කෘෂිකාර්මික බෝග වගාවකට අවශ්‍ය සාධක මොනවාදැයි ඇහුවොත් ඔබ මුලින්ම සඳහන් කරන්නේ පස. ඇත්තටම පස නැතුව අපට වගා කරන්න බැරිද? නමුත් අපේ ගොවිතැනේදී පස ප්‍රධානයි. පසේ පොහොර තත්ත්වය, පසේ වර්ණය, පසේ ඇති නිසරු බව වැනි විවිධ සාධක බෝග වගාවකට බලපානවා. ඒ වගේම නිර්පාංශු වගාවන් ගැනත් නවීන කෘෂිකර්මය තුළ වැදගත් කතා බහ සිදු වෙනවා.
Hydroponic
Airponic
Aquaponic
ඒ අතුරින් මත්ස්‍යන්ගේ අපද්‍රව්‍ය යොදා ගෙන සිදු කරන පස් රහිත වගාවක් දැක බලා ගැනීමට ඔබ කැමැති ඇති. අම්බලන්ගොඩ කරන්දෙනියේ පදිංචි ලෝලිත බස්නායකගෙන් මේ ගැන අපි විමසුවා.
ඔබ මේ ව්‍යාපාරයට යොමු වුණේ
මගේ ගම් ප්‍රදේශය කුරුණෑගල, කුලියාපිටිය. ගැඩවිලි වගාව ගැන පුහුණුව ලබා ගත් ලෙස්ලි වර්මිගෝ ආයතනයේදී මට Aquaponic ගැන දළ අදහසක් ඇති වුණා. එතැන් පටන් මට Aquaponic ගැන හිත යොමු වුණා.
මේක අලුත් සංකල්පයක්ද?
නැහැ. අපට තවම මෙය අලුත් වුණාට පිලිපීනය, ජපානය වැනි රටවල මේ ක්‍රමයට වගාවන් පවත්වාගෙන යනවා. මේක සම්පූර්ණයෙන්ම කාබනිකයි.
ඔබ ඒ විදිහට සහතික කරන්නෙ කොහොමද?
අපි මේ වගාවේදී පස් යොදාගන්නේ නැහැ. වගාවට විෂ රසායනයන් ලැබෙන්නේ පස හරහා. ඒ වුණත් මෙතැනදී අපි මත්ස්‍යන් සිටින ටැංකියට කිසිම වසක් එකතු කරන්නේ නැහැ. ටැංකියට යම් රසායනයන් එකතු කළොත් එය ඉහළින් තිබෙන වගාවට බලපානවා. ඒ වගේම වගා බිමට රසායනයන් එකතු කළොත් එය මත්ස්‍යන්ට බලපානවා. ඒ නිසා මත්ස්‍ය ආහාර හැරුන විට වෙන කිසිම දෙයක් එකතු කරන්නේ නැහැ. මත්ස්‍යන්ගේ අපද්‍රව්‍ය සෘජු ලෙසින්ම වගාවට යොදා ගන්නවා.අපි නිවසක වුණත් සුරතල් මසුන් ඇති කරන විට විවිධ ගැටලු ඇති වෙනවා.
ටැංකිය දින දෙක තුනක් වනවිට අපිරිසිදු වෙනවා. වතුර අව පැහැ වෙනවා. අපිරිසිදු වතුර නිසා දුර්ගන්ධයක් ඇති වෙනවා. ඒ වගේම ඔක්සිජන් නැතුව මාළු ජීවත් කරන්න අපහසුයි. මෙතැනදී මාළු ටැංකියේ අපද්‍රව්‍ය සහිත ඇමෝනියා වතුර වැඩි පීඩනයකින් ඉහළට ඇදෙනවා. කොලදාව සහිත බෝග වගාවට ඇමෝනියා වැඩි වශයෙන් අවශ්‍යයි. එහිදී වගාවට අවශ්‍ය ඇමෝනියා මූල පද්ධතිය මගින් උරාගෙන පිරිසිදු ජලය නැවත ටැංකියට වැටෙනවා. මේ ජලයේ මාළුන්ට අවශ්‍ය ඔක්සිජන් තිබෙනවා.
ඔබ අනුගමනය කරන ක්‍රමවේදය අනුව මාළුන්ට ඔක්සිජන් අවශ්‍ය නැහැ
ඔව්. එළිමහන් ටැංකියක ඇති කරන මත්ස්‍යන්ගේ අපද්‍රව්‍ය වලින් නයිට්රේට් සහ ඇමෝනියා බැහැර වෙනවා. ටැංකියට ඉහළින් වගා බිමක් සකස් කරනවා. මේ වගා බිමට පස් යොදා ගන්නේ නැහැ. මාධ්‍ය විදිහට ගල්, බොරලු වැනි දේවල් යොදා ගන්නවා. අපට පස් අවශ්‍ය වෙන්නේ වගාව රඳවා ගන්න විතරයි.
ඒ හැර පස අවශ්‍ය නැහැ. මෙහිදී පැලය රඳවා ගැනීමට ගල් යොදා ගත්තා. ඒ අතර මාළු ටැංකියට පොම්පයක් සවි කරනවා. ඒ පොම්පය ඔස්සේ ශාකවලට අවශ්‍ය නයිට්රේට් ලැබෙනවා. ශාකයක් පත්‍ර සහ මුල් වලින් අවශ්‍ය පෝෂණය ලබා ගන්නවා.
ඔබ ඇති කරන විශේෂ මත්ස්‍ය වර්ග සිටිනවාද?
මේ විදිහට පවත්වාගෙන යනවා නම් තිලාපියා මත්ස්‍යන් ඇති කිරීම වඩාත් සුදුසු වුණත් ඔවුන් මිල අධිකයි. ඒ නිසා මම සාමාන්‍යයෙන් අපි ඇති කරන සුරතල් මසුන් වගා කරනවා මිසක් විශේෂත්වයක් නැහැ. මෙය අධි ඝණත්ව රෝපණ ක්‍රමයක් විදිහට හඳුන්වා දෙන්න පුළුවන්.
අධි ඝණත්ව රෝපණය යනුවෙන් ඔබ අදහස් කරන්නේ?
උදාහරණයක් විදිහට සාමාන්‍ය ටැංකියක අපි මත්ස්‍යන් 1000 ක් ඇති කරනවා නම් මේ ක්‍රමය යටතේ මත්ස්‍යන් 3000 ක් පමණ ඇති කරන්න පුළුවන්. එය විශාල වාසියක්. සාමාන්‍ය පුංචි ටැංකියක් උඩින් වුණත් මේ Aquaponic වගාවක් ආරම්භ කරන්න පුළුවන්. නිවසට අවශ්‍ය නිවිති, ගොටුකොළ වැනි පලා වර්ග වගේම එළවළු වුණත් මේ ක්‍රමයට පහසුවෙන් වගා කර ගන්න හැකියාවක් තිබෙනවා
ඔබ මේ ක්‍රමය වැඩි දියුණු කිරීමට අදහස් කරනවාද?
ඔව්. මේ ක්‍රමයට වගාවන් තවත් ව්‍යාප්ත කරන්න පුළුවන්. නමුත් ඔබට අවශ්‍ය නම් කුඩා ටැංකියක වුණත් මත්ස්‍යන් ඇති කරන අතර ඊට ඉහළින් එළවළු, පලා වැනි දෙයක් වගා කරන්න පුළුවන්.මම ඉදිරියේදී අඩි 20×30 ටැංකි සූදානම් කරනවා. මේ වගාව මැද කුකුලන් සහ තාරාවන් වෙනුවෙන් නිවාසයක් ගොඩ නගනවා. සාමාන්‍යයෙන් තාරාවා දියේ සිටියත් කුකුලන් දියේ හැසිරෙන්නේ නැහැ.
මේ සතුන්ගේ අපද්‍රව්‍ය වතුර වැටෙනවා. මත්ස්‍යන් ඒවා ආහාරයට ගන්නවා. ඒ සමගම වතුර පිරිසිදු වෙලා නැවත වගා බිමට ලැබෙනවා.ඔබේ ගෙවත්තේ තිබෙන පුංචි ඉඩක වුණත් එලිමහන් තැනක මාළු ටැංකියක් තිබෙනවා නම් ඊට උඩින් වගාවක් පවත්වා ගෙන යෑම අපහසුවක් නොවෙයි. මේ වගේ අවස්ථාවන්ගෙන් ප්‍රයෝජන ගැනීමේ තාක්ෂණය ගැන දැනුවත් වීම වගේම ඒවා සමාජගත කිරීමත් වැදගත්.
පුන්‍යා චාන්දනී ද සිල්වා ✍️