මේ ලිපිය පටන්ගන්නකොටම මම මුලින්ම කියන්න ඕන දේ තමයි ආදරේ සහ ආකර්ෂණීය බවේ තියෙන වෙනස කවුරුත් අඳුරගන්න ඕන කියන දේ. කෙනෙක්ට ආදරයට කලින් ඇතිවෙන්නේ ආකර්ෂණය. ඒ ආකර්ෂණය ඔහුගේ හෝ ඇයගේ ලස්සන නිසා, සල්ලි නිසා, උගත්කම හෝ දක්ෂකම නිසා ඇතිවෙන්න පුළුවන්. කෙනෙක්ගේ අවශ්‍යතාවක් සඳහා තව කෙනෙක් ළඟ දෙයක් තියෙනවා දැක්කාමත් ඔය කියන ආකර්ෂණය ඇතිවෙන්න බැරි නෑ. හැබැයි කිසිම කෙනෙක්ට ඒ කෙනා ගාවට ගිහින් ”මං ඔයාට ආකර්ෂණය වුණා” කියලා කියන්න බෑනේ. සමහර විට ඒක එයාගේ රූපය නිසා ඇතිවෙන ලිංගික ආකර්ෂණය වෙන්නත් පුළුවන්. අපි ඔය කියන්නේ දුටුගමන් ආදරයක් ඇති වුණා කියලා.දුටුගමන් කාටවත් ආදරයක් ඇති වෙන්නෙ නෑ. ඇතිවෙන්නේ ආකර්ෂණයක් විතරයි...
කෙනෙක්ගේ ලස්සන වුණත් දුටු පමණින් ලිංගික ආකර්ෂණයක් ඇති වුණත් ”මට ඔයා ගැන ලිංගික ආකර්ෂණයක් ඇති වුණා” කියලා එයාට ගිහින් කියන්නත් බෑ. එතකොට එයාට අපි ළංවෙන්න යොදන උපක්‍රමයක් විදිහට තමයි අපි ආදරය කියන කෑල්ල එතනට එකතු කරගන්නේ. ඔන්න අපි එතනදි ආදරයයි ආකර්ෂණයයි ගළපගන්න හදනවා. එතකොට කියනවා ඔයා ලස්සනයි, ඔයා හරි හොඳයි, මට ඔයා ගැන ආදරයක් ඇතිවුණා කියලා.ආදරේ කියන දේ අපි යොදාගන්නේ අපිට ඇති වුණ ආකර්ෂණය සම්පූර්ණ කරගැනීමේ උපක්‍රමයක් විදිහට විතරයි. ඒකයි කියන්නෙ මුණගැසීම් ආකර්ෂණය වෙන්න පුළුවන් නමුත් පරිස්සම් වෙන්න කියලා.
මේ යොදන උපක්‍රම කොයිතරම් දුරකට අනිත් කෙනාට බලපායිද කියලා අපි හිතන්න ඕන. නවීන ලෝකෙ අපි Facebook” Instergram වගේ Social media පාවිච්චි කරනවනේ. එතකොට ප්‍රේම සම්බන්ධතා කියන ඒවා මිනිස්සු අතර ඉතාම ඉක්මනින් ඇති වෙනවා. ඒකට හේතුව පිරිමියාගේ සක්‍රීයම අවයවය ඇහැ. ඇහෙන් රූපය බලලා තමයි ලිංගිකව සක්‍රීය වෙන්නේ. කාන්තාවකගේ නම් කන. කාන්තාව හරි කැමතියිනෙ ලස්සන වචනවලට.
ෆේස්බුක් එකවුන්ට් එකක් ගත්තොත් එයා ලස්සන රූප විතරයි ඒකට දාන්නේ. ඒ මොකද පිරිමි තමන්ව හැමෝටම ලස්සනට පේන්න ඕන නිසා. ඒ ලස්සන එක්ක තමන්ගේ ආශාවන් සංසිඳුවාගන්න පිරිමි ළමයි ලස්සන වචන භාවිත කරලා තමයි ගෑනු ළමයව ආමන්ත්‍රණය කරන්නේ.
වචනවලින් ඕන දෙයක් කියන්න පුළුවන්. හැබැයි ඒ වචන ඇත්ත හැඟීම් එක්ක කියන දේවල්ද එහෙමත් නැත්නම් තමන්ගේ තනි අවශ්‍යතාවක් මත පමණක් කියන ඒවද කියලා අපිට හොයාගන්න බෑ. ඒ නිසා ඒවා තෝරා බේරා ගන්න එක ගැන සැලකිලිමත් වෙන්නම ඕනේ. කටින් පිටවන වචනවල ගැඹුර, සුන්දරත්වය ඇත්තටම ඒ පුද්ගලයා තුළ තියෙනවද නැද්ද කියලා බලන්න බුද්ධිමත් වෙන්නම ඕනේ.
සමහරවිට ප්‍රේම සම්බන්ධතා ඇතිවෙනවා කසාද බැඳපු අය එක්ක. මේ හැමදේටම හේතුව ආශාව, ආකර්ෂණය, ආදරය මිනිස්සු වෙන වෙනම අඳුරගන්නෙ නැතිවීම. මේ තුන තෝරාබේරා ගන්න එක දුෂ්කර නිසා තමයි බොහෝ දෙනා අමාරුවේ වැටෙන්නේ. මෙතනදී දෙපැත්තක් තියෙනවා.
යටි අරමුණු හිතේ තියාගෙන කෙනෙක්ට කැමැත්ත ප්‍රකාශ කරන අයත් ඉන්නවා. ඒ වගේම සැබෑ හැඟීම් නිසා කොහොමහරි මම මෙයාව ලබාගන්නවා කියන අරමුණින් බොරු දේවල් මවාපාලා අනිත් කෙනාව රවට්ටන අයත් ඉන්නවා. ඒකෙන් වෙන්නේ ඒ කෙනාගේ ජීවිතෙත් තමන්ගෙ ජීවිතෙත් දෙකම විනාශ වෙන එක.
දැන් තියෙන තාක්ෂණය එක්ක ඕනම කෙනෙක්ට ඕනම බොරුවක් කරන්න හරිම පහසුයි. ඕනම කෙනෙක් විදිහට අද සමාජයේ පෙනී ඉන්නත් හැකියාව තියෙනවා. ඒ නිසා මේකෙ භයානක පැත්තක් තියෙනවා.
මේවට රැවටෙන්නේ තරුණ පරම්පරාව විතරක් නෙවෙයි උගත් බුද්ධිමත් ලොකු ලොකු තනතුරු දරන අය පවා මෙවැනි මවාපෑම්වලට රැවටුණු අවස්ථා ඕනතරම් අප දැක තිබෙනවා.
අනිත් කාරණේ මෙවැනි දේවල්වලට ගොඩක් හසුවෙන්නේ ගෙවල්වල හුදෙකලා වෙලා ඉන්න දරුවෝ. අම්මයි තාත්තයි දෙන්නම කාර්යබහුල නම් දරුවෝ ගොඩක් වෙලාවට ඉන්නේ තනිවෙලා. අම්මලා තාත්තලා හිතනවා හැමදේම දීල තිබ්බම දරුවන්ට තනිකමක් නෑ කියලා.
හැබැයි නිතරම ජංගම දුරකථන එක්ක ගැවසෙන දරුවාගේ කාලය ගෙවෙන්නෙ සෝෂල් මීඩියා එක්ක. ඒ වගේම තමයි බිරිඳත්. සැමියා හිතනවා කන්න බොන්න සල්ලි හම්බ කරනවනම් බිරිඳට අපහසුවක් නැතුව ගෙදර ඉන්න පුළුවන් කියලා. නමුත් සොයාබැලීමක් කරන්නෙ නෑ.
ඉතින් තාක්ෂණය හරහා තව කෙනෙක්ගෙන් ඒ නොලැබෙන රැකවරණය හොයන්න පෙළඹෙනවා. එතනින් පස්සෙ වෙන්නෙ කාගෙහරි ගොදුරක් වෙන එක. තාවකාලික සතුට ලබාගත්තට පස්සෙ අපි ඒකෙන් ඉවත් වෙලා යනවා. මුලින්ම තමන්ට තමන් ගැන හොඳ අවබෝධයක් තිබිය යුතුයි.
ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක හා
මනෝ චිකිත්සක
ඩී. එස්. හේවගේ
එරංදි කෞශල්‍යා ✍️