. එහෙ ළමයි සතියකට පාසල් යන්නෙ එක දවසක් හරි දෙකක් හරි.
මම ඒ ප්රශ්නය විසදන්න තීරණය කරලා මුල්ම පියවර විදිහට දූපතේ තිබුණ අයින් කරපු පුස්තකාලය ගමේ කට්ටිය එක්ක එකතුවෙලා අලුත්වැඩියා කළා. ඕන කරන පොත් මමයි මගේ යාලුවෝයි තව අයගෙ උදව් ඇතුව අරගෙන දුන්නා. ඒ වැඩෙන් පස්සෙ තමයි ගමේ අයට තේරුණේ මම ඇවිල්ලා ඉන්නෙ මගේ වැඩේ කරගෙන යන්න විතරක් නෙමෙයි එයාලටත් යමක් කරලා දෙන්න කියලා.ඊටපස්සේ මමයි මගේ යාලුවෙකුයි එකතුවෙලා එයාලගේ මංගල්ලෙ ෆොටෝ ෂූට් එකක් කරලා දුන්නා. එකෙන් මම පල්ලියේ ෆාදර් එක්ක කනෙක්ෂන් එකක් හදාගත්තා.
කතන්දර දූපතේ අත්දැකීම මොනවගේද?
මේ පැත්තෙ සංචාරය කරන්න විදේශිකයෝ නිතරම එන නිසා එයාලා එක්ක කතා කරලා ළමයින්ට යම් ප්‍රමාණයකට ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව තිබුණා. ඒක මට ලොකු වාසියක් වුණා. මම මුලින්ම දූපතට ගිය දවසෙත් ඒ ළමයි මට ඉංග්‍රීසියෙන් කතා කළේ මම විදේශකයෙක් කියලා හිතලා. ඒ වාසිය මම ප්‍රයෝජනයට අරගෙන ළමයින්ට ඉංග්‍රීසි කතන්දර කියලා දෙන්න පටන් ගත්තා.
මට ඕනෙ වුණේ එයාලව ඉස්කෝලේ යවන්න මම මේක කරන්නෙ කියලා ළමයින්ට නොතේරෙන්න මේ වැඩේ කරන්න. සිංහල ලියන්න බැරි, ගණන් හදන්න බැරි ළමයි පවා එහේ හිටියා. එයාලව මම වෙන වෙනම අරගෙන එයාලට මේ විෂයන් ආස හිතෙන විදිහට උගන්වන්න පටන් ගත්තා.දූපතේ තියෙන පල්ලිවල තමයි මුලින්ම කතන්දර පංතිය කරගෙන ගියේ. කතාව ඉංග්‍රීසියෙන් කියලා ඊටපස්සෙ ඒකේ සිංහල තේරුම මම එයාලට කියල දුන්නා. ඊටපස්සෙ අපිට හම්බෙන අමාරු වචන අපි වෙනම ලියා ගෙන ඒවාවල තේරුම් ලියාගන්නවා. පටන් ගන්නකොට ළමයි තුන්දෙනක් හිටියේ දැන් ළමයි පනහක් වගේ එනවා මගේ පංතියට.
හැම උත්සහයක්ම ගත්තේ දරුවන් පාසලට යවන්නද?
මුල් මාස කිහිපයෙන් පස්සෙ මම ළමයින්ට කිව්වා ඉස්කෝලෙ දෙන හෝම්වර්ක් අරගෙන එන්න කියලා. ඊටපස්සෙ මම කළේ කතා කියන එක අඩු කරලා හෝම්වර්ක් වැඩි වෙලාවක් කරන එක. ගොඩක් ළමයි ඉස්කෝලේ යන්න අකමැති වුණේ එයාලට ගෙදර වැඩ කරගෙන යන්න බැරි වුණාම ගුරුවරුන්ගෙන් බැනුම් අහන්න වෙන නිසයි. ඔවුන්ව මෝටිවේට් කරන්න කෙනෙක් හිටියේ නැහැ. ඒත් ඒක වෙනස් වුණා මගෙ පංතිය නිසා. ඉස්කෝලේ නොගිය ගොඩක් ළමයි ආසාවෙන් ඉස්කෝලෙ යන්න පටන් ගත්තා.මම අපේ ළමයින්ගෙ ඉස්කෝලවලටත් ගියා. එතනදී ගුරුවරුත් කිව්වා ළමයිනේ දියුණුවක් තියෙනවා වෙනදාට වඩා ළමයි ඉස්කෝලෙත් එනවා කියලා.
මීගමු කලපුවේ ලස්සනට වැසුණු සිරිවර්ධන පෙදෙසේ කදුළු කතාව…
මේ ළමයි පාසල් නොයෑමේ පිටුපස සමාජ අර්බුද ගණනාවක් තියෙනවා. සංගණනයකදී සිරිවර්ධන පෙදෙස තුළ වයස අවුරුදු පහට අඩු දරුවන් 339 ක් හා වයස අවුරුදු 6 -18 අතර දරුවන් 956 ක් ඉන්නවා කියලා හොයාගත්තා.නමුත් පාසල් යායුතු වයසේ දරුවන් 150 ක් පමණ පාසල් නොයා හිටියා. බහුතරයක් දරුවන් පාසල් යන්නේ කඩින් කඩ බවත් අපට වැටහුණා .පහසුවෙන් ධීවර රැකියාවට යෑමට ඇති හැකියාව නිසා පිරිමි ළමුන් සාමාන්‍ය පෙළ දක්වා හෝ බොහෝ විට අධ්‍යාපනය නොලබන අතර අඩු වයස් විවාහ සිදුවෙන්නද මේක බලපානවා.
