ලක්ෂ්මි කුමාරි
පහුගිය දවස්වල සමාජ මාධ්‍යයේ අයිසින් නිර්මාණ ගැන වැඩි අවධානයක් යොමු වුණේ එක්තරා පාඨමාලාවකින් සිදුකෙරුණු අයිසින් නිර්මාණ ප්‍රදර්ශනයක් නිසා. මේ ගැන හොඳ ප්‍රතිචාර වගේම විවේචනත් තිබුණා. ඒත් මෙහෙම අපූරු ප්‍රදර්ශනයක් සිදුකෙරුණේ ලංකාවේ ප්‍රථම වතාවට නිසා අපිට හිතුණා මේ වැඩේ නියමුවරිය වන Lakshmi Kumari International Sugar Studio හි අධිපතිනි ලක්ෂ්මි කුමාරි එක්ක මේ ගැන ටිකක් කතා කරන්න…
මුලින්ම කියන්නකො ඔබ ගැන විස්තර ටිකක්…
මගේ ගම වැලිමඩ. ඉගෙනගත්තෙ සපුගොල්ල මධ්‍ය මහා විද්‍යාලයෙන්. මට මතක විදිහට මම කොළඹට එන්නෙ 2002 වර්ෂයේ. කොළඹ ඇවිත් මම පුද්ගලික ආයතනයක රැකියාවක් කළා. පවුලේ ඉන්නෙ අම්මයි, තාත්තයි, මල්ලිලා තුන්දෙනයි, නංගියි. මට දැන් ඉන්නවා දරුවො තුන්දෙනෙක්. ලොකු පුතාට අවුරුදු 13යි. දෙවෙනියා දුවට අවුරුදු 11යි. පොඩි එක්කෙනාට අවුරුදු 5යි.
කොහොමද කේක් ව්‍යාපාරයට අත ගැහුවෙ?
කේක් ව්‍යාපාරයට මම සම්බන්ධ වෙන්නෙ 2012 වර්ෂයේ. ඒ වෙද්දි මට බබාලා දෙන්නෙක් හිටියා. රැකියාවෙන් ලැබෙන ආදායම මදි නිසා තමයි මම කේක් ව්‍යාපාරයට යොමුවුණේ. මුලින්ම මම මගේ දෙවෙනි බබාගේ උපන්දිනයකට තනියම කේක් එකක් හැදුවා. ඒ කේක් එක හදද්දි නිකමට හිතුණා කේක් ව්‍යාපාරය පැත්තටත් යොමු වුණොත් හොඳයි කියලා.
ඊටපස්සෙ 2012 ඉඳන් 2018 වෙනකල් මම රැකියාව අතරතුර කේක් ඕඩර්ස් අරගෙන කළා. 2013, 2014 වගේ මම කේක් පන්තියකුත් පටන්ගත්තා. සති අන්තෙ පන්ති කළා. සතියෙ දවස්වල රැකියාවට ගියා. 2018 දි මම රැකියාවෙන් වගේම කේක් ඕඩර්ස් ගන්න එකෙනුත් අයින් වෙලා සම්පූර්ණයෙන්ම කේක් පන්ති විතරක් කළා.
ඒ ගත්තෙ ලොකු රිස්ක් එකක් නේද?
ඔව්. නමුත් මට ලොකු විශ්වාසයක් තිබුණා මට කේක් පන්ති කරලා සාර්ථක වෙන්න පුළුවන් කියලා. මම ලංකාවේ තියෙන අනිත් කේක් පන්තිවල නැති දේවල් ඉගෙනගෙන තමයි මගේ පන්තිවල ළමයින්ට ඉගැන්නුවේ. 2012 මම කේක් ව්‍යාපාරය පටන්ගත්තු දා ඉඳන් අද වෙනකනුත් කේක් සම්බන්ධව මගේ හැදෑරීම් ඉවර නෑ. මම අදටත් දේවල් ඉගෙනගන්නවා. අලුත් දේවල් ඉගෙනගනිමින් මම ඒවා ළමයින්ටත් කියලා දෙනවා.
මොකද්ද ඔබේ International Sugar Studio හි ඇති වෙනස?
ලංකාවෙ වෙනත් කේක් ආයතනවල නැති අලුත් දේවල් මම ලංකාවට හඳුන්වලා දීලා ඒවා උගන්වනවා. ඇකඩමි එක පැත්තෙන් මම ඉතාම සාර්ථකයි. මං ගාවට එන ළමයින්ට ඉගෙනගෙන ඉවර කරන්න ඕනෙ කියල කාලයක් නෑ. එයාලට කැමති තාක්කල් මං ගාව ඉගෙනගන්න පුළුවන්. අනිත් දේ මම උගන්නන දේ හරියට අල්ලගන්නකල් මම ඒ ළමයව අත්හරින්නෙ නෑ. වැරදි හද හද නිවැරදිව උගන්නලාම තමයි එළියට දාන්නේ.
ඒකට හේතුව මම කැමති නෑ බාගෙට ඉගෙනගත්ත කෙනෙක්ව එළියට දාලා අනාගතේදි ඒ ළමයටවත් මටවත් හානියක් වෙනවට. ළමයි මං ගාවට එන්නෙ මාව විශ්වාස කරලා. එතකොට මගේ යුතුකම තමයි ඔවුන්ට අවශ්‍ය දැනුම හරියටම දෙන එක.
ඉතිහාසයේ පළමු වතාවට ඔබ කේක් සහ අයිසින්වලින් මනමාලියන් දැක්මක් ඉදිරිපත් කළා…
2022 මම මගේ පළවෙනි කේක් ප්‍රදර්ශනය කළේ. පිටරටවල තිබුණ කේක් ප්‍රදර්ශන මම බලලා තියෙනවා. මට ඕනෙ වුණේ ඒ වගේ ජාත්‍යන්තර මට්ටමේ නිර්මාණ ලංකාව තුළත් කරන්න. ඒ වගේම අපේ රටේ දක්ෂ ව්යවසායිකාවො ඉන්න බවත් මට හැමෝටම පෙන්නන්න ඕනෙ වුණා. ඒ නිසයි මම මගේ ඇකඩමියේ ළමයි එක්ක එකතු වෙලා කේක් මනමාලියන්ගේ ප්‍රදර්ශනයක් කළේ
එදා පටන් ලක්ෂ්මි යන්නෙ වෙනස්ම තාලෙ ගමනක්…
ඔව්. ගමන වෙනස් වුණාට පහසු නෑ. විශේෂයෙන්ම ලංකාව වගේ රටක කාන්තාවකට ව්‍යාපාරයක් කරනවා කියන එක පහසු දෙයක් නෙවේ. මොකද කොයිතරම් හොඳ දේවල් කළත් අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප අනුව මිනිස්සු බලාගෙන ඉන්නෙම අපිව විවේචනය කරන්න. ගල්මුල්, මඩ සේරම එක්ක තමයි මම මේ ගමන යන්නේ.
රෙජිෆෝම් ඩමීස් තමයි මගේ ළමයි කොණ්ඩෙ, ඇස්, කන්, නාස, තොල් ලස්සනට හදලා ඊටපස්සෙ ඇඳුම අයිසින්වලින් හදලා මනමාලියො බවට පත් කළේ. නමුත් සමාජය දකින්නෙ නිකන්ම නිකන් ඩමියක් ඩෙකරේට් කරපු විදිහට.
දෙසැම්බර් 26 වෙනිදා තමයි අපේ දෙවෙනි ප්‍රදර්ශනේ තිබුණේ. මේ පාර අපිට ආපු ලොකුම චෝදනාවක් තමයි මේ මනමාලියන්ගේ,සුරංගනාවියන්ගේ කේක් දැක්ම කිසිම වැඩක් නෑ, ඩමියක්නෙ අන්දලා තියෙන්නේ කියලා. ඩමියක් වුණත් අන්දනවා කියන එක ලේසි වැඩක් නෙවේ.
අන්දන්නෙත් තනිකර අයිසින්වලින්. මේ සියලුම චෝදනා අපිට කරන්නෙත් කේක් ෆීල්ඩ් එකේම නිරත වෙලා ඉන්න කාන්තාවෝ. ලංකාවේ කාන්තාවක් ව්‍යාපාරයක් කරනව නම් ඒකට අකුල් හෙලන්න බලාගෙන ඉන්නෙත් කාන්තාවොම තමයි. මට නම් මගේ ව්‍යාපාරය පටන්ගත්තු දවසෙ ඉඳන් මේ ව්‍යාපාරයේම නියැළෙන කාත් එක්කවත් තරහක්, ප්‍රශ්නයක් තිබුණෙ නෑ.
නමුත් මඩවලට වඩා ලොකු ඇගයීමකුත් ඔබට ලැබුණා නේද?
ඔව්. මගේ ප්‍රදර්ශනය මාධ්‍ය නාලිකාවල පවා විකාශය වුණා. ලොකු ප්‍රසිද්ධියක් ඒකෙන් ලැබුණා. ඒ වගේම බලන්න ආපු අයගෙනුත් හොඳ ප්‍රතිචාර ලැබුණා. මේ අවුරුද්ද වෙනුවෙනුත් මගේ කේක් පාඨමාලාවට ළමයින් පිරීගෙන යනවා.
මඩවලට වඩා මට ලැබුණේ ලස්සන අගයකිරීම්. එදා ප්‍රදර්ශනයට කේක් නිර්මාණය කරපු සියලුම ව්‍යවසායිකාවන් කේක් ව්‍යාපාරයේ නියැළෙන අය. මොකද මගේ පන්තිවලට ආවට පස්සෙ මාස පහක් හයක් මමම එයාලට බිස්නස් එකක් නැත්නම් බිස්නස් එකක් ආරම්භ කරලා දෙනවා කරගෙන යන්න.
මම දෙසැම්බර් 26 පැවැත්වුණ ප්‍රදර්ශනයේදි කළේ මගෙන් ඉගෙනගත්ත ළමයි දක්ෂ කේක් නිර්මාණ ශිල්පිණියන් විදිහට සමාජගත කරපු එක. මටත් තිබුණා මගෙන් ඉගෙනගන්න එන ළමයින්ට නිකන් සහතිකයක් දීලා ගෙදර යවන්න. එහෙම කළා නම් එයාලගේ දක්ෂකම කොච්චරක්ද කියලා එයාලා දන්නෙත් නෑ.
රටක් ලෝකයක් දන්නෙත් නෑ. එදා ඒ ව්‍යාවසායිකාවන් අතරේ ඉංජිනේරුවරියක්, ගුරුවරියක්, තවත් රජයේ සේවිකාවන් සහ බැංකු කළමනාකාරවරියක් හිටියා. ඒ වගේ සමාජයේ විවිධ තලවල ඉන්න කාන්තාවන් මෙන්ම පිරිමින් මගෙන් ඉගෙනගන්නවා.
උපදේශිකාවක් ගුරුවරියක්, විදිහට ඔබෙන් ඉගෙනගන්න ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගෙන් බලාපොරොත්තු වන දේ මොකක්ද?
මම හැමවෙලේම කියන්නෙ එයාලට කරන දේ හරියට කරන්න කියලා. ඒ වගේම මහන්සි වෙලා වැඩ කරන්න. මගේ ගාව ඉගෙනගන්නෙ ගොඩක් කාන්තාවන් නිසා මට ඕනෙ ඔවුන් තවත් කාන්තාවකට පීඩනයක් එල්ල නොවන විදිහේ හොඳ ව්‍යාපාරිකාවන් පිරිසක් වෙනවා දකින්න.
ඕනම කාන්තාවකට ස්ව උත්සාහයෙන් හොඳ ව්‍යාපාරිකාවක් වෙන්න පුළුවන්ද?
අනිවාර්යයෙන්ම පුළුවන්. හැබැයි ඒකට උත්සාහය සහ කැපවීම අත්‍යවශ්‍යයි.
මම ඇහුවොත් ඔබේ ජීවිතයෙන් කාට හෝ ගන්න තියෙන හොඳම අභිප්‍රේරණය මොකද්ද කියල
මගෙන් ගන්න පුළුවන් හොඳම දේ තමයි උත්සාහය සහ කැපවීම. මගේ ආයතනයේ ළමයි ඒක හොඳාකාරවම දන්නවා. ඒ වගේම පිළිවෙලට වැඩ කරන එක. ගොඩක් ආයතන තියෙනවා රෑට යූටියුබ් එකෙන් වීඩියෝ බලලා පහුවදා ගිහින් ළමයින්ට උගන්නන. මම කවදාවත් යූටියුබ් බලන් මගේ ළමයින්ට උගන්නපු ගුරුවරියක් නෙවේ. මම හොඳ ආත්ම විශ්වාසයක් එක්ක තමයි ළමයි ඉස්සරහට යන්නෙ.
මම දෙයක් ළමයින්ට කියලා දෙන්නෙ ඉගෙනගෙන ඒ දේ අත්හදා බැලුවට පස්සේ. මුලින්ම තමන් කැමති දේ ඉගෙනගන්න. උත්සාහයෙන්, කැපවීමෙන් වැඩ කරන්න. එහෙම කළොත් තමන්ට ඕන තැනට යන්න පුළුවන්. එක අවුරුද්දක් මහන්සි වුණොත් ඊළඟ අවුරුද්දෙ ඉඳන් ඒකෙ ප්‍රතිඵල නෙලාගන්න පුළුවන්.
මේ වෙද්දි ලබාගෙන තියෙන ජයග්රහණයන් ගැන කතා කළොත්…
ලංකාවේ කේක් කියන දේ සම්මාන අතරට අරගෙන ගියේ මම. මොකද මෙච්චර කාලයක් කේක් ඇකඩමි එකකට සම්මානයක් ලැබුණෙ නෑ. 2022, 2023 කියන වසර දෙකේම හොඳම කේක් ඇකඩමිය විදිහට මගේ ඇකඩමිය සම්මානයට පාත්‍ර වුණා. ඒ හරහා අනිත් කේක් ව්‍යාපාරිකයන්ටත් පුළුවන් අවස්ථාව ලබාගන්න. මෙච්චර කාලයක් කේක් තිබුණේ කවුරුත් ගණන්ගන්නෙ නැති තැනක. අපි දෙයක් කරනව නම් ඒකෙ මාකට් එක හදාගන්න ඕනෙත් අපිමයි. මං හිතන්නෙ මම ඒක කළා.
ඉදිරියේදී තවත් වෙනස්ම වැඩක් කරන්න අදහසක් තියෙනවද?
ඔව්. මේ අවුරුද්දෙත් දෙසැම්බර් මාසෙ මම තුන්වෙනි කේක් ප්‍රදර්ශනය පවත්වනවා. ඒකට මේ මොහොතේ ඉඳන්ම සැලසුම් කරනවා. ගිය අවුරුද්දෙ තිබුණ ප්‍රදර්ශනයටත් අපි අවුරුදු දෙකක් තිස්සෙ ලෑස්ති වුණා. ඊළඟ ප්‍රදර්ශනය පහුගිය වසර දෙකේම තිබුණ ප්‍රදර්ශනවලට වඩා ගොඩක් වෙනස් එකක් වේවි.
ඡායාරූප – ඩයන් ප්‍රදීප්
එරංදි කෞශල්‍යා ✍️