වාස්තු යනුවෙන් හඳුන්වනු ලබන්නේ අපට ජීවත්වීම සඳහා ඉදිකරනු ලබන ස්ථානයේ ප්‍රාණවත් භාවයත්, ජීවී භාවයත් යන ගුණයන් නිර්මාණය කිරීම හා කළමනාකරණය කිරීමේ ක්රමවේදයයි. එනම් වාස්තු යනු නිවසක් සක්‍රීය කර ගැනීමට යොදා ගත හැකි සාර්ථකම සංකල්පය ලෙස හැඳින්විය හැකිය. එම නිසා වාස්තු සිද්ධාන්ත හා සංකල්ප නියෝජනය කරමින් නිවාස ඉදිකිරීම කළ යුතුය. නිවසක් සෑදීමේදී සැලසුමක ඇති වන දෝෂයන් එම නිවස සම්පූර්ණයෙන්ම අක්‍රීය කරවීමට සමත් වේ. එනම්, නිවසකට යෙදෙන කුරුස හැඩ, නිවසක දිශාවන් අඩුවීම ලෙස හඳුන්වනු ලබන අංග හීනවීම, නිවසක වර්ගඵලය වැරදි වීම, නිවැරදි දිශාවන්වලට ගැළපෙන ලෙස ගෘහ අංග සැලසුම් නොවීම ආදිය උදාහරණ කීපයක් ලෙස දැක්විය හැකිය. තවද නිවසක් සැලසුම් කිරීමේදී සිදුවන විකෘති හැඩ මගින්ද නිවසකට අහිතකර බලපෑම් ඇති වේ. එනම් නිවසක යම්කිසි දිශාවක් අනවශ්‍ය ලෙස දික් කිරීමත් නිවසක දිශාවන් අනවශ්‍ය ලෙස අඩු කිරීමත් හැඳින්විය හැකිය. මෙම හේතුව නිසා පංච මහා භූත වශයෙන් හඳුන්වනු ලබන ශක්තීන් නිවසකට පැමිණීමට හා සක්‍රීය වීමට ගැටලු ඇති කරවයි.මෙම හේතූන් මත නිවසක් ඉදිකිරීමේදී අංග හීනවීම එනම් දිශාවන් අඩුවන ලෙස නිවසක් ඉදිකිරීම නොකළ යුතුය.
පොරව පාදයක “L” හැඩය ගත් නිවාස
මෙම පොරෝ තලයක හැඩය ගත් එනම් “L” හැඩැති නිවාස තුළ ජීවත්වන පුද්ගලයන්ට කරදර හා පීඩා ඇති වන නිර්මාණ දෝෂයක් ලෙස බොහෝදෙනා දන්නා කරුණකි. නමුත් මෙම කරුණු තුළ මෙම L හැඩය යන සංකල්පය අබිබවා ගිය කරුණක් ඇත. එනම් නිවසක මධ්‍ය ලක්ෂ්‍යය නිවසින් පිටත පිහිටන අවස්ථාවන්ය.මෙවැනි අවස්ථාව තුළ එම නිවසේ ජීවත් වන අයට කරදරබාධා, ලෙඩරෝග බහුලව ඇති වන අවස්ථාවක් වන අතරම නිවසේ අහිමි වී ඇති දිශාවෙන් ලැබෙන සුබ ප්‍රතිඵලයද එම නිවසට නොලැබී යයි. නමුත් බොහෝ නිවාසවල අඩි 3 – 6 පමණ කුඩා කොටසක් දර පෝරණුවක් වශයෙන් නිවසින් එළියට පන්නා ඇත.
මෙවැනි අවස්ථාවන් පිළිබඳව ගැටලුකාරී තත්ත්වයන් ඇති කර ගත යුතු වන්නේ නැත. මන්ද යත් නිවසේ ඇති දිග හා පළලේ ප්‍රමාණයට සාපේක්ෂව එම කොටස කුඩා ප්‍රමාණයක් වන බැවින්ය. මෙමගින් නිවසේ “L” හැඩයක් ඇති නොකරයි. නමුත් අඩි 08’ – 0”, 9’ – 0” හෝ අඩි 10’ – 0” වැනි ප්‍රමාණයන් වර්තමානයේ ඇති නිවාසවල දිග පළලට සාපේක්ෂව අහිමි වීම මගින් එම නිවසේ දිශාවක්ම නැති වී යාමේ හැකියාව පවතී. මෙමගින් එම නිවැසියන්ට ආර්ථික ප්‍රශ්න මෙන්ම කායික හා මානසික ගැටලුද ඇති කරයි.
නිවසක උතුරු දිශාව අහිමි වීම
උතුරු දිශාව යනු ධනය හා සම්බන්ධ දිශාව වේ. නිවසක උතුරු දිශාව අහිමි වීමෙන් එම නිවැසියන්ට රැකියා සම්බන්ධ ගැටලු, ව්‍යාපාරවල ගැටලුකාරී තත්ත්වයන් ඇති වේ. එමෙන්ම ආර්ථික වශයෙන් පරිහානියට පත්වීම මෙමගින් සිදු වේ. එමෙන්ම මෙම නිවසට ප්‍රාණ ශක්තියද නොලැබී යයි.
නිවස නැගෙනහිර දිශාව අහිමි වීම
නැගෙනහිර දිශාව යනු නිවසකට ජීවය ලැබෙන දිශාව වේ. මෙම දිශාව අහිමි වීම එම නිවැසියන්ට අලස සහගත ගති පැවතුම් ඇති කරවන තත්ත්වයකි. කිසිදු අරමුණකට සිත යොමු නොකරන අතරම ධනාත්මක සිතුවිලි පවා නොමැති තත්ත්වයකට නිවැසියන් පත් වේ.
නිවසක දකුණු දිශාව හා බටහිර දිශාවද අහිමි වීම කීර්තිය හා ධන හානි වලට නිවැසියන් පත්වීම සිදුවන නිර්මාණ දෝෂයකි. ඊසාන, ගිනිකොණ, නිරිත සහ වයඹ යන අතුරු දිශාවන්වල පඨවි, ආපෝ, තේජෝ, වායෝ යන ගුණයන් වැඩි වශයෙන් ක්‍රියාත්මක වන දිශාවන් වේ. එම නිසා මෙම අතුරු දිශාවන් නිවසක “L” හැඩය මගින් අහිමි වීම පෙර සඳහන් කරුණු වැඩි වීමක් වශයෙන් පෙන්වා දිය හැකිය.
නිවසක ඊසාන දිශාව අහිමි වීම
මෙම නිවැසියන්ට නිතර සෞඛ්‍ය තත්ත්වයන් පිරිහෙන අතර ධන හානියද ඇති වේ. උතුර හා නැගෙනහිර යන දිශාවන් ද්විත්වයට මැදි වූ මෙම ඊසාන දිශාවෙන් අන්තරීක්ෂ ශක්තිය නිවසට ඇතුල් වන දිශාව ලෙස දැක්විය හැකි අතරම මෙම දිශාව අහිමි වීම නිවසකට ඉතාම නුසුදුසු පිහිටීමකි. එමෙන්ම මෙම නිවැසියන් තුළ අධ්‍යාත්මික ගුණයන්ද පිරිහීමට ලක්වේ.
නිවසක ගිනිකොන දිශාව අහිමි වීම
නැගෙනහිර හා දකුණ යන දිශාවන් ද්විත්වයට මැදි වූ දිශාව ගිනිකොන දිශාව වේ. මෙම දිශාව අහිමි වීම නිවසක ධන හානි වලට හේතුවක් වේ. නිවසක මුළුතැන්ගෙය සැලසුම් කිරීමට සුදුසුම දිශාව මෙම දිශාව වන බැවින් වයඹ දිශාව හැර වෙන යම් දිශාවල මුළුතැන්ගෙය සැලසුම් කිරීමෙන් මෙම අසුබ තත්ත්වයන් වඩා වර්ධනය වේ.
නිවසක නිරිත දිශාව අහිමි වීම
දකුණ හා බටහිර යන දිශාවන් ද්විත්වයට මැදි වූ නිරිත දිශාව යනු ඊසාන දිශාවෙන් ගලනය වන අන්තරික්ෂ ශක්තිය තැන්පත් කර ගන්නා දිශාව වේ. නිවසක නිරිත යන දිශාව අහිමි වීම එම නිවැසියන්ට ආර්ථික ගැටලු වැඩි වශයෙන් ඇති වන තත්ත්වයකි. සාමාන්‍යයෙන් වැඩි වශයෙන් උසින් වැඩි කල යුතු දිශාවක් වශයෙන්ද සලකන මෙම දිශාව අහිමි වීම ධනය නිකරුනේ වියදම් වන ස්වභාවයක් ඇති කරයි.
නිවසක වයඹ දිශාව අහිමි වීම
පෙර සඳහන් කරන ලද ඊසාන, නිරිත දිශාවන් මෙන් අසුබ ගති ඇති නොවුණත් වයඹ දිශාව අඩු වීමද නිවසක ජීවත් වන නිවැසියන්ගේ දියුණු අඩු වීමට හැකියාව පවතී. බටහිර හා උතුර යන දිශාවන්ට මැදි වූ මෙම වයඹ දිශාව තුළ ඇති වායෝ යන ගුණය නොමැති වීම මත එම නිවැසියන් වෙනස්වීම් සහ නව ආකල්ප පිළිගැනීමට අකමැති අය බවට පත්වේ. එනම් එකම දෙයක් මත යැපීමට සිත් ඇති කරවන අතර නව අරමුණ සෙවීමට අකමැති වේ.
කෙසේ වෙතත් වර්තමානයේ නිවාස සැලසුම් කිරීමේදී එහි ඇති අලංකාරත්වය වර්ධනය කර ගැනිම පිණිස විවිධ හැඩ ඇතිව නිර්මාණය කරයි. නමුත් නිවසක අඩි 08 හෝ ඊට වැඩි වශයෙන් නිවසක කොටසක් අහිමි වීම නිවසක අංග හීන වීමක් එනම් දිශා ඌණ වීමක් වශයෙන් සැලකේ. සාමාන්‍යයෙන් නිවසකට සුදුසුම හැඩය ඍජුකෝණාස්ර හැඩය වේ. නමුත් නිවසේ අලංකාරය වැඩි කිරීමට හැඩයන් එකතු කර ගන්නා විට සොබාදහමට හා එහි ඇති ශක්තීන්ට බාධා නොවන ලෙස නිවසක් සැලසුම් කර ගැනීම වඩාත් සුදුසුය.
වාස්තුවිද්‍යා විශාරද
නිවාස සැළසුම් ශිල්පී
අරෝෂ ජයවර්ධන
ආලෝකා Homes, මිනුවන්ගොඩ
අර්චිත ඉඳුවර ✍️