ඒ වගේ සිරිවර්ධන පෙදෙස කියන්නේ මත්ද්‍රව්‍ය, කුඩු, අඩු වයසින් විවාහ, අඩු වයසින් ගැබ් ගැනීම්, ජනගහනයට ඉඩකඩ අඩු වීම වගේ ප්‍රශ්න ගොඩක් තියෙන පැත්තක්.ගෘහස්ථ ප්රචණ්ඩත්වය බහුල මෙම ප්‍රදේශයේ මවුපියන් නීතියෙන් වෙන් වීම නිසා හෝ වෙන්ව ජීවත්වීම නිසා අධ්‍යාපනය මඟහැරුණු විශාල ළමයින් විශාල පිරිසක ඉන්නවා.මේ වගේ සමාජ ප්‍රශ්න ගණනාවකටම මුහුණ දී සිටින පාසල් නොයන දරුවන්ව පාසල් යැවීමට උනන්දු කරවීමේ මගේ උත්සහය දැන් සාර්ථක වෙලා තියෙනවා.
හෝම්වර්ක් කරගෙන ඉස්කෝලෙ ගිහින් ගුරුවරුන්ගෙන් හොඳ අහන්න ලැබෙන නිසා දැන් ළමයි ඉස්කෝලෙ යන ප්‍රවණතාව වැඩි වෙලා තියෙනවා වගේම ඉගෙන ගන්න තියෙන ආසාවත් වැඩි වෙලා. ඉස්සර සතියට දවස් තුනක්වත් ගියේ නැති අය දැන් හැමදාම යනවා. කතන්දරවලට අමතරව අපි ඉංග්‍රීසි සින්දු කියනවා සහ Motivational Videos බලනවා.
ළමයින්ට මඟපෙන් වීමක් තමයි අවශ්‍ය කළේ…
ඇත්තටම මේ දරුවන්ට අවශ්‍ය ආදරය. එයාලා ආසයි එයාලව අගය කරනවට. එයාලගේ ඉස්කෝලෙ හෝම්වර්ක් කරවන්න සමහර වෙලාවට දෙමවුපියන්ට දැනුමක් නෑ. නැතිනම් ඒ ගැන උනන්දුවක් නෑ. අපේ වැඩේ නිසා හැමෝම දැන් හෝම්වර්ක් කරනවා. හැමදාම ඉස්කෝලෙන් බැනුම් අහපු එයාලා දැන් ගුරුවරුන්ගෙන් ඇගයීම් ලබනවා.
වයස අවුරුදු අටක ළමයෙක් එනවා මගේ පංතියට. ඒ ළමයා මාස තුනක් පාසල් නොගිය ළමයෙක්. එයාගෙ දෙමවුපියන් වෙන්වෙලා ආච්චි සීයා එක ජීවත් වෙන්නේ. අපේ පන්තිවලට සහභාගී වුණ නිසා ඒ දරුවා දැන් දිගටම ඉස්කෝලෙ යනවා. හොඳින් අධ්‍යාපන කටයුතුත් කරගෙන යනවා.
අධ්‍යාපනයට අමතරව…
ඉංග්‍රීසි කතාන්දර කියැවීමට අමතරව මම ලිංගික හා ප්‍රජනන සෞඛ්‍ය සම්බන්ධ දේවල් දරුවන්ට කියා දෙනවා.උදාහරණයක් විදිහට හොඳ ස්පර්ශයක් සහ නරක ස්පර්ශයක් හඳුනගන්න විදිහ. එහෙම නරක දෙයකට එනවා නම් අපි මොනවද කරන්නෙ වගේ දේවල් මම එයාලට කියලා දෙනවා.
ඒ වගේම ඇයි පිරිසිදුව ඉන්න ඕනෙ, ඇයි දත් මදින්න ඕනෙ වගේ බොහොම සරල දේවලුත් මම එයාලට උගන්වනවා. ඒ වගේම ළමා හිංසනයන් ගැනත් කියලා දෙනවා.මන්දපෝෂණය සහ පෝෂදායී ආහාර අපි ගන්න ඕනෙ ඇයි කියලා මාසයකට එක වැඩසටහනක් කරනවා. අපේ කතාන්දර පන්තියේ ළමයි එකතු වෙලා කෑම උයල රස බලනවා.
පෝෂණය වගේ එකමුතුකම, එකතුවෙලා වැඩ කරන්නෙ කොහොමද, සමගිය, ආදරය වගේ ගොඩක් දේවල් එයාලා මේ වැඩවලදි ඉගෙන ගන්නවා.මේ උපාය මාර්ග නිසා දැන් ළමයි අතර කණ්ඩායම් හැඟීම හා එකිනෙකට උදවු කිරීම වැනි සිතුවිලි වර්ධනය වෙලා තියෙනවා.ඇත්තටම මේ මිනිස්සු ගොඩක් හොඳයි. ගොඩක් විවෘතයි. මේ දරුවන් ගොඩක් දක්ෂයි. සහජයෙන්ම දක්ෂ දරුවන්. එයාලට ඕනෑ ආදරයෙන් පොඩි මඟපෙන්වීමක් විතරයි.
අර්චිත ඉඳුවර ✍